මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න?



 මේ දවස්වල කාගෙත් කටේ තියෙන්නේ “මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න” කියන පද ටික. වයසින් වැඩි අක්කලාට හිත ගියපු මල්ලිලා ගැන වගේම වයසින් බාල මල්ලිලාට හිත ගියපු අක්කලා ගැනත් සමාජ මාධ්‍ය ඇතුළේ වැඩි වැඩියෙන් කතා වෙන මේ වගේ කාලයක එළියට ආපු මේ ගීතය නිකුත් වෙලා දින කිහිපයක් ගත වෙද්දිම යූ – ටියුබ් නැරඹුම් වාර මිලියන දෙකේ සීමාවට ආසන්න වෙමින් ට්‍රෙන්ඩින් නම්බර්


වන් බවට පත් වුණා. මේ තරම් රසික ආකර්ෂණයක් දිනාගත්ත ගීතයේ හිමිකාරිය නම් එතරම් හුරු පුරුදු කෙනෙක් නොවෙයි. ඒ නිසාම අපිට හිතුණා මේ තරම් ජනප්‍රිය ගීතයක් ගායනා කරපු ඒ ගායිකාව කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. නමින් මංජුලා සෙව්වන්දි වන ඇය ‘හදගැස්ම’ සමඟින් තොරතුරු බෙදා ගත්තේ මෙන්න මේ විධියට. ඔයා ගැන විස්තරයක් කියලම අපි කතාව ආරම්භ කරමු?


මම මංජුලා සෙව්වන්දි කන්නංගර. මගේ ගම කැබිතිගොල්ලෑව. මම විවාහකයි. මම පාසල් ගියේ කැබිතිගිල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලයේ සංගීතය විෂයක් විධියට හැදෑරුවා.


සංගීතයට ආසාව පොඩි කාලේ ඉඳලම තිබුණද?


ඔව් ඇත්තටම මට පොඩි කාලේ ඉඳලම හොඳට සින්දු කියන්න පුළුවන්. ඉස්කෝලේ යන කාලේ තිබුණු විවිධ තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා තිබෙනවා. ජයග්‍රහණය කරන්න කරන්න තව තවත් සින්දු කියන්න ආසාව ඇති වුණා. බලාපොරොත්තුව තිබුණේ කවදාහරි රටේ ජනප්‍රිය හොඳ ගායිකාවක් වෙන්න.


අක්කලාගේ වෙන්න ගීතය ඔබව ජනප්‍රිය තරුවක් කළා. දැනෙන හැඟීම ගැන කියමු?


 ලොකු හීනයක් තිබුණා, හොඳ ගීතයක් නිර්මාණය කරලා ජනප්‍රිය වෙන්න. මගේ අක්කලාගේ වෙන්න ගීතය දැන් ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙනවා. ඉතිං මේ වෙලාවේ මම ලොකු සතුටක් විඳිනවා.


ඔබට මේ ගීතය නිර්මාණය කරන්න අවස්ථාව සැලසුනේ කොහොමද?


ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. මේ ගීතය නිර්මාණය කරන්න මූල්‍යමය අනුග්‍රහය දක්වන්නේ මගේ රසිකයෙක්. රන්ජිත් කරුණාරත්න කියන අයියා තමයි මේ සින්දුව කරමු කියලා වියදම් කරන්නේ. එතැනදී මම මේ ගීතය නිර්මාණය කරන්න දෙසවන ප්‍රඩක්ෂන් තෝරාගන්නවා. එතැනදි ගීතය ලියන්න හර්ෂණ කේ. මල්ලිට කතා කළාම ඔහු තමයි මෙහෙම ගීතයක් කරමු කියන අදහස දුන්නේ. මේ ගීතයේදී හර්ෂණ කේ. මල්ලි ඉවෝබීට්ස්, කසුන් මධුශංක, තිසුන් ගුණතිලක වගේම සංඛ මධූ හා විශුවල් එකෙන් දායක වුණු ඕෂධී හිමාෂා සහ හර්ෂණ ප්‍රභාත් මේ හැමෝම ලොකු සහයෝගයක් දුන්නා. ඔවුන් සියලුදෙනාවම මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා.


ගීතය මෙතරම් ජනප්‍රිය වෙද්දි එයට අනුග්‍රහය දැක්වූ ඔබේ රසිකයා මොනවද කියන්නේ?


 ඔව්. ඇත්තටම මේ ගීතය ගැන මං තරමට ඔහුත් සතුටු වෙනවා. ඇත්තටම ජනප්‍රිය වුණු කෙනෙක් වෙනුවෙන් වියදම් කරලා නිර්මාණ කරන්න ඉදිරිපත් වෙන අය හිටියත් මම වගේ කෙනෙක්ට ජනප්‍රිය වෙන්න අත දෙන අය හරිම අඩුයි. ඉතිං ඔහු මට ලොකු උපකාරයක් කළේ. ඒ වෙනුවෙන් මම ඔහුට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.


අක්කලාගේ වෙන්න ගීතයට පෙරත් ඔබ ගීත කිහිපයක් කළා නේද?


ඔව් මම මීට පෙර ගීත දෙකක් කරලා තිබෙනවා. එකක් සු‍ෙදා් ඇයි තරහින් වගේ. අනෙක් ගීතය රාගිනී. නමුත් ඒ ගීතවලට අක්කලාගේ වෙන්න ගීතයට වගේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.


මේ වෙද්දි ප්‍රසංගවලට මාධ්‍ය වැඩසටහන්වලට එහෙමත් ආරාධනා ලැබෙනවා ඇති නේද?


ඔව්. දැන් ගොඩක් අය, මියුෂිකල් ෂෝවලට වගේම රූපවාහිනි වැඩසටහන්වලටත් කතා කරනවා. ඒ හැමදේම අක්කලාගේ වෙන්න ගීතය හරහා මට ලැබුණේ.


කැබිතිගොල්ලෑවේ ඉඳලා නිතරම කොළඹ එන එක අපහසු නැද්ද?


 කැබිතිගොල්ලෑව කියන්නේ දුෂ්කර ප්‍රදේශයක්. ඇත්තටම අපිට කොළඹට එන්නම දවසක් යනවා. ඉතිං වැඩකට එහෙම එනවා නම් කලින් දවසේ තමයි අපි කැබිතිගොල්ලෑවෙන් පිටත් වෙන්නේ.


 ජනප්‍රිය ගායිකාවක් වෙන්න දැකපු සිහිනය අද හැබෑ වෙලා මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?


 ඒ ගැන ගොඩක් සතුටුයි. කියන්න වචනත් නැහැ. රටේ ජනප්‍රිය ගායිකාවක් වෙලා මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න තමයි මට අරමුණක් තිබුණේ. අද වෙද්දි මම අක්කලාගේ වෙන්න ගීතය හරහා රටේ තරමක ජනප්‍රියත්වයක් ලබාගෙන තිබෙනවා. මම පාසල් අවධියේදී සංගීතය ඉගෙන ගත්තා. මම හිතනවා අපිට මොනා හෝ ඉගෙන ගන්න වයස් සීමාවක් නැහැ කියලා. ඒ නිසා ඉදිරියේදී සංගීතය පිළිබඳව වැඩි දුර හදාරන්න බලාපොරොත්තු වෙනවා.


 මේ හැමදේටම සහාය වෙන ඔබේ පුංචි පවුලත් සිහිපත් කරමු?


 මම පවුලේ තනි දරුවා, මගේ අම්මා මීට මාස පහකට පමණ කලින් මිය ගියා. මගේ සැමියා නිලන්ත පුෂ්පකුමාර. මගේ පුතා භාතිය ශෙලීන් අංකුඹුර. මගේ සැමියා තමයි හැම මොහොතකම මගේ පසුපසින් ඉඳිමින් මාව දිරිමත් කරන්නේ. ඔහුගෙන් මට උපරිම සහයෝගයක් ලැබෙනවා.


අවසන් වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ ඔබට තිබෙන අනාගත බලාපොරොත්තු ගැනත් සිහිපත් කරමු?


දිගටම හොඳ නිර්මාණ බිහිකිරීම තමයි මගේ බලාපොරොත්තුව. විශේෂයෙන් මෙතැනදී මම මගේ රසිකයන්ට මගේ විශේෂ ස්තූතිය පුද කරනවා. මොකද එයාල තමයි මාව ට්‍රෙන්ඩිංග් නම්බර් වන් කළේ. එයාලගේ ආදරය නිසා තමයි මට මෙතරම් දුරක් එන්න හැකි වුණේ. ඒක නිසා මගේ ආදරණීය රසිකයන්ව මම මේ වෙලාවේ බොහොම ආදරයෙන් සිහිපත් කරනවා.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post