පිරිමියෙක් මගේ ජීවිතයට එපා කියන සිතුවිල්ල මාව හුඟාක් ශක්තිමත් කළා - දුෂේනි සිල්වා



දුශේනි... ළඟදි තවත් ජනප්‍රිය සම්මානයක් ලැබුණා. මොකද හිතෙන්නේ?


මේ මට නොකඩවා ලැබුණු හතරවැනි ජනප්‍රිය සම්මානයයි. ඉතින් මේ විදියට ජනතාවගේ ආදරය ලැබීම ගැන හරිම සතුටුයි. අවුරුදු ගණනාවක් පුරාවට ඒ හිත්වල ආදරය එක්ක රුඳී සිටීම ගැන හරි සතුටුයි. ඒක එක්තරා විදිහක වාසනාවක් කියලයි මට හිතෙන්නේ.


Q සම්මානයත් එක්ක මේ දිනවල ඔබගේ තවත් අපූරු ආදරයක් ගැන බොහෝ දෙනා කතා කරනවා?


Q ඔව්... මට හිතෙන්නේ  ඒකත් මට ලැබුණු තවත් අපූරු සම්මානයක්. එයා නිසා ජීවිතේ සතුටින් ගත වෙනවා කියලයි මට දැන් හිතෙන්නේ.


Q දුශේනිට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඒ ආදරයත් එක්ක මේ අපූරු ආදරය සුවිශේෂී වුණේ කොහොමද?


මට හිතෙන විදියට මගේ ජීවිතේට ශක්තියක් ඕනෑ වුණා. ඒ ආදරණීය ශක්තිය මගේ ජීවිතේට ලැබුණා. එයා නිසා මගේ ජීවිතේ දැන් සුන්දරව ගලාගෙන යනවා. මම ගොඩක් දේවල්වලදී ශක්තිමත්ව හිටපු ගැහැනු ළමයෙක්. ඒ දේට තවත් සුවිශේෂී ශක්තියක් ලැබුණා කියලයි මට දැන් හිතෙන්නේ.


 පෞද්ගලික හේතූන් නිසාත් කලා ක්ෂේත්‍රයේ ඇතැම් සිදුවීම් නිසාත් ඔබගේ හිත රිදුණු තැන් ගෙවුණු කාලේ දී අනන්තවත් සිදුවෙලා ඇති. ඒ තැන්වලදී ඔය හිත හයිය කරගත්තේ කොහොමද?


මම බොහෝ  කාලයක් තනිකඩව හිටපු කෙනෙක්. මම අවුරුදු හයක් විතර තනිකඩව හිටියා. "මට ආදරය සහ මට මාව ඇති" කියන තැන හිටපු කෙනෙක්. ඒ හැම දෙයක් එක්කම මම ගොඩක් තනි වුණා. "පිරිමියෙක් මගේ ජීවිතේට අවශ්‍ය නැහැ" කියන සිතුවිල්ලත් එක්ක මම ගොඩක් ශක්තිමත් වුණා. ගෑනු කෙනෙක් කියන්නේ සෞම්‍ය හැඟීම් තියෙන කෙනෙක්. ඒ නිසා සමහර තැන්වලදී අපිට පිරිමියෙකුගේ ශක්තිය, ආරක්ෂාව ඕනෑ කියලත් හිතුණා. ඒ කාලෙදිත් මගේ පෞද්ගලික ජීවිතේට, රුකියාවට ප්‍රශ්න ගොඩක් ආවා. හැබැයි ඒ හැම දේකදීම මම හිනා වෙලා ඒ හැමදේටම මුහුණ දුන්නා. ඒත් මම හරි වෙලාවේදී  හරි තීරණ ගත්තා.


Q අවුරුදු හයක් තනිකඩව ඉඳිද්දි "මට ආදරයක් ඕනෑ" කියලා හිතුණු තැන් ඇති. ඒ සිතුවිල්ල දරුණුවටම දැනුණු තැනක් මතක් කළොත්?


එහෙම හිතුණු තැන් තිබුණා. හැබැයි ඒවා අතිශය පෞද්ගලිකයි. ඒ වගේ දරුණුවටම හිතුණු තැන් දෙක තුනක් මගේ ජීවිතේ තියෙනවා.


Q මෙවර සම්මානය අතට ගනිද්දි  දුශේනිගේ මවත් ළඟින්ම හිටියා. ඒ දවසත් හරි සුවිශේෂීයි නේද? 


ඔව්... මගේ අම්මා සහභාගි වුණු පළවෙනි සම්මාන උළෙල විතරක් නෙවෙයි, කලා උත්සවයකට සහභාගි වුණු පළවෙනි අවස්ථාවත් මේකමයි. අම්මා වැඩිය ප්‍රසිද්ධ ස්ථානවලට යන්න කැමති නැහැ. මාත් එක්ක ඊට කලින් තාත්තා ඇවිත්  තියෙනවා. අම්මා එදා ඇවිත් හරියට සතුටු වුණා. වෙනදා තාත්තා ඇවිත් මේ පාර අම්මා ආවාම වෙනසක් වේවිද කියලත් අම්මා ටිකක් බය වුණා. මේ පාර "අම්මා මාත් එක්ක යමු" කියලා මම අම්මට කතා කළා. තාත්තා වුණත් වැඩිය වැඩසටහන්වලට ප්‍රසිද්ධ තැන්වලට යන්න කැමති නැහැ. හැබැයි තාත්තා මීට කලින් වැඩසටහන් කිහිපයකටත් සම්මාන උත්සව කිහිපයකටත් සහභාගි වුණා.


Q අම්මගෙයි තාත්තගෙයි සචින්ට තියෙන පිළිගැනීම කොහොමද?


ඇත්තටම හොඳයි. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු.


මේ දිනවල ඔබ සල්ලි පොකුරුත් එක්කම නේද?


ඔව්... මේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්‍ෂණය කරන සද්ධාමංගල සූරියබණ්ඩාර නිෂ්පාදනය හා තිර රචනය කරන "සල්ලි පොකුරු" ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක මේ දිනවල ඉතා ජනප්‍රිය නිර්මාණයක්. මෙගා ටෙලිනාට්‍යයකට මම මේ දිනවල සම්බන්ධවෙලා ඉන්නේ "සල්ලි පොකුරු" ටෙලිනාට්‍යයට විතරයි. එකදිගටම මෙගා ටෙලිනාට්‍ය දෙක තුනක් මම බාරගන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී කොටස් පනහක හැටක නිර්මාණයකින් දැකබලා ගන්න පුළුවන් වේවි. මේ දිනවල ඒ ගැන කතාබහ කරමින්, ඒකට සූදානම් වෙමින් ඉන්නවා.


Q ගෙවන සහ ගෙවුණු කාලයත් එක්ක ජීවිතේ සුන්දරම කාලය කොයි කාලයද?


ජීවිතේ වාසනාව, සතුට, ලැබීම්, අහිමිවීම් එක එක කාලවලට බෙදෙනවා. මම හිතන විදියට ගිය වසරේ "පාර දිගේ" ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත වාසනාව මේ වෙනතුරු තියෙනවා. ඒ වාසනාව කවදා වෙනකම්ද කියලා මම දන්නේ නැහැ. යම්කිසි වාසනාවක් මා වටා කැරකෙනවා කියලා මට තේරෙනවා. හැබැයි මගේ පුංචි කාලෙ ජීවිතේ සතුටින්ම ගත වුණා. අම්මා තාත්තා එක්ක කුරුණෑගල ගෙදර හිටපු කාලෙ හරි සුන්දරයි. ඒ කාලෙ ජීවිතේ බරක් නැතුව සතුටින් ගත කළා.


Q කුරුණෑගල ගෙදර ඉඳිද්දි නිළියක් වෙන හීනයක් තිබුණද?


නැහැ... කිසිම හීනයක් තිබුණේ නැහැ. මට ගුරුවරියක් වෙන හීනයක් තිබුණා. ඒකට හේතු වුණේ මගේ නැන්දා. එයා හරි ලස්සනට ඇන්ඳ පැළැන්ඳ ඉංග්‍රීසි ගුරුවරියක්. ඒ නිසා ඒ වගේ ගුරුවරියක් වෙන්න මම ආසා කළා. නිළියක් වෙන එක මගේ ජීවිතේ ගොඩාක් දුර තිබුණු දෙයක්. මේක මම කවදාවත්ම දැකපු නැති හීනයක්


Q බොහෝ කටුක අත්දැකීම්, කැපකිරීම් ඔස්සේ ඉදිරියට ආපු ඔබ අද සම්මානවලට පාත්‍රවෙන නිළියක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


සම්මානයක් කියන්නේ අපේ ජීවිතේ අපි කරන කැප කිරීම්වලට දෙන එක්තරා ඇගයීමක්. ඒ දේ ලැබුණාම සතුටු වෙනවා වගේම මේ ක්ෂේත්‍රයට තවත් වැඩිපුර යමක් කිරීමට කැමැත්තක් ඇති වෙනවා. මට නැගී එන නිළියට සම්මානය ගත්තට පස්සේ "මම කුමක් හෝ දෙයක් කලාවට තව කළ යුතුයි" කියන සිතුවිල්ල ඇතිවුණා. රංගනය කියන්නෙ එක්තරා විදිහක අමාරු, කටුක ජීවිතයක්. විශේෂයෙන් ලංකාව වගේ රටක. හැබැයි මිනිසුන්ගේ ආදරයත් එක්ක ඒ කටුක බව ඇතුළේ ලොකු තෘප්තියක් ලබනවා.


Q දුශේනි සහ සචින් කවදා විවාහ වෙයිද?


ඒක හරියට දන්නේ නැහැ. දෛවයේ ලියැවිලා තියෙන විදියට කවදා හරි ඒ දේ සිදුවේවි. අපි ආදරය කරන්න පටන් ගත්තේ පෙම්වතුන්ගේ දිනය දා. ඒ කියන්නේ පෙබරවාරි 14 වැනිදා. ඉතින් ඒ දවසේ අපි පෙම්වතුන් වුණා. අනාගතය අපිට දැම්ම කියන්න බැහැ.


I දිශානි



Previous Post Next Post