අපි දෙන්නම ඉන්නෙ එක්තරා විදිහක ‍මුරණ්ඩුකමක -කසුනි කාවින්දි ප්‍රනාන්දු




කසුනි කාවින්දි ප්‍රනාන්දු කියන්නේ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන ත්‍රිත්වයම ආක්‍රමණය කළ සොඳුරු රංගන ශිල්පිනියකි. ඇය චරිතාංග රංගන ශිල්පිනියකගේ හැඩය සියුම්ව ඉස්මතු කරයි. මේ දිනවල පුංචි තිරයෙන් ඇය නොපෙනත් වේදිකාවෙන් සිනමාවෙන් ප්‍රේක්ෂකයින් අතරට එන්න ඇය සූදානමින්. මේ කතා බහ කසුනි කාවින්දි සමඟයි.


කසුනි මේ දවස්වල?


පසුගිය කාලේ වැඩි ඉඩක් වෙන් කළේ වේදිකාවට. මාර්තු 15 වේදිකාගත වෙනවා “අප අතර ඌ” වේදිකා නාට්‍යය. බොරැල්ල පුංචි තියටර් හිදී රාත්‍රී 7ට. ඊට අමතරව පොඩි පොඩි වැඩ ටිකක් සාකච්ඡා මට්ටමේ යනවා.


සිනමාවෙන් ඔබව දකින්නත් ලැබෙනවා නේද?


සශික හේරත් අධ්‍යක්ෂණය කළ “සිහින සමීකරණ” චිත්‍රපටය මේ වසරේ නුදුරේම තිරගත වෙන්න නියමිතයි. එහි මගේ භූමිකාව වුණේ රිද්මි. ගමේ ජීවත් වුණු ශක්තිමත් හිතක් තියෙන කොල්ලෙක් වගේ කෙල්ලෙක්. ආදර කතාවක් එක්ක සමාජයට යම් පණිවුඩයක් දෙන නිර්මාණයක්. ජාත්‍යන්තර වශයෙන් සම්මාන හයකට නිර්දේශවීම් ලැබුවා. නයිජීරියාවේ පැවැත්වුණු Bayelsa International Film Festival හි අවසන් තරගකාරී වටයෙන්. එහි දී හොඳම කැමරාකරණය වෙනුවෙන් චන්දන ජයසිංහ අයියාට සම්මාන ලැබුණා. මෙතෙක් නිර්මාණය නොවූ ආකාරයේ වෙනස්ම සිනමා අත්දැකීමක් කිවුවොත් හරි.


මේ දවස්වල පුංචි තිරයෙන් දකින්න නොලැබෙන්නේ ඇයි?


මම අන්තිමට කළේ බයෝ ටෙලි නාට්‍යය. ඒ නාට්‍යය රූපගත කරලම අවුරුද්දක් වගේ වෙනවා. ඊට පස්සේ මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා.


කසුනි චරිතවල‍ට සීමා පනවාගෙන නැද්ද?


මම කිසිම මාධ්‍යයක් ඇතුළේ සීමාවක් තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව විදිහට මම විශ්වාස කරන්නේ රංගන ශිල්පිනියකට එහෙම සීමාවන් තියෙන්න බැහැ කියන එක. එතකොට මම කැමැති නැහැ මගේ පෞද්ගලික ජීවිතේ ඇතුළෙන් හෝ මම හිතන එකට බාධාවක් වෙනවට. මම පළවෙනි තැන දෙන්නේ මම වැඩ කරන්න කැමැති විදිහට, මගේ රස්සාව ඇතුළේ වැඩ කරන්න. එතකොට සීමාවන් නැහැ. එකම දේ සීමාවන් නැහැ කියලා කරන්නම් වාලේ වැඩ කරන්නෙත් නැහැ. අපි ලිමිට් එකක් තියා ගන්නේ නැතුව වැඩ කරනවා නම් අනෙක් පැත්තෙනුත් අපිට කරදරයක් නොවෙන විදිහට වෘත්තිමය මට්ටමින් වැඩ කරන්න ඕනේ. ඒ නිර්මාණ ඇතුළේ කොච්චර දුරට අදාළ පහසුකම් සපයනවා ද? ඒ චරිතය වෙනුවෙන් කොච්චර දුරට ගරු කරනවා ද? කොච්චර වගකීමක් ඇතුව වෘත්තිමයබාවයකින් යුතුව හැසිරෙනවා ද? ඔය වගේ කාරණා ගොඩක් බලලා තමයි මම ඕනෙම නිර්මාණයකට මම දායක වෙන්නේ. ඒ එක්කම ඒ කතාවට ඒ නිර්මාණයට එය කොතෙක් අත්‍යවශ්‍යද එහෙම නැත්නම් එය හුදෙක් මාර්කටින් උදෙසා පමණක් ඔබ්බවලා තියෙන කොටසක් ද කියන එක මම බලනවා. ඒ නිර්මාණයට අත්‍යවශ්‍යය නම් වෘත්තිමය පැත්තෙන් සහ මට දෙන බජට් එක පැත්තෙන් මට සීයට සීයක් විශ්වාසවන්ත නම් දායක වෙනවා.


කසුනි පෙම්වතියක්?


ඔව්.


ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඔහුත් මේ කලාව තුළ හොඳ හැදෑරීමක් එක්ක නියැළී ඉන්න හොඳ ගමනක් යන කෙනෙක්. ඔහු නමින් අකලංක ප්‍රභාශ්වර. මම මේ ක්ෂේත්‍රයට ආව කාලෙම තමයි ඔහුත් ආවේ. එයත් වැඩ කරන්නේ තෝරා බේරා ගැනීමක් එක්ක. ඔහුත් ජනප්‍රිය කැටගරි එකේ කෙනෙක් නෙවෙයි. රංගන ශිල්පියෙක් විදිහට හොඳ ගමනක් යන්න උත්සහ කරන කෙනෙක්. එයා ජීවිතේ දිහා පටු විදියට හිතන කෙනෙක් නෙවෙයි. විවෘත මනසකින් හැමදේම දිහා බලන කෙනෙක්. ලංකාවේ වගේම ලංකාවෙන් එහා වෙන නිර්මාණ ගැනත් හොඳ දැනුමක් හොයන කෙනෙක්. ඒ නිසා එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඒ නිසා මට මගේ ගමන පහසු වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ වෙන කෙනෙක් එක්ක මම සම්බන්ධතාවක් පටන් ගත්තත් මේ තරම් පහසුවක් මට දැනෙන එකක් නැහැ. ඒ තරම් හොඳ තේරුම් ගැනීමක් තියෙන කෙනෙක්.


ඔහොම තේරීම් එක්ක කලාව කරගෙන ජීවිතේ ගොඩ නඟා ගන්නේ කොහොමද?


ඒක පැහැදිලිවම ප්‍රශ්නයක්. මම නිතරම මගේ වැඩ ගැන සමාජ මාධ්‍යයට එකතු කරනවා. මම විශ්වාස කරනවා ඒක අපිට වෘත්තීය ඇතුළේ පැවැත්මට හොඳ දෙයක්. මම එහෙම පොඩි දේ වුණත් දාන නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ගොඩක් වැඩ කරන හම්බ කරන කෙනෙක් කියලා. හැබැයි ඒක එහෙම්ම නැහැ. මම කාලය අරගෙන වැඩ කරන කෙනෙක්. ඇත්තටම ආර්ථිකය පැත්තෙන් හරි අමාරුයි. කාලයක් මම දිගටම වැඩ කළා. දිගටම වැඩ කරන්න පුළුවන් මට්ටමේ නිර්මාණ ආවා. සල්ලි හෙව්වා. ඉතුරු කළා. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක අපි දෙන්නටම දැන් අමාරුයි. අත්‍යවශ්‍ය වියදම් ටික කළාට පස්සේ ඉතුරු වෙන්නේ පොඩි ගාණයි. හැබැයි මම නිළියක් කියන ෆැන්ටසි එකේ ජීවත් නොවෙන නිසා මට ලෙහෙසි වෙලා තියෙනවා. මම පොළොවේ පය ගහලා බොහොම සරලව අත්‍යවශය වියදම් එක්ක ජීවත් වෙන කෙනෙක්. ආදර කතාවට කාලයක් වෙන නිසා, මේ වසරේ දී මංගල සීනු හැඩවෙයිද?


අපි දෙන්නා ඒ ගැන තවම හිතලා නැහැ. මේ යන විදිහ අපි දෙන්නටම ඉතා පහසුයි. අපි දෙන්නම එක්තරා විදිහකට ස්වාධීන චරිත. එයා මට දේවල් ලබා දෙනකම් හෝ මම ඒ දේවල් බලාගෙන ඉන්නවා නෙවෙයි. එයා මගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වගේ එහෙම තැනක නැහැ. අපි දෙන්නා එකතු වුණොත් අපිට අපිව බලාගන්න පුළුවන් වගේ තැනක නෙවෙයි අපි දෙන්නම ඉන්නේ. එයා කැමැති නැහැ එයාව අනවශ්‍ය විදිහට care කරනවට. මමත් එහෙමයි. මම ඉස්සර ඉඳන්ම පුරුදු වෙලා ඉන්නේ මට මගේ වැඩ කර ගන්න පුළුවන් වගේ මුරණ්ඩු ගතියක. එකේම තමයි එයත් ඉන්නේ. එතකොට අපි අනවශ්‍ය විදිහට නීති දාගන්නේ නැතුව, අනවශ්‍ය විදිහට එකිනෙකාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ගෙවන හරි පහසු ජීවිතයක් තියෙන්නේ. ඒක ඇතුළේ අපිට තාම විවාහ වෙන්න ඕනේ වගේ හදිසියක් නැහැ.


කසුනිගෙ ඉලක්කය මොකක් ද?


අපේ කියවීම අපේ සෙවීම ඇතුළේ තමයි මනුස්සයෙක් පරිණත වෙන්නේ. කෙනෙක් වයසට ගියත් ඒ කෙනා පරිණතයි කියන්න බැහැ. එයා ජීවත් වෙලා හිටිය කාලය තුළ ලබපු දැනුම එක්ක අත්දැකීම් එක්කයි පරිණත වෙන්නේ. මටත් අවශ්‍ය රංගන ශිල්පිනියක් විදිහට පරිණත කෙනෙක් වෙන්න. එහෙම නැතුව ප්‍රසිද්ධිය හෝ තියෙන හැම සම්මාන උලෙළකම සම්මානයක් ගන්න හීන දකින එක නෙවෙයි. මගේ ජීවන අත්දැකීම් ඇතුළේ සහ මම කරන වැඩ ඇතුළේ ලබන පුහුණුවෙන් වගේම මගේ ස්වයං කියවීම ඇතුළේ මට අවශ්‍ය හරි විදිහට පරිණත දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්නයි ඕනේ. ඒකට තමයි මේ තරම් අපහසුතා අමාරුකම් මැද්දේ මේ දේ අල්ලන් ඉන්නේ.


අනුෂා රණසිංහ



Previous Post Next Post