ඒ මොහොත ආයෙත් කවදාවත් එන්නෙ නෑ - ආමීර්ගේ සංවේදී පාපොච්චාරණය




ජනප්‍රිය නළු අමීර් ඛාන් තම ජීවිතය පිළිබඳ කළ පාපෝච්චාරණයක් ඉන්දීය සිනමා වෙබ් අඩවියක පළ වී තිබිණි. එහි දී ඔහු පවසා තිබුණේ සිනමා කටයුතුවලට ජීවිතයේ වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරන්නට යාම නිසා තමාට තම පවුල මඟ හැරුණු බවයි. පවුලේ සමීපතමයන්ට තමුන්ගෙන් ඉටු විය යුතුව තිබූ යුතුකම් මඟ හැරුණු බවත්, ඔවුන් සමඟ කාලය ගත කිරීමට නොහැකි වූ බවත් ඔහු පවසා තිබිණි. අමීර් මේ බව පවසා තිබුණේ ඔහුගේ දෙවැනි බිරිඳ වූ කිරන් රාඕගෙන් දික්කසාද වීමට බලපෑ හේතු ගැන මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවක ය.


“සමහර අවස්ථාවල මම මගේ වගකීම් ඉටු කළේ නැහැ. මගේ මවුපියන්, සහෝදර සහෝදරියන්, මගේ පළමු බිරිඳ රීනා, කිරන්, රීනාගේ මවුපියන්, කිරන්ගේ මවුපියන්, මගේ දරුවන්, මේ හැමෝම මට ඉතා සමීප උදවිය. මම වයස අවුරුදු 18 දී සිනමාවට සම්බන්ධ වුණාට පස්සේ මම ඒකටම ඇලුණා ගැලුණා. මට හුඟක් දේවල් ඉගෙන ගන්න ඕන වුණා. හුඟක් දේවල් කරන්න ඕන වුණා. එහෙම වෙද්දී, මට දැන් තේරෙනවා, මට මගේ ළඟ හිටපු අය වෙනුවෙන් කාලයක් වෙන් කරන්න බැරි වුණා” යයි ඔහු සඳහන් කර තිබිණි.


තමා ඇතැම් අවස්ථාවල කටයුතු කර ඇත්තේ තමා ගැනම පමණක් සිතමින් ආත්මාර්ථකාමී ආකාරයෙන් බව ද ඔහු පිළිගෙන තිබේ.


“මම මගේ ප්‍රේක්‍ෂකයන් සමඟ සම්බන්ධයක් ගොඩ නඟා ගන්න උත්සාහ කළා. ඒ සම්බන්ධතාව වෙනුවෙන් බොහෝ දේ කැප කළා. මගේ කාලය වගේම මගේ හැඟීම් ද වෙන් කළේ ඒ වෙනුවෙනුයි. මම ඔවුන් සමඟ සිනාසුණා. ඔවුන් සමඟ ඇඬුවා. ඔවුන්ගේ අත් අල්ලාගෙන හිටියා. ඔවුන්ගෙනුත් මට විශාල ධෛර්යයක් ලැබුණා. මගේ නිර්මාණ හරහා ඔවුන්ගේ ජීවිතවලට මම බලාපොරොත්තු ලබා දී තිබෙනවා. මම මගේ සම්පූර්ණ කාලයම නිර්මාණ වෙනුවෙන් කැප කළ අතර ඒ සමඟ තිබූ සම්බන්ධතාව ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් බවට පත් කළා. මගේ පවුල කොහොමටත් මා එක්ක ඉන්න බවයි මම හිතුවේ. මට ඒ කාලෙ ඕන වුණේ ප්‍රේක්‍ෂකයන්ගේ හිත් දිනා ගන්නයි. මම ඒ අවශ්‍යතා ඇතුළේ අතරමං වුණා. කොච්චර අතරමං වුණාද කිව්වොත් මගේ පවුලේ අය මා වෙනුවෙන් බලා සිටින බව මට අමතක වුණා” අමීර් පවසයි. මෙය ඔහු හදවතින්ම කරන ඉතා අවංක පාපෝච්චාරණයක් බව පෙනේ. අමීර් වැනි අතිශයින් ප්‍රසිද්ධ, ප්‍රබල ප්‍රතිරූපයක් ඇති කෙනෙකු මෙවැනි පාපෝච්චාරණයක් කිරීම සැබැවින්ම අගය කළ යුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.


තම දරුවන් සමඟ කාලය ගත කරන්නට අසමත් වීම ගැන ද ඔහු සිය පසුතැවිල්ල ප්‍රකාශ කර තිබිණි.


“එය මගේ අතින් වූ ලොකුම වරදයි. නමුත් මම මගේ වෘත්තිය මත වරද පටවන්නේ නැහැ. අද මගේ දුව අයිරාට වයස විසි ගණනක්. නමුත් ඇය අවුරුදු 4 ක 5 ක දැරියකව සිටිය දී මම ඇය අසලින් සිටියේ නැහැ. මම මගේ චිත්‍රපටත් එක්ක කාර්යබහුල වෙලා හිටියා. හැම දරුවකුටම ඔවුන්ගේ මවුපියන් අවශ්‍යයි. දරුවන්ට ඔවුන්ටම ආවේණික වූ බිය සැක සංකා සහ අපේක්‍ෂාවන් තියෙනවා. නමුත් ඇයට මාව වුවමනාම වූ වෙලාවේ ඇයගේ අතින් අල්ලාගෙන ඉන්න මම ඇය අසල හිටියේ නැහැ. ඇය බියට පත් වෙන වෙලාවට මම ඇය ළඟ හිටියෙ නැහැ. ඒ මොහොත නැවත කවදාවත් නොඑන බව අද මා දන්නවා” ඔහු පවසන්නේ ඉතා සංවේදී හැඟීම්වලින් යුතුව ය.


අමීර් ගේ දියණිය අයිරා ඛාන් මෙයට මාස කිහිපයකට පෙර යුග දිවියට එළැඹුණාය. ඇය වසර කිහිපයක්ම විශාදය Depression නැමැති මානසික ආබාධයෙන් ද පෙ‍ෙළමින් සිටි අතර ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත්තාය. අයිරා කිසිවිටෙකත් මේ ගැන සඟවන්නට උත්සාහ කළේ නැත. සිය දියණිය මෙවැනි ආබාධයකට ගොදුරු වීම අමීර් තුළ විශාල වරදකාරී හැඟීමක් ඇති කරන්නට ඇතැයි සිතිය හැකිය.


අමීර් රඟ පෑ අවසන් චිත්‍රපටය වූ ‘ලාල් සිං චද්දා’ ඔහු මහත් බලාපොරොත්තු තබා සිටි නිර්මාණයක් වුවත් එය ආදායම් අතින් සිතූ තරම් සාර්ථක වූයේ නැත. එම අවස්ථාවේ අමීර් තරමක මානසික කඩා වැටීමකට ලක් වූ බවක් පෙනිණි. තමා ටික කාලයකට රඟපෑමෙන් ඉවත් වන බවක් ද ඔහු ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ රඟපෑමෙන් විරාමයක් ගෙන පවුලේ සමීපතමයන් සමඟ කාලය ගත කරන බව යි. ඔහු මෙවැනි තීරණයක් ගත්තේ මහත් කැපවීමෙන් නිර්මාණය කළ ‘ලාල් සිං චද්දා’ අසාර්ථක වීම නිසා උපන් කනස්සල්ල සහ කම්පනය නිසා වීමට පිළිවන.


කෙසේ හෝ වේවා, ඔහු දැන් නැවතත් සිනමා රංගනයට එක්ව සිටියි. ආමීර් රඟපාන අලුත්ම චිත්‍රපටය වන Champions හි රූපගත කිරීම් පසුගිය දිනවල ආරම්භ වී තිබිණි.



Previous Post Next Post