මම නිවිල යන රියැලිටි තරුවක් නෙමෙයි – නුවන්දිකා සේනාරත්න



පසුගිය දා පැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී ‘අසංවර වැස්සක්. ටෙලි නාට්‍යයේ ‘මළ හිරු බැස යන හැන්දෑ අහසේ. ගීතය වෙනුවෙන් රියැලිටි වේදිකාවෙන් රටක් හඳුනාගත්ත නුවන්දිකා සේනාරත්න හොඳම ගායිකාව ලෙස කිරුළු දරනවා. ඇතිවී නැතිවී යන රියැලිටි තරු අතර නුවන්දිකා කොහොමද මේ හපන්කම කළේ. අපි අහල බලමු” මේ ඇයගේ කතාව.


මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායිකාව නුවන්දිකා?


ඔව්” ඇත්තටම ඒක මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. නමුත් මම ඒ සඳහා නිර්දේශවෙලා ඉන්නව කියල ආරාධනයක් ලැබුණා. මේ නිසා තමයි මම උත්සව අවස්ථාවට සහභාගි වෙන්නෙ.


හිස් අතින් උළෙලට ගියත් ඔබ එන්නෙ සම්මානයත් අරගෙන?


ඒක ලොකු සතුටක් දැනුණ අවස්ථාවක්. මේ සම්මානය මට ලැබුණෙ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ ‘අසංවර වැස්සක්. ටෙලි නාට්‍යයේ මම ගායනා කළ තේමා ගීතය වෙනුවෙන්. ඇත්තම කිව්වොත් මම ගායනා කළ ඇතැම් ගීතවලට මගේ ඒ තරම් කැමැත්තක් නැහැ. නමුත් මේ ගීතය මම නැවත නැවතත් අහන තරමට කැමති ගීතයක්.


ඔබට මේ සම්මානය ලැබුණ අවස්ථාව ගැන කතා කළොත්?


සම්මානය මගේ අතට ලැබුණ මොහොත මට දැනුණෙ රටක් රාජ්‍යයක් ලැබුණා හා සමානව. මීට පෙර අවස්ථා කිහිපයකදී මේ ගීතය සම්මාන උළෙලවලදී නිර්දේශ වෙලා තියෙනව. සම්මාන නම් ලැබිල නැහැ. ඒ කොහොම වුණත් රාජ්‍ය සම්මාන උළෙලකදී මට ලැබුණ අගැයීම ගොඩක් වටිනව. මට නොලැබුණ ගොඩක් සම්මානවලට හරියන්න මේ සම්මානය ලැබුණ කියලයි මට හිතෙන්නෙ. මේ ගීතය ලිව්වේ විජේදාස රාජපක්‍ෂ මහත්මයා. සංගීතවත් කළේ සමන්ත පෙරේරා මහත්මයා.


ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?


සම්මානය ලැබුණට පස්සෙ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කතාකරල සුබපැතුවා. ඒ අතර රෝහණ වීරසිංහ” දීපිකා ප්‍රියදර්ශනී වගේ ප්‍රවීණයන් හිටියා.


මේ ගීතය ගායනා කළේ මොන අවුරුද්දෙද?


මම මේ ගීතය ගායනා කළේ 2020 අවුරුද්දෙ.


එදා මේ ගීතය ගැන බලාපොරොත්තුවක් තිබුණද?


ඇත්තටම පොඩි බලාපොරොත්තුවක් තිබුණා” මේ වගේ දුරක් යයිදෝ කියල. මොකද ඕනෑම ගීතයක් ගායනා කරද්දි ඒ ගීතයේ අන්තර්ගතය ගැන අපිට අදහසක් තියෙනවනෙ.


මේ දවස්වල කොහොමද සංගීත වැඩකටයුතු?


සුපුරුදු විදිහට ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනව. ඒ අතර අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනව. පසුගිය දවස්වල විදෙස් සංචාර කිහිපයකට එකතු වුණා වගේම ඉදිරියට තවත් ආරාධනා කිහිපයක් ලැබිල තියෙනව. ඒ වගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් හැටියට වැඩකටයුතු කරගෙන යනව.


ලංකාවේ ප්‍රසංග වේදිකාව?


අපේ රටේ සංවිධානය වන ප්‍රසංගවලටත් ආරාධනා ගොඩක් ලැබෙනව. කාලවේලාව වෙන්කරගෙන ඒවාටත් සහභාගි වෙනව.


මේ ඔබේ වෘත්තිය?


ඔව්” මම දැන් වෘත්තීයමය වශයෙන් ගායිකාවක්.


කවුද මේ ගමනට හයියක් වුණේ?


මගේ ගමනට හයියක් වුණේ මගේ අම්මයි” පප්පයි. ගායන හැකියාව ආවෙ මගේ අම්මගෙන්. ඒවගේම මගේ මහත්තයාවත් මතක් කරන්න ඕනා. ඔහු අද මගේ ගමනට ලොකු ශක්තියක්. මගේ රසිකයන්ටත් විශේෂයෙන්ම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනා.


උළෙලට ආරාධනා පත්‍රය ලැබුණ වෙලාවෙ ලොකු අමාරුවක වැටුණා නේද?


ඇත්තටම ඒ ආරාධනය අනුව උත්සවයට යන්න පුළුවන් දෙන්නටයි. මට ඒ වෙලාවෙ ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වුණා.මොකද මම කැමතියි අම්මවයි පප්පවයි එකකගෙන යන්න. ඒත් මහත්තයා අතහරින්නත් බැහැ. ඒ ගැන කල්පනා කර කර ඉන්න වෙලාවෙ මගේ මහත්තයා ඇවිත් කිව්වා මට නම් ඔයා එක්ක ඕන වෙලාවක යන්න පුළුවන්නෙ” ඔයා අම්මවයි පප්පවයි එක්කගෙන යන්න කියල. ඔහු මාව තේරුම් ගත්ත විදිහ ගොඩක් වටිනව.


රියැලිටි වේදිකාව නොවෙයි ඔබේ ආරම්භය?


මම සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ රියැලිටි වේදිකාවට ගොඩවෙන්න කලින්. නමුත් එදා රියැලිටි වේදිකාවට ගොඩවෙනකොට මම මේ ගමනෙ ගොඩක් දුර යනව කියන දේ මම හිතාගත්තා. විශේෂයෙන්ම” මේ ගමන යන්න උදව්වක් විදිහට තමයි මම රියැලිටි වේදිකාව තෝරාගන්නෙ.


ජනප්‍රියත්වය රැකගන්න ලොකු උත්සාහයක් ගන්න වෙනව?


මම අහල තිබුණෙ රියැලිටි තරු දිලිසිලා නිවිල යනව කියන දේ. නමුත් මම තවම ඒ තැනට පත් වුණේ නැහැ. එහෙම නොවෙන තැනට වැඩ කරන්න ඕන කියන දේ තමයි මම එදත් අදත් හිතන්නෙ.


ඔබේ හැකියාව හඳුනාගන්නෙ කවුද?


මම විශේෂයෙන්ම මගේ සංගීත ගුරුවරයා වන චන්ද්‍රපද්ම ජයසිංහ මහත්මයාව මතක් කරන්න ඕන. එතුමා තමයි මගේ හැකියාවන් හඳුනාගෙන දුව ඔයාට මේ වගේ දුරක් යන්න පුළුවන් කියන දේ මුලින්ම කියල ඒකට අවශ්‍ය උපදෙස් දුන්නෙ. ඒ වගේම එතුමා තමයි පාසලේ 8 ශ්‍රේණියේ පටන් 12 ශ්‍රේණිය දක්වා මගේ සංගීත ගුරුවරයා වුණේ.


සංගීතයේ වැඩි කැමැත්ත මොන පැත්තටද?


මම උපාධියට හදාරන්නෙ බටහිර සංගීතය. නමුත් ශාස්ත්‍රීය සංගීතයට වගේම අනෙකුත් හැම සංගීත ශෛලියකටම මම කැමතියි.


අලුත්ම ගීතය කවදාද රසිකයන්ට තිළිණ කරන්නෙ?


මගේ අලුත්ම ගීතය තව මාස එකහමාරකින් පමණ රසිකයන්ට තිළිණ කරන්න සූදානමින් ඉන්නවා.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post