සිංහල සිනමාවට පෑයූ සඳමඬල ඇයයි. දශක ගණනාවක් පුරාවට විශිෂ්ට චරිතාංග රංගනයක යෙදෙමින් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නට සමත් වූ ඇය වෙනුවෙන් මෙරට සිනමා වංශ කතාවේ එක් පරිච්ඡේදයක් සම්පූර්ණයෙන්ම පාහේ වෙන්වී තිබේ. දශක 6ක් පුරාවටම තම රංගන කාර්යය අත්නොහළ ඇය ළඟදීම අධ්‍යක්ෂණය හරහාද ඔබ හමුවට එන්නට සූදානම්. මේ අන් කිසිවකුත් නොව, දෙලොවක් අතරේ චිත්‍රා වෙමින්ද, වැළිකතරේ ගීතා වෙමින්ද සිංහල සිනමාව තුළ ස්වර්ණමය සටහන් තැබූ සුවිනීතා වීරසිංහයි.
ප්‍රේක්ෂකයා ඔබේ අලුත් තොරතුරු දැනගන්න බොහොම කැමැත්තෙන් බලා සිටිනවා?
මේ දිනවල මම ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. සිනමාවේ පමණක් නෙවෙයි, මම කරන සමාජ කටයුතු, ආගමික කටයුතු මේ සියල්ල එක්කම තමයි කාලය ගත වෙන්නේ.
ඔබේ නිවෙස දුටුවම ඔබ නිතරම ආගමික වතාවත්වල යෙදෙන බව පේනවා?
ඔව්, ඇත්තටම මම ආධ්‍යාත්මික පැත්තට ගොඩක් යොමුවෙලා ඉන්නේ. මම තනියම භාවනාවේ යෙදෙනවා. පන්තිවලට ගිහින් එහෙම නෙවෙයි තනියම තමයි භාවනා කරන්නේ. දවසට පැයක් දෙකක් වගේ භාවනාවේ යෙදෙනවා. දවස පටන් ගන්නෙත් භාවනාවෙන්. මම මගේ ජීවිතයේදී හැම දෙයකින්ම ඈත්වෙලා බොහොම නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. සිනමාවේ හිටියත් නිතරම විවිධ වැඩකටයුතුවලට දායක වෙන්න කැමැත්තක් නැහැ.
ඔබ අලුත්ම වැඩකට අතගැසුව බව ආරංචියි?
දශක හයක් පමණ මම සිනමාවේ රංගනයේ යෙදුණත් මම කිසිම දවසක අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහස් කරලා නැහැ. ඒ මම එහි තිබෙන බරපතළකම දන්න නිසා. නමුත් මගේ රසිකයන් කිහිප දෙනෙක්ගේ ඉල්ලීම සහ අනුග්‍රහය මත ජීවිතයේ පළමු වතාවට මම ඒ බරපතළ කාර්යයට අත තිබ්බා. ඒ තමයි සාධි නමින් මම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එය ඉතාම අපහසු කාර්යයක් බව මම දන්නවා. මට ඉල්ලීමක් ආවා අධ්‍යක්ෂණය පැත්තෙනුත් සිනමාවට යමක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි මේ කාර්යය ආරම්භ වුණේ. මේ චිත්‍රපටය මවකගේ ආදරය ගැන කතා කරන චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිතය වුණු මවගේ චරිතය මම කරන්නේ. ඊට අමතරව එහි ගයාන් ගුණවර්ධන, දමිත්‍රි සුබසිංහ, හශිනිකා කරලියැද්ද වැනි ශිල්පීන් රංගනයේ යෙදෙනවා. එහි තිර රචනය මගේ සැමියා වුණු නන්දලාල් මාලගොඩගේ. එහි සංස්කරණය කටයුතු, දෙබස් කැවීම් මේ වෙද්දී අවසන්. එහි සංගීත අධ්‍යක්ෂණය ගයත්‍රි කේමදාසගේ. සන්ධ්‍යා බුලත්සිංහල එහි ගීත ගායනය සිදුකරනවා. ඒ වගේම කැමරා ශිල්පියාගේ සිටම සම්පූර්ණ කණ්ඩායමේ සහාය මත ඒ අපහසු කාර්යය සාර්ථක කරගන්න මට පුළුවන් වෙලා තිබෙනවා.
පොඩි චරිත දෙක තුනක රඟපාපු ගමන් අධ්‍යක්ෂණයට යොමු වෙන පිරිස අතරේ ඔබ තවමත් අධ්‍යක්ෂණය අසීරුයි කියන්නේ ඇයි?
අධ්‍යක්ෂණය කියන්නේ බොහොම අසීරූ කාර්යයක්. එම නිර්මාණයේම රංගනයේ යෙදෙන ගමන්ම අධ්‍යක්ෂණය කරන එක තවත් අසීරුයි. රංගනය වගේ නෙවෙයි අධ්‍යක්ෂණයේදී කාර්මික දැනුමත් තිබෙන්න ඕනෑ. හැමෝම හැම දේකටම දක්ෂ නැහැ. සමහරුන්ට හැමදේම කරන්න ආසාවක් ඇති. නමුත් මට එහෙම නැහැ. මට ඕනෑ මගේ ඉලක්කය කරා හඹාගෙන යන්න. එහෙම ඉලක්කය හඹාගෙන යනවා මිසක් යන පාරේ අතරමඟ එහාට මෙහාට යන්න කැමැති නැහැ. එහෙම වුණොත් අපිට අපේ ඉලක්කය කරා යන්න බැරි වෙනවා
ඔබ චිත්‍රපට හඹා ගිය කෙනෙක් නෙවෙයි?
මම සිනමාවට ආවේ මුදල් හෝ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් නෙවෙයි. ජනප්‍රිය නිළියක් වෙන්න අවශ්‍ය වුණා නම් වාණිජ රැල්ලටයි යා යුතුව තිබුණේ. නමුත් බුද්ධිය, සහජ දක්ෂතාව තිබෙනවා නම් තාත්වික රංගනය හරහා වුණත් ජනප්‍රිය විය හැකියි. මම කරපු දෙලොවක් අතර, වැලිකතර වගේ නිර්මාණ ගැන අදටත් ප්‍රේක්ෂකයා කතා කරනවා. තාත්වික රංගනය හරහා ලබා ගන්න ඒ ජනප්‍රියත්වය පහසුවෙන් ලබා ගන්න බැහැ. හැබැයි එවැනි නිර්මාණ හරහා මම විශාල මුදලක් හොයාගෙන නැහැ. මම ඒ හරහා මුදල්වලට වඩා වටින මගේ රටේ ප්‍රේක්ෂකයන් උපයා ගත්තා. සිනමා නිළියක් වුණාම ගොඩක් අය සැලකිලිමත් වෙන්නේ රඟපාන චිත්‍රපට ගණන. ඒ හරහා තමයි ජනප්‍රිය වෙන්නේ. නමුත් ඒක අවශ්‍ය නැහැ. සියයක් රඟපාල ජනප්‍රිය වෙනවට වඩා චිත්‍රපට දෙකක තාත්වික රංගනයක් ඉදිරිපත් කරලා ජනප්‍රිය වෙන එක පවතිනවා අර සියයට වඩා.
එදා වගේ අද තරු බිහිවෙන්නේ නැහැ. ඒකට හේතුව?
ෆිල්ම් ඇක්ට්‍රස් සහ ෆිල්ම් ස්ටාර් කියන්නේ දෙකක්. ඔය දෙක හරියට තෝරාගන්න අවශ්‍යයි. ඔය දෙක හරියට අවබෝධකර ගත්තා නම් ෆිල්ම් ඇක්ට්‍රස් වෙනවද? නැත්නම් ෆිල්ම් ස්ටාර් වෙනවද කියන දේ තීරණය කරන්න පුළුවන්. අපේ යුගයේ තරු බිහිවුණේ ඇඟපත පෙන්නලා, මූණ සුදු කරගෙන නෙවෙයි. ටෙලි නාට්‍යවල රංගනය සහ සිනමා රංගනය කියන්නේ දෙකක්. ඔය කාරණය නොදැන කැමරාවක් ඉස්සරහ රංගනයේ යෙදිලා කවදාවත් තරුවක් වෙන්න බැහැ.
හම සුදු වෙන එක අද රංගන ශිල්පිනියක් වෙන්න ප්‍රධාන සුදුසුකමක් වෙලා?
අද හැමෝම හිතනවා රංගන ශිල්පිනියක් වෙන්න රූපය අවශ්‍යයි කියලා. නමුත් ඇත්තටම අතිදක්ෂ රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වෙන්න රූපය අත්‍යවශ්‍ය නැහැ. එතැනදි වර්තමාන පිරිස ගොඩක් වෙලාවට මූලිකත්වය දෙන්නේ ප්‍රසිද්ධිය සහ මුදලට. ඒ සඳහා වරින් වර තමන්ගේ පෙනුම, පාට වෙනස් කරගෙන වෙස් මුහුණක් දාගන්නවා. නමුත් ඔවුන්ව ඉක්මනට ප්‍රේක්ෂකයන්ට අමතක වෙනවා. ඇයි මේ තමන්ට සොබා දහමෙන් දීලා තිබෙන දේ වෙනස් කරගන්නේ. සොබාදහමෙන් දීලා තිබෙන දේ එක්ක දක්ෂකමෙන් ප්‍රයෝජන ගත්තම තමයි සොබාදහම පවා අපිව ආරක්ෂා කරන්නේ.
වර්තමාන දේශපාලන රටාව කලාවට මොන විධියට බලපායිද?
මම සමාජවාදී අදහස් තිබෙන කෙනෙක්. ඒ මතවාදය මගේ එදා ඉඳලම තියෙනවා. සෝවියට් දේශයට ගියපු වෙලාවේ මම දැක්කා ඒ රට. නමුත් දැන් ඒ රට එහෙම නොවුණත් ඔවුන් සතුව තමවත් ඒ ආකල්ප තිබෙනවා. මම වම් ඉවුරේ අදහස් තිබෙන කලාකාරිනියක්. ඔය චින්තනය තිබෙන අයට තියෙන්නේ නියම කලා හැඟීම් සහ නියම මානුෂීය හැඟීම්. සමාජවාදීන් කියන්නේ මහපොළොවේ අඩිය ගහලා ඉන්න අය. කියන්න කනගාටුයි පසුගිය කාලයේ අපේ දේශපාලනඥයන් හරහා කලාව ඇතුළේ පවා පන්ති භේදයක් ඇති වුණා. නමුත් ඉදිරියේදී හෝ යම්කිසි සාධනීය දෙයක් සිදුවෙයි කියන අපේක්ෂාව තිබෙනවා. මට අනුව නම් කලාවට පමණක් නෙවෙයි අපේ රටටම සමාජවාදී ආකල්ප තිබෙන සමානාත්මතාව අගයන රජයක් තමයි අවශ්‍ය. මානව හිතවාදය වර්ධනය කරගත්ත සමාජයක් තමයි අපිට ඕනෑ. ඉපදුණු ගමන් දුවන්නේ හරක් පැටවු විතරයි. අපේ රටේ මිනිස්සු කලින් වැරැදි සේරම අමතක කරලා මාස ගාණක රජයට ඉපදුණු ගමන් දුවන්න කියනවා. රජයට කරගෙන යන්න දෙන්නේ නෑ. ඒක රජයෙත් තියෙනවා සිනමාවෙත් තියෙනවා. සිනමාවේ රැජනලා, කුමාරවරු ඔක්කොම සාමාන්‍ය රංගන ශිල්පීන් කපනවා. එක්කෝ නාළිකාවලින්, එක්කෝ නිර්මාණවලින්. එහෙම නැත්තම් පත්තරවලින් කපනවා. මේ තත්ත්වය වෙනස් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.
අවසන් වශයෙන් ඉදිරියේදි ඔබව දැකගන්න පුළුවන් නිර්මාණ ගැන මතක් කරමු?
මගේ සාධි චිත්‍රපටය තමයි ඉදිරියේදි එන්න තිබෙන්නේ. ඒ හැර වෙනත් නිර්මාණවලට දායක වුණේ නැහැ. දැන් එහෙම චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ නැහැ. මොකද දැන් කල්ලිවාදයක් ඇතිවෙලා තිබෙනවා. කල්ලියේ පිරිසව පමණයි අධ්‍යක්ෂවරයා තම නිර්මාණවලට දායක කරගන්නේ. එහෙම කල්ලි කිහිපයක්ම තිබෙනවා. මම ඔය එක කල්ලියකටවත් නැහැ.