රෝමියෝ ජුලියට්වත් දන්නේ නැහැ ආරවුල ඇතිවුණේ ඇයි කියලා- ජයනාත් බණ්ඩාර



 ඔහු ලාංකික කලා ක්‍ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ රංගන ශිල්පියෙක්. දශක ගණනාවක් පුරා වේදිකාව තුළ මහඟු කාර්යයක් ඉටු කළ මෙම රංගන ශිල්පියා සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය තුළින්ද සිංහබාහු නාට්‍ය තුළින්ද ප්‍රේක්ෂක සන්තානය කැලඹූ පුද්ගලයෙක්. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ජයනාත් බණ්ඩාර. 


ජයනාත් බණ්ඩාර කියන රංගන ශිල්පියා ගැන කතා කරමු?


මම වේදිකාවේ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළා මිසක් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරලා තිබුණෙ නැහැ. 2023 වසරේ මට හොඳම නළුවා සඳහා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානය ලැබුණා. 2020දී මට හොඳම සහාය නළුවා සඳහා සම්මානය ලැබුණා. වසර 30ක් පමණ මම මේ ක්‍ෂේත්‍රයට රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු කියන නාට්‍යවලට වසර 16ක් විතර මම මගේ


රංගන දායකත්වය සපයා තිබෙනවා. මනමේ නාට්‍යයේ වැදි රජ සහ සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතයට මම පණ පෙව්වා. ඒ වගේම දයානන්ද ගුණවර්ධනයන්ගේ නරි බෑනා නාට්‍යයටත් මම දායකත්වය සැපයුවා. මම අසංක සායක්කාර සහ සචිත්‍ර රාහුබද්ධ කියන නාට්‍ය අධ්‍යක්ෂවරුන් සමඟත් වැඩ කරලා තිබෙනවා.


ඔබ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න මේ තරම් කාලයක් ගත වුණේ ඇයි?


මට අධ්‍යක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මට හරිහමන් පිටපතක් ලැබුණෙ නැහැ. අනෙක් දෙය තමයි ලංකාවේ පිටපත් රචකයන් ඔවුන් ලියන පිටපත් ඔවුන් විසින්ම අධ්‍යක්ෂණය කරනවා. මේ හේතුවෙන් මට පිටපතක් සොයා ගන්න අපහසු වුණා. ඒ වගේම නාට්‍ය නිෂ්පාදනය සඳහා මුදල් සොයා ගන්නත් අපහසු වුණා. එම්. සෆීර් මට බොහෝ සේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න කියලා බල කරලා තිබෙනවා. ඔහුවත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. ඔන්න ඔය හේතු කාරණා තමයි මේ ප්‍රමාදයට බලපෑවේ.


රොමියෝ ජුලියට් නාට්‍ය නිර්මාණය කරන්න අදහසක් ආවේ කොහොමද?


මම පාසල් නාට්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරනවා. මට එහි නියමිතව තිබුණේ ෂේක්ස්පියර්ගෙ නාට්‍ය විනිශ්චය කරන්න. පාසල් මට්ටමින් ඔවුන් නියමිත කරලා තිබුණේ රොමියෝ ජුලියට්. ඒ නිසා මම තීරණය කළා රොමියෝ ජුලියට් කරන්න. නමුත් තිරපිටපත සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණා. වෙනත් අය පරිවර්තනය කළ තිරපිටපත් තිබුණත් එය නැවතත් පරිවර්තනය කරන්න අවශ්‍යයි කියලා මට සිතුණා. ඉන්පසු මගේ බිරිය වින්ද්‍යා හරන්කහ මෙය පරිවර්තනය කළා. වාසනා බණ්ඩාර වෛද්‍යවරිය තමයි මෙයට මූල්‍යමය දායකත්වය සැපයුවේ.


මේ නාට්‍ය සඳහා ජෙරම් ද සිල්වා කියන විශිෂ්ටයාගේ දායකත්වය පිළිබඳව කතා කරනවා නම්?


ජෙරම් කියන්නෙ යුග පුරුෂයෙක්. ඔහු ඉන්ග්ලිෂ් සහ සිංහල කියන තියටර් දෙකේම වසර පනහකට වැඩි කාලයක් වැඩ කරලා තිබෙනවා. ඔහු රොමියෝ ජුලියට් නාට්‍ය පනස් වරකට වඩා වේදිකාගත කරලා තිබෙනවා. ඔහු මෙම නාට්‍යයේ රංග වින්‍යාසය පැත්තෙන් අපිට විසල් සහායක් ලබා දෙනවා. ඒ වගේම මූල්‍යමය වශයෙන් සහ ආකල්පමය වශයෙන් ඔහු අපිට විසල් සහායක් ලබා දෙනවා. කොන්දේසි විරහිතව ඔහු අපි සමඟ කටයුතු කරනවා. ඉන්ග්ලිෂ් තියටර් එකේ කෙනෙක් සිංහල තියටර් එකත් සමඟ වැඩ කරන්නේ බොහොම කලාතුරකින්. ඒක අපිට විශාල හයියක්. එවන් පෞරුෂයක් සමඟ කටයුතු කිරීමට ලැබීම ඉතා වටිනවා. ඔහුගේ මඟ පෙන්වීම ඉතා වැදගත්.


විලියම් ෂේක්ස්පියර්ගෙ අනෙක් නාට්‍ය සමඟ ගත්විට රෝමියෝ ජුලියට් වැදගත් වන්නේ ඇයි?


ෂේක්ස්පියර්ගෙ නාට්‍යවල එක සමාන ලක්ෂණ බොහෝමයක් තිබෙනවා. හොල්මන් සිටිනවා, අවතාර සිටිනවා, මායාකාරියො සිටිනවා, නාට්‍යයක් තුළ නාට්‍යයක් තිබෙනවා. එවැනි පොදු ලක්ෂණ රෝමියෝ ජුලියට් නාට්‍යයේ ඉතා විරලයි. රෝමියෝ ජුලියට් කියන්නේ ප්‍රේමය ගැන ඉතා ගැඹුරින් කතා කළ නිර්මාණයක්. ප්‍රසිද්ධම ප්‍රේම කතාව මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් කියන්නේ රෝමියෝ ජුලියට් කියලා. ඒක ඒ තරම් පූජනීය නාට්‍යයක්. නමුත් අනෙක් නාට්‍යවල තිබෙන අනාවැකි කීමේ කලාව තිබෙනවා. මෙය උපමා සහ උපමේයන් ඉතා උචිත අයුරින් යොදාගත් නාට්‍යයක්.


මහගම සේකරයන් මක්නිසාද යත් කෘතියේ මෙහෙම කියනවා ‘රොමියෝ ජුලියට්’ මැරුණේ? ප්‍රේමය නිසා නොවෙයි. “පවුල් දෙකක වෛරයෙනුයි” මේ පිළිබඳව ඔබේ අදහස?


ඇත්තටම මේ කතාවෙ තිබෙන්නේ පණිවුඩ හුවමාරුවේ මඟහැරීමක් නිසා සිදු වන අවුලක්. මොවුන් දෙපිරිසම එක සමාන පවුල් දෙකක කට්ටිය. රෝමියෝට ලැබෙන්න නියමිතව තිබුණු ලියුම නිසි වේලාවට ලැබුණෙ නැහැ. ඒ ගැටලුව තමයි මේ තරම් දුරදිග ගියේ. මේක හරියට වලව් දෙකක් අතර ඉමක් කොනක් නොදන්න ගැටලුවකට ඇතිවුණු රණ්ඩුවක් වගේ දෙයක්. ඔවුන්වත් දන්නෙ නැහැ මේ ආරවුල සිදු වුණේ මොකටද කියලා.


ආදරය දේශපාලනිකද?


හැම දෙයක්ම දේශපාලනිකයි. ආදරයත් දේශපාලනිකයි. අපේ රටේ පෙම් යුවළකට නිදහසේ ඉන්න තැනක් තිබෙනවාද? කිස් එකක් දෙන්න, බදාගෙන යන්න අඩුම තරමේ අතින්වත් අල්ලන් යන්න නිදහසක් තිබෙනවාද මේ රටේ. ආදරයට නිදහසක් නොමැති වීම දේශපාලනික නොවේද? දේශපාලකයන් මේ පිළිබඳව පුළුල්ව හිතන්න ඕන. තමන්ගෙ වාසිය විතරක් පාලකයා හිතනවා නම් ආදරය කියන දෙය පල්ලෙහාට වැටෙනවා වගේම ප්‍රාථමික තත්ත්වයට වැටෙනවා. රෝමියෝටත් මේ ප්‍රශ්නෙ තිබුණා. ඔහුගේ පෙම්වතිය දෙවියන් ඉදිරියේ කන්‍යාවක් ලෙස සිටීමට සපථ කළ ගැහැනියක්. ආදරය නැතිවෙනවා කියන්නේ බොහෝ දෙයට තැනක් නැති වෙනවා. ආදරය නැති වූ විට මිනිසුන්ට කොහොමද සහකම්පනය ඇති වෙන්නේ. හැමෝම අද පොඩි වැරැද්දකට ලොකුම දඬුවමක් දෙන තැනට ඇවිල්ලා.


වත්මන් ලාංකික නාට්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස?


අති විශිෂ්ටයි. අද බොහෝ විශිෂ්ට සහ ගුණාත්මක නිර්මාණ බිහි වෙනවා. තරුණ ප්‍රජාව අතර නාට්‍ය පිළිබඳව ලොකු උනන්දුවක් ඇතිවෙලා. ලංකාවේ විකල්ප දහරාව වගේම සාම්ප්‍රදායික නාට්‍ය තුළත් ඉතා හොඳ නිර්මාණ බිහිවෙනවා. නාට්‍ය කියන්නෙ විවිධ ස්තරවලට ආමන්ත්‍රණය කරන දෙයක්. යහපත් රසවින්දනයන් ප්‍රවර්ධනය කරන නාට්‍ය බොහෝමයක් ලංකාව තුළ නිරන්තරයෙන් බිහිවෙනවා. නමුත් එය ප්‍රේක්ෂකයා අතරට ගෙන යෑමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමේ අඩුවක් තිබෙනවා. අපිට ඒ නිසාම වෙනත් විකල්ප මාර්ගයන් සොයන්න මහන්සි වෙන්න වෙලා තිබෙනවා.


රෝමියෝ ජුලියට් ආදරණීය ප්‍රේක්ෂකයාට දැක බලාගන්න පුළුවන් වන්නේ කවදාද?


මාර්තු 30 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේ 3.30ට සහ 6.30ට රංගගත වීමට නියමිතයි. ඒ වගේම මාර්තු 9 ගම්පහ සුමේද විද්‍යාලයේ 3.30ට සහ 6.30ට රංගගත වීමට නියමිතයි.


ගිහාන් සචින්ත



Previous Post Next Post