අද පායලා හෙට බැහැලා යන තරුවක් නොවීම ලොකු සතුටක්- සංජය මුරමුදලි



තරු තරගයක ජයග්‍රාහකයා බවට පත් වෙමින් කලාවට අවතීර්ණ වූ මෙම කඩවසම් තරුණයා ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයෙන් ඔබ්බට, වේදිකාව මෙන්ම සිනමාව හරහාද තම දක්ෂතා පෙන්වූ අයෙකි. කලාවට පය තැබූ දින පටන් මේ වන තෙක් දිනෙන් දින ප්‍රේක්ෂක ආකර්ෂණය හා ආදරය දිනාගනිමින් සාර්ථක ගමනක නියැළෙන ඔහු නමින් සංජය මුරමුදලි වේ. 


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දවස්වල ටෙලි නිර්මාණ කිහිපයකට හා සිනමා නිර්මාණ දෙකකට පමණ දායක වෙමින් ඉන්නවා. මේ දවස්වල මම සම්බන්ධවෙලා සිටින ටෙලි නාට්‍ය නාළිකා කිහිපයකම විකාශය වෙනවා. මම කියන්නේ නැහැ මම බිසී කියලා. මොකද ක්ෂේත්‍රය ඇතුළේ ලැබෙන මේ අවස්ථාවන් අපිට වටිනවා. ඒක නිසා ඒ කාර්යබහුලත්වය තමයි අපි හැමවෙලේම සොයන්නේ. ඒ කාර්බහුලත්වය හරහා තමයි අපිට අධ්‍යාපනයක් වගේම අන් සියල්ලම ලැබෙන්නේ. ඒක නිසා හොඳින් ආසාවෙන් වැඩකටයුතු කරගෙන යනවා.


මේ කාලසීමාව ඇතුළත ඔබ දායක වූ නිර්මාණ කිහිපයක්ම විකාශය වුණා සහ වෙමින් පවතිනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොන වගේද?


ඔව්. මට හොඳ නිර්මාණ කිහිපයකටම දායකත්වය දෙන්න අවස්ථාව ලැබුණා. මොකද ඇතැම් වෙලාවට අවස්ථාව ලැබුණත් අපිට තෝරලා බේරලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ ඇතුළත අපි තෝරගන්න නිර්මාණවල වෙනස්කම් කරලා චරිතය හදාගෙන ඉදිරියට අරගෙන යන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒක ගොඩක් වටිනවා. එවැනි නිර්මාණවලට දායකත්වය දෙන්න ලැබීම වාසනාවක්. මෑත කාලය තුළ මගේ හොඳ නිර්මාණ කිහිපයක්ම විකාශය වුණා වගේම වෙමින් පවතිනවා. ඇතැම් චරිතවල ගති ලක්ෂණ නිසා මට දැක්කම සෙරෙප්පුවෙන් ගහන්න හිතෙනවා කියලා කියන ප්‍රේක්ෂකයොත් ඉන්නවා. හැබැයි ඉතින් එයාලා මූණට දැක්කම කියනවා ඔයා හරි අහිංසක, හිනාවෙලා ඉන්න, නිහතමානී කෙනෙක් කියලා. ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දි ලොකු සතුටක් තියෙනවා. ඉතින් මේ දවස්වල විකාශය වෙන නිර්මාණවලට වගේම විශේෂයෙන්ම ස්වර්ණවාහිනියේ විකාශය වුණු මේක තමයි ජීවිතේ ටෙලි නාට්‍යයේ මගේ චරිතයටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වුණා. රසිකයන්ගෙන් ලැබෙන ඒ ප්‍රතිචාර ජීවිතයට ගොඩක් වටිනවා.


රියැලිටි තරගයකින් කලාවට ආපු රංගන ශිල්පියෙක් විධියට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


රූපවාහිනියට හා සිනමාවට මගේ අඩිතාලම වැටෙන්නේ සිරස ෆිල්ම් ස්ටාර් හරහා. ඒ හරහා මට ලොකු අධ්‍යාපනයක් සහ අත්දැකීමක් හිමිවුණා. සංජය මුරමුදලි කියන චරිතය කැටයම් දාලා ඔපමට්ටම් කරලා මේ ක්ෂේත්‍රයට ගෙනත් දැම්මේ සිරස ෆිල්ම් ස්ටාර්. ඒ හරහා මට ලොකු ශක්තියක් වගේම මටම මං ගැන ගෞරවයක්, අභිමානයක් ඇති වුණා. මේ වගේ ක්ෂේත්‍රයට එන එක ලේසි නෑ. නමුත් ෆිල්ම් ස්ටාර් හරහා මට ඒක කරන්න හැකියාව ලැබුණා. අද ඉන්න තැන ගැන කතා කරද්දි මට බොහෝ නිර්මාණයන් හරහා විවිධාකාර චරිතවලින් ප්‍රේක්ෂකයා ළඟට යන්න හැකියාවක් ලැබිලා තිබෙනවා. අද පායලා හෙට බැහැලා යන තරුවක් නොවීම ගැන ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා.


ඔබ රියැලිටි තරුවක් වුණත් එකම නාළිකාවකට පමණක් සීමා වුණේ නැහැ. ඒ ගැන කතා කළොත්?


ගොඩක් වෙලාවට නාළිකාවලින් බිහි කරන තරුවලට ඒ නාළිකාවේ විතරයි වැඩ කරන්න පුළුවන් කියලා නීති දානවා. නමුත් ෆිල්ම් ස්ටාර් මාව එළියට දාන්නේ රංගන ශිල්පියෙක් විධියට. ඒ අනුව මම එක නාළිකාවකට පමණක් සීමා වීමක් සිදු වුණේ නැහැ. අද වෙද්දි මම සියලුම නාළිකා සමඟ සුහදව වැඩකටයුතු කරනවා. මම මේ වෙලාවේ ලංකාවේ සියලුම නාළිකාවලට ආදරය හා ගෞරවය පුද කරනවා. මොකද ඔවුන් මාව එක චැනල් එකකින් බිහිවුණු තරුවක් ලෙස නොගෙන මාව කලාකරුවෙක් විධියට ආදරෙන් භාර ගත්තා.


රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට රංගනය පිළිබඳව හැදෑරීමක් තිබීම මොන තරම් වටිනවද?


ගොඩක් වෙලාවට අපේ ක්ෂේත්‍රයට එන්නේ මියුසික් වීඩියෝ එකක්, ෆොටෝ ෂූූට් එකක් කරපු ගමන් මම නළුවෙක් නිළියක් කියලා හිතන අය. හැබැයි වැඩ කරද්දි ගොඩක් ගැටලු මතු වෙනවා. වෙලාවට වැඩ කිරීම, ප්‍රවීණයන්ට ගරු කිරීම වගේ දේවල් නැති අය සමඟ වැඩ කිරීමේදී අපිටත් අපහසුතාවන්වලට ලක්වෙන්න වෙනවා. අපි හැමෝම නියැළෙන වෘත්තිය සම්බන්ධයෙන් අවබෝධයක්, අධ්‍යාපනයක් ලබාගන්න අවශ්‍යයි. මම මේ ක්ෂේත්‍රය පිළිබඳව තවමත් දිනෙන් දින අධ්‍යාපනය ලබනවා. මම හිතන්නේ ක්ෂේත්‍රය ඇතුළේ කොතරම් කාලයක් වැඩ කළත් ක්ෂේත්‍රයට අද ඊයේ ආව කෙනෙක්ගෙන් වුණත් අපිට ගන්න දේවල් තිබෙන්න පුළුවන්. ඔවුන් හරහා අපිට මෙතෙක් හමු නොවුණු දේවල් උකහා ගන්න පුළුවන්.


ඒ ඉගෙනගැනීම වගේම රංගනය සම්බන්ධයෙන් යම්තාක් දුරකට හෝ න්‍යායාත්මක හැදෑරීමක් අවශ්‍යයි. සමහර අය ඉන්නවා සතර අභිනය කියන්න කිව්වම මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් කියන අය. එහෙම පුද්ගලයෝ අපිට හම්බෙලා තිබෙනවා. මම නම් කියන්නේ මේ ක්ෂේත්‍රයට අඩිය තියන්න කලින් යම්කිසි හැදෑරිමක් තිබිය යුතුයි. නැත්තම් අහක බලාගෙන ගිහින් වළකට වැටෙනවා වගේ දේකට වුණත් මුහුණ දෙන්න සිද්ද වෙන්න පුළුවන්. ලස්සනට පේන පාරක් දිගේ යද්දි ඉදිරියේදි වළවල් හමුවෙන්න පුළුවන්. ඒ වළවල් පැන පැනයන්න හැකියාව ලැබෙන්නේ අධ්‍යාපනය හරහා.


අද වෙද්දි ක්ෂේත්‍රයට තරුණ රංගන ශිල්පීන් බොහෝමයක් පැමිණ තිබෙනවා. මේ අය අතරින් ඔබේ ස්ථානය තහවුරු කරගන්න කටයුතු කරන්නේ කොහොමද?


ඒක ඇත්තටම ලොකු අභියෝගයක් කියලා හිතුණු අවස්ථාවන් තිබෙනවා. එකම හෙයාර් ස්ටයිල් එක, එකම රැවුල් කට් එක සහ ශරීර ප්‍රමාණයන්, හැඩය වගේ දේවල් එක සමාන කිහිප දෙනෙක්ම ක්ෂේත්‍රය ඇතුළේ ඉන්නවා. නමුත් මම හිතන්නේ තව කෙනෙක් අනුකරණය නොකර මටම ආවේණික ආකාරයෙන් මේ ක්ෂේත්‍රය ඇතුළේ නමක් හදාගත යුතුයි කියලා. මොනතරම් රංගන ශිල්පීන් හිටියත්, නිර්මාණයකට අපි දායක වෙන විධිය, අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විධිය, ප්‍රේක්ෂයොත් එක්ක ගනුදෙනු කරන විධිය හරහා අපේ වටිනාකම හා අපිට තිබෙන ස්ථානය තහවුරු කරගන්න පුළුවන්. මට තරගයක් තිබෙන්නේ මාත් එක්කමයි. වෙන අයත් එක්ක තරග කරලා මම මගේ තැන තහවුරු කරන්න උත්සාහ ගන්නේ නැහැ.


මේතාක් ආ ගමන තුළ ඔබේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ සිදුවීම හෝ චරිතය පිළිබඳව කතා කරමු?


මගේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය, ජාතික රූපවාහිනියේ විකාශය වුණු අමුතු රසිකයා. සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාගේ රචනයෙන්, ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්ෂණයෙන්, චාමර සමරවික්‍රම මහතාගේ නිෂ්පාදනයෙන් සිදුවුණු නිර්මාණයක් ඒක. තමා ප්‍රධාන චරිතයකට දායක වුණු පළමු අවස්ථාවේදීම සම්මාන උළෙලවල් සියල්ලගෙන්ම වගේ සම්මානවලට පාත්‍ර වීම ලේසි නැහැ. මගේ පළමු නිර්මාණයෙන්ම මට ඒ අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු අභිමානයක්. ඊට අමතරව මම දායක වුණු නිර්මාණ සියල්ලක්ම සංජය මුරමුදලි කියන කෙනාට රංගන ශිල්පියෙක් ලෙස ඉදිරියට යන්න ශක්තියක් වුණා.


ඔබ ෆිල්ම් ස්ටාර් තරගයේ ජයග්‍රාහකයා. ඉතින් සිනමාවට දැක්වන දායකත්වය ගැනත් කතා නොකරම බැහැ?


ෆිල්ම් ස්ටාර් කියන්නේ රංගන ක්ෂේත්‍රයට තරුවක් බිහි කිරීමේ අරමුණින් කළ දෙයක්. රංගනය ඇතුළේ ශිල්පියෙක් දැනගත යුතු සියල්ලම වගේ පුහුණු කරලා තමයි අපිව ක්ෂේත්‍රයට ගෙනත් දැම්මේ. එදා ඒ ලැබුණු දේවල් මට ලොකු ශක්තියක්. ඒ අතරින් සිනමා නිර්මාණ කිහිපයකටම දායකත්වය දෙන්න ඉඩ ලැබිලා තිබෙනවා. ඒ අතරින් ක්ෂීර සාගරය කැලඹුණි නිර්මාණය වැදගත්. ඒ නිර්මාණය ගැන වගේම මම සුළු චරිතයක් කළත් ඒ චරිතය ගැනත් ප්‍රේක්ෂකයෝ කතා කළා. ඒ වගේම ඉන්දියානු රංගන ශිල්පිනියක් සමඟ රංගනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණයත් ඉදිරියේදී ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි. මේ දිනවලත් සිනමා නිර්මාණයක් වෙනුවෙන් විදෙස්ගත වීමේ සූදානමක් තිබෙනවා.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ කටයුතු?


ඉදිරියේදී පෞද්ගලික නාළිකාවක හොඳ නිර්මාණයක් හරහා එළියට ඒමේ සූදානමක් තිබෙනවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක් සමඟම එකතු වෙලා සිටිනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post