හොඳ චරිත කරන්න පුළුවන් කැපෑසිටි එකක් මට තියෙනවා-වගීශා සල්ගාදු




ඇය ඇගේ වයසට වඩා වැඩි දක්ෂතාවන් ප්‍රමාණයක් කලාව තුළ පෙන්වා ඇති කලාකාරිනියකි. රංගනය, ගායනය, නිවේදනය, නර්තනය මෙන්ම ගේය පදරචනය හරහාද රසික සිත් තමා වෙතට ආකර්ෂණය කර ගත් මේ සුරූපිනිය, වේදිකාව, ටෙලි නාට්‍ය හා සිනමාව තුළද දස්කම් පෑ ශිල්පිනියකි. මේ දිනවල කාව්‍යා නමින් වඩාත් ජනප්‍රිය ඈ නමින් වගීශා සල්ගාදු වේ.


අලුත් තොරතුරු ටිකක් කියලම කතාව පටන් ගමු?


මේ දවස්වල හැමදාමත් වගේ රංගන කටයුතුවල නිරත වෙනවා. ඊට අමතරව අලුත් දෙයක් හැටියට මගේ සංගීත වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. මේ දවස්වල මම වැඩිපුරම ෆෝකස් කරන්නේ සංගීත වැඩ කටයුතුවලට. ඊට අමතරව චිත්‍රපට දෙකක රූගත කිරීම් සිද්ධ වෙනවා.


සංගීත ආභාසය ඔබට පවුලෙන් ලැබුණු දෙයක්. ඉතිං ඒ ගැනත් විස්තර කියමු?


මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් වගේම සංගීතඥයෙක්. මගේ තාත්තගේ ආසාව තිබුණා මම රංගනයට වඩා සංගීත පැත්තෙන් දෙයක් කරයි කියලා. නමුත් මගේ ජීවිතය හැරුණේ රංගනයට ගොඩක්ම. මම පොඩි කාලේ ඉඳන්ම සංගීතය හැදෑරුවා, වොයිස් ට්‍රේනින් කළා, සංගීත භාණ්ඩ වාදනය ඉගෙන ගත්තා. ඒක නිසාම මට හිතුණා ඇයි මම මගේ දැනුම පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. ඉතිං මම හිතුවා මේ 2024 සංගීත පැත්තටම යොමු කරනවා කියලා. මේ දවස්වල පද රචනයේ යෙදෙනවා, ඒ වගේම සංගීතයට අවශ්‍ය මගේ අනෙකුත් හැකියාවන් ඔපමට්ටම් කරගනිමින් යනවා. ඒ වගේම මේ වෙද්දි මගේ ගීත නිර්මාණ හතරක් හදලා ඉවරයි. ඒවා මේ වසරේ මාර්තුවල සිට අහන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය තිබෙනවා.


මේ වසරේ ඔබ සිනමාව එක්කත් කාර්යබහුලයි නේද?


ඔව්, ඇත්තටම මේ වසරේ මගේ අලුත් සිනමා නිර්මාණයක වැඩකටයුතු මේ පෙබරවාරි මාසයේ ආරම්භ කරනවා. ඒක මහේල හෙට්ටිආරච්චි කියන අධ්‍යක්ෂවරයාගේ යටතේ සිදුවන වැඩක්. ඒ වැඩකටයුතු අවසන් වුණාම ඔහුගේම තවත් සිනමා නිර්මාණයක රූගත කිරීම් මේ වසරේ අවසන් භාගයේදී සිදු කරන්න නියමිතයි. බොහොම ලස්සන වැඩ දෙකක්. එකක් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් සිදු කරන නිර්මාණයක්. අනිත් නිර්මාණය පොතක් ඇසුරින් නිර්මාණය වන හරිම ආදරණීය කතාවක්.


මේ දිනවල දිවිතුරා හි කාව්‍යාට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා නේද?


මම හිතන්නේ දිවිතුරා මෙතුවක් කල් විකාශය වූ කාලයත් සමඟම අද වෙද්දි මගේ චරිතය එන්න එන්නම ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගනිමින් ඉන්නවා. මුලදි බැන්න අය වුණත් අද වෙද්දි ගොඩක් ආදරෙයි. එයාලා තේරුම් අරගෙන තිබෙනවා, කාව්‍යා පෙන්නුම් කරන නපුරුකම මගේ ස්වභාවය නෙවෙයි, ඒක ඒ චරිතයේ ස්වභාවය කියලා. ඇත්තටම කළු චරිතයක් කරද්දි මිනිස්සු ඒක භාර ගන්නේ හරිම අඩුවෙන්. නමුත් මම කොහේ ගියත් අද වෙද්දි කාව්‍යාට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ දිනවල දිවිතුරා නාට්‍යයේ බොහොම ලස්සන සිදුවීම් ටිකක් විකාශනය වෙනවා. බොහෝ විට දිවිතුරා නාට්‍යයේ සීසන් 2කුත් නිර්මාණය වෙන්න ඉඩ තිබෙනවා. කාව්‍යාගේ චරිතය කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි. ඒක තමයි මට ලැබුණු පළමු කළු චරිතය. නමුත් ඒ චරිතයත් මගේ ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් වැලඳගත්තා.


ඔබ ඉතාමත් ළාබාල රංගන ශිල්පිනියක් වුවත්, විවිධාකාර පරාසයන්වල චරිත රඟ දක්වලා තිබෙනවා, ඒ අත්දැකීම මොන වගේද?


එක පැත්තකින් ඒක වාසනාව කියලයි මම හිතන්නේ. නමුත් අපි වැඩ කරන්නත් ඕනා එහෙම චරිත ලැබෙන්නත්. එකම රාමුවකට කොටු නොකර ඇතැම් අධ්‍යක්ෂවරු මගේ ඒ කැපෑසිටි එක දකින එකම මට ලොකු දෙයක්.  අවුරුදු 12 දී මම රඟපෑ පළමු චරිතයේ ඉඳලම අද වෙද්දි මට එකිනෙකට වෙනස් චරිත රඟ දක්වන්න අවස්ථාව හිමිවුණා. එහෙම චරිත හිමිවෙන්න මගේ හැකියාව අධ්‍යක්ෂවරු දකින එකම මගේ ලොකු පිනක් කියලයි මම හිතන්නේ. මොකද අපේ වයසේ රංගන ශිල්පිනියන්ට එහෙම අවස්ථා ලැබෙන්නේ සීමිතව. මට ලැබුණු ඒ අත්දැකීම් ගැන ගොඩක් සතුටුයි. මට ඉදිරියේදී මීට වඩා ලොකු හොඳ චරිත කරන්න පුළුවන් කැපෑසිටි එකක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතිං අධ්‍යක්ෂවරු ඒක දැක්කොත් ඔවුන් අනිවාර්යයෙන්ම මාව ඒ නිර්මාණවලට ගනී. ඊට අමතරව මට පුළුවන් විධියට මම දන්න අධ්‍යක්ෂවරුන්ගෙන් මම රික්වෙස්ට් කරනවා මට මෙහෙම චරිතයක් කරන්න ආසයි කියලා.


මේ තැනට එන්න ඔබට වේදිකාවෙන් ලැබුණු පන්නරය ගැනත් කියමු?


ඒක අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. මම අවුරුදු 10කට වැඩි කාලයක් ළමා හා තරුණ රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවේ වැඩකටයුතු කළා. වේදිකාව කියන්නේ මාව හදපු තැන. වේදිකාවෙන් ලැබුණු දේවල් මගේ ඇතුළාන්තයටම ගිහින් තිබෙන්නේ. රංගනයේ වටිනාකම මට දුන්නේ වේදිකාව. වේදිකාවට මම හරිම ආදරෙයි, ඒ ගැන ලොකු ගෞරවයක් තිබෙනවා. ඉතාමත් ඉක්මනින් හොඳ නිර්මාණයක් හරහා නැවතත් වේදිකාවට පය තබන්න සූදානමක් තිබෙනවා.


ක්ෂේත්‍රයට අලුත් මූණු ගොඩක් එකතු වෙන කාලයක ඔබේ ස්ථානය ස්ථාවරව තබාගන්නේ කොහොමද?


ඔය ප්‍රශ්නය අපි දකිනවා. අපිට වැඩකට කතා කළාම ප්‍රවීණයන්ට අමතරව අපේම කැරැක්ටස් කරන ශිල්පීන් දැක්කම ඔවුන්ගෙන් ඇතැමෙක් අපි දන්නෙත් නැහැ. ඔවුන් රංගනය හදාරලා තිබෙනවද, රංගනයේ වටිනාකමක් තිබෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙම කාලයක අපි කරන අරගලය, විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ මම ගැන ඒ අරගලය ගත්තොත් බොහොම අපහසු එකක්. අපි මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ගමන් අපේ දක්ෂතාව පෙන්නන්න ඕනා. ඒක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් මම තේරුම් ගත්ත දෙයක් තමයි, අපිට මෙතැනදී අපි වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. අපි, අපි වෙනුවෙන් වැඩ නොකරන තාක් කවුරුත් අපේ විශේෂත්වයක් දකින්නේ නැහැ. කවුරු මේ ක්ෂේත්‍රයට ආවත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මම. මම මගේ ටැලන්ට් එක දන්නවා, ඒක තව පොලිෂ් කරගන්න පුළුවන් කියලත් දන්නවා. ඒකට හරියන්න මම මාත් එක්ක මං වෙනුවෙන් වැඩ කරනවා. ඒ අතරතුර පිට අයත් එක්කත් සහයෝගෙන්, සුහදව වැඩ කරනවා. අනිත් අය ගැන හිතනවට වඩා මම මේ ක්ෂේත්‍රයේ ඉන්නකම් මට දිය හැකි දේ වටිනාකමකින් යුතුව දෙන එක තමයි මගේ අරමුණ. ඒක මම මට පුළුවන් විධියට කවුරු ආවත්, ගියත් කරනවා.


රංගනය, ගායනය, නර්තනය මේ තුනෙන් ඔබේ වැඩි රුචිකත්වය කෝකටද?


ඒකත් හරියටම ළමයි තෝරනවා වගේ අමාරු වැඩක්. රංගනය, ගායනය, නර්තනය, නිවේදනය, ලියන එක මේ සියල්ල අතරින් මම කැමැතිම කොයි දේටද කියලා තෝරන්න අපහසුයි. මම හිතන්නේ ඒ මොහොතේ මම අවධානය යොමු කරලා තිබෙන දෙයට වැඩිපුර කැමැතියි. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මූමන්ට් එකේ තිබෙන දේට උපරිම වටිනාකමක් දෙන එක තමයි මම කරන්නේ.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


ඉදිරියේදී මම චිත්‍රපට දෙකක්, මගේ ගීත හතරක් වගේම මම ලියපු ගීතත් එන්න තිබෙනවා. ඊට අමතරව යූටියුබ් එක හරහා අලුත් වැඩ කිහිපයක් අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපටත් තිබෙනවා නිකුත් වෙන්න.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post