මම දුෂ්ට චරිතවලින් මිදුණේ කොටුවෙන්න බැරි නිසා-සුගත් ජානක




ඔහු ලාංකික කලා ක්ෂේත්‍රයට වසර 25ක කාලයක් තම කලාත්මය දායකත්වය ලබා දුන් කලාකරුවෙකි. ගායකයෙක් ලෙස තම කලා දිවිය ඇරඹි ඔහු අද විශිෂ්ට රංගන ශිල්පියෙක්. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි සුගත් ජානක. 


ඔබේ කලා දිවිය ඇරඹුණේ කොහොමද?


පාසල් අවධියේ තමයි මම මුලින්ම කලාවට පිවිසෙන්නේ. ක¼දාන ශාන්ත මරියා විදුහලෙන් තමයි මම මගේ අධ්‍යාපනය ලැබුවේ. අපි මුලින්ම කළේ “වැසියෝ” කියලා නාට්‍යයක්. පාසලින් ලබපු පන්නරය තමයි මේ වසර 25ක් වන කලා දිවිය මූලික අඩිතාලම නිර්මාණය කරන්නේ. මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ ගායකයෙක් ලෙස. මට මතකයි පාසල් කාලෙදි ගුරුවරු හැම වෙලාවෙම සින්දු කියන්න කියනවා. සුනිල් ලියනාරච්චි කියන රංගන ශිල්පියා  ඒ කාලේ අපේ පාසලේ ගුරුවරයෙක්. ඔහු මට ජෝති කිව්වා මේක පස්සේ මට කරදරයක් වුණා.


මොකක්ද ඒ ජෝති කතාව. ඒ ගැන කතා කරමු?


මට ජෝති කිව්වහම ඉස්සර හරිම තරහයි. මම පොඩි කාලේ දැනගෙන හිටියේ නැහැ ඔහු ජනතාව මේ තරම් ආදරය කරන ගායන ශිල්පියෙක් කියලා. පාසලේ ළමයි හැමෝම මට ජෝති ජෝති කියන්න ගත්තා. රාගම ගමේ අයත් මට ජෝතිපාල, ජෝතිපාල කියලා විහිළු කරන්න ගත්තා. ඉතින් අපේ අම්මලට හැමදාම ඉස්කෝල එන්න වුණා මට විහිළු කරපු ළමයින්ට මම ගහලා නැත්නම් බැනලා. ජෝති ජෝති කිව්වම මට හරි තරහයි. ඒත් අදටත් මගේ ගමේ අය, පාසලේ යාළුවෝ මාව දන්නේ ජෝති කියලා. ජෝතිපාල මහත්මයා කියන්නේ මේ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. දැන්නම් මට ජෝතිපාල කියනවට මම හරිම කැමැතියි.


කොහොමද ගායකයා රංගන ශිල්පියෙක් බවට පත් වුණේ?


මම කලාවට ඉතාම ළැදි පුද්ගලයෙක්. මට ලොකු ඉලක්කයක් තිබුණා කවදාහරි නළුවෙක් වෙනවා කියලා. මට මතකයි ඒ දවස්වල රාගම බෝයිස් ටවුන් එකේ චිත්‍රපටයක රූගත කිරීමක් සිදුකළා.  ඒක දැක්කම මම හිතාගත්තා මම කවදා හරි නළුවෙක් වෙනවා කියලා. කවුරු හරි මගෙන් ඇහුවොත් පුතේ ඔයා කවුරු වෙන්නද කැමැති කියලා මම කිව්වා නළුවෙක් වෙන්න කියලා. අද ඒ තීරණය සැබෑ වෙලා. 1999 වර්ෂයේ තමයි මම මුල්ම රංගන හා දායකත්වය සපයන්නේ. ටෙලිවිව් ආයතනයේ නිර්මාණයකට තමයි මම මුලින්ම සහභාගි වන්නේ. සරත් සේනාරත්න සහ ගිහාන් ෆර්නෑන්ඩු තමයි මාව මේ ක්ෂේත්‍රයට රැගෙන ආවේ.


දියගල බොයිස් ටවුන් එකේ මතකය අවදි කරමු?


ජැක්සන් අයියා, ශ්‍රියන්ත අයියා අපි ඔක්කොම එක සෙට් එකක්. දියගල බෝයිස් ටවුන් කියන්නේ පාක් එකක් වගේ තැනක්. එතැන ළමයින්ට අධ්‍යාපනය හදාරන්න පවා අවකාශය වෙන් වෙලා තිබෙනවා. එතන හරි ලස්සන වැවක් තිබෙනවා. දෙවන ඉනිම වගේම ගොඩක් ටෙලිනාට්‍ය අදටත් ඒකේ ෂූට් කරනවා. මම පාසල් යන අවධියේ ටෙනිසන් කුරේ මහතා සහ විජය කුමාරතුංග මහතා ඔතනට ආවා. අපි හරි ආසාවෙන් එතනට ගිහින් ඒ දෙන්නා රඟපානවා බලාගෙන හිටියා. ඒකට මට හරි ආස හිතුණා. එදා ඉඳන් තමයි මට කලාව ගැන ආසාවක් ආවේ.


කුලවි ලෝකනයේ රඟපෑම ගැන දැන් මොකද හිතෙන්නේ? 


සුනිල් සිරිවර්ධනයන්ගේ කුලවි ලෝකනයෙන් තමයි මම මුලින්ම රංගනයට පිවිසුණේ. මට මුලින්ම ලැබුණේ රොඩී චරිතයක්. නිල්මිණි තෙන්නකෝන් සහ රොජර් සෙනවිරත්න වගේ දැවැන්තයෝ එදා හිටියා. මට තිබුණේ පොල් වල්ලක් කරේ තියාගෙන ඒදණ්ඩකින් එතෙර වෙන්න. මම මට කියපු දේ හරියටම කළා. ඊට පස්සෙ ෂෝට් ඕකේ කිව්වා මම හිතුවෙ ඒ ගොල්ලො මට බොරුවක් කළා කියලා. පස්සේ රොජර් අයියා මට කිව්වා නියම පොල් හොරෙක්නේ කියලා ඒ පන්නරයෙන්  තමයි මම අද රංගන ශිල්පියෙක් හැටියට මේ තරම් දුරක් ඉදිරියට ආවේ. මේ වනවිට මම ටෙලිනාට්‍ය 100ක් 150ක් අතර ප්‍රමාණයකට රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. අවසන් වශයෙන් මම රංගනයෙන් දායක වුණේ රෑන කියන ටෙලි නාට්‍යයට.


වසර 25ක් පුරා ඔබ ආ ගමන ගැන කියමු?


1999 පටන් 2024 දක්වා මගේ කලා දිවියට වසර 25ක් පිරිලා. මේක ඉතා හෙමින් ආපු ගමනක්. ඒ වගේම ඉතා අපහසුවෙන් දුක් කම්කටොලුවලට මුහුණ දෙමින් ඉදිරියට ආපු ගමනක්. බලමු ඉතින් අපි ඉස්සරහට මොනවා වෙයිද කියලා. මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. අපේ රටේ තිබෙන වාතාවරණය අනුව මේ දේවල් කොහොම වෙනස් වෙයිද කියන්න බැහැ. මට මුල් කාලයේ ලැබුණේ දුෂ්ට චරිත. මට දිගින් දිගටම එවැනි චරිත ලැබුණු පසු ඉන් මිදුණා මට එකම චරිත රාමුවකට කොටුවෙන්න බැරි නිසා. ඉන් මිදිලා වෙනත් චරිතවලට දායකත්වය සැපයුවා. අද මම මං ගැන ඉතා සතුටු වෙනවා.


විවිධ චරිත ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂකයෝ සිත් තුළට ගන්න ලැබීම සහ ඔවුන්ගේ නොමඳ ආදරයට පාත්‍ර වීම ගැන මට තිබෙන්නෙ විශාල සතුටක්.


ඔබ රංගනයෙන් දායකවුණු නිර්මාණ ගැන කතා කරමු?


ඔහොම හොඳද, අපි මැරෙන්නෙ නෑ, සුවඳ දැනුණා ජීවිතේ, වැඩ බැරි ටාසන්, ආදරයේ නාමයෙන්, මායා වගේ චිත්‍රපටවලට මම මගේ රංගනමය දායකත්වය සැපයුවා. චිත්‍රපට 35කට පමණ රංගනයෙන් දායක වුණා.


ශ්‍රී  වික්‍රම චිත්‍රපටය ගැන කතා කරනවා නම්?


මොහාන් නියාස් මහතා අධ්‍යක්ෂණය කළ ශ්‍රී  වික්‍රම චිත්‍රපටයේ පලිපාන නිලමේ කියන චරිතයට තමයි මම පණ පොවන්නේ. එය රූගත කළේ වසර පහකට පමණ පෙර. ඒ නිර්මාණය ඉතා බරපතළ නිෂ්පාදනයක්. මගේ මේකප් එක දාන්න පවා පැය 1 1/2ක් විතර යනවා. අපි ඒ චිත්‍රපටයේදී එක සැරයක් පැය 24ක් රූගත කිරීම් සිදුකළා. පහුවදා අපි නිලමේ ඇඳුම ගලවන විට ඉණේ පොක්කලං ඇවිත් තිබුණා. අපි විශාල කැප කිරීමක් ඒ සඳහා කළා.


බොඳ වූ සිහිනය ගැනත් කතා කරමු?


මේ චිත්‍රපටයට තමයි මම මුල්ම වතාවට ප්‍රධාන රංගන ශිල්පියා ලෙස දායකත්වය සපයන්නේ. ධනපාල සුන්දරම් කියන අධ්‍යක්ෂවරයා තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ. මේක මට අලුත්ම අත්දැකීමක්. මේ චිත්‍රපටය ඉතා වෙනස් කතාවක්. මේ වසරේ අග එය බොහෝදුරට තිරගත වේවි කියා සිතනවා.


ඔබ අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා දිවියේ තවත් අඩියක් ඉදිරියට තැබූ බව අපිට දැනගන්න ලැබුණා?


මගේ පළමුවැනි අධ්‍යක්ෂණය ලෙස මම ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. එහි නම අතීත ස්මරණය. වත්මන් ටෙලිනාට්‍ය පිළිබඳව ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා අසතුටුදායකයි. නිර්මාණ වැඩි ප්‍රතිශතයක් ගුණාත්මක බවින් හීන බව බොහෝදෙනා පවසනවා. ගොඩක් පිරිස රියැලිටි ප්‍රෝග්‍රෑම්වලට ඇවිත් රංගන ශිල්පිනියන් බවට පත්වෙලා. ඔවුන්ට අත්දැකීම් නැහැ. ලංකාවෙ ඇතැම් නාට්‍යවල අධ්‍යක්ෂණයක් ඇත්තෙම නැහැ. රංගන ශිල්පියට හෝ රංගන ශිල්පිනියට අවශ්‍ය දේ තමයි ලංකාවෙ නිර්මාණවල ඇත්තටම වෙන්නෙ. මම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා වගේම ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න උත්සාහ කරනවා.


ඔබගේ ස්වතන්ත්‍ර ගීත පිළිබඳව කතා කරනවා නම්?


මම ගායකයෙක් ලෙස මගේම ගීත දෙකක් ආදරණීය රසිකයන් වෙනුවෙන් ලබාදී තිබෙනවා. ඒ රූප රචනා සමඟ මගේ මුල්ම ගීය තමයි ‘ඔබ මගේ වෙලා’ කියන ගීතය. ඉන්පසුව මම ‘ආදරයේ මතකයන්’ කියලා ගීයක් නිර්මාණය කළා. තවත් ගීත මේ දිනවල මම නිර්මාණය කරගෙන යනවා. ඒ ගීතයේ නම ‘හැමදාම ඔබ ඉන්න’. කුමාරසිරි පතිරණ මහතා තමයි ඒ ගීතය නිර්මාණය කළේ. තවම එහි රූප රචනාව නිර්මාණය කරලා නැහැ.


මේ ගීත නිසාම මට ප්‍රසංග වේදිකාවෙනුත් ආරාධනා ලැබෙනවා. මම ගායන ශිල්පියෙක් ලෙසත් රංගන ශිල්පියෙක් ලෙසත් මේ දෙපැත්ත සමබරව පවත්වාගෙන යනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post