ලංකාවෙන් ගිය හින්දා වටිනා දේවල් මඟ හැරුණා - අයිශාරා

 





අයිශාරා... කාලයක් ඔයා විදෙස්‍ ගතවෙලා හිටියා. හදිසියේම ලංකාවට ආවේ ඇයි?

මම ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන “සැඟවුණ නගරය”‍ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙන්න. ඒක රිටිගල ජයසේනගේ කතාවයි. ඒ නිර්මාණය අනුරාධපුරේ රූගත කිරීම් කරනවා. ඒක හරි අපූරු නිර්මාණයක්. ඒකෙ මුල් කොටස් මීට පෙර රූගත කිරීම් කරලා අවසන් කරලයි තිබුණේ. මම සම්බන්ධ වුණු කොටස් අනුරාධපුරේදී රූගත කිරීම් කළා. ආසාවෙන් හරිම කැමැත්තෙන් මම ඒ නිර්මාණයට සම්බන්ධ වුණා.


අයිශාරා සම්බන්ධ වුණු ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ කෝකිලා විතානගේ නිෂ්පාදනය කළ “අයිස්ක්‍රීම්”‍ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා?

ඔව්... ඒක ලොකු සතුටක්. අයිස්ක්‍රීම් කියන්නෙ මම හරිම කැමැත්තෙන් දායක වුණු නිර්මාණයක්. අයිස්ක්‍රීම් චිත්‍රපටයට මට ප්‍රදීප් ධර්මදාස අයියා කතා කළා. ඒ කාලේදී ඔහු මම දායක වුණු “පැණි මකුළුවෝ”‍ චිත්‍රපටය දැකලා තිබුණා. ඒ රංගනයත් එක්ක තමයි ප්‍රදීප් අයියගෙන් මට මේ ආරාධනාව ලැබුණේ. අපි අයිස්ක්‍රීම් නිර්මාණය ගැන කතා කරද්දි ඒකට දායක වෙන්න ආසා හිතුණා. ක්ෂේත්‍රයේ ඉතා ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් රැසක් අයිස්ක්‍රීම් චිත්‍රපටයට සම්බන්ධ වෙලා හිටියා. ජයලත් මනෝරත්න, වීනා ජයකොඩි, සරත් කොතලාවල, බිමල් ජයකොඩි, දමිතා අබේරත්න, හේමාල් රණසිංහ, රොෂාන් රණවන ආදී ප්‍රවීණයන් බොහොමයක් සම්බන්ධ වුණා. ඒ නිසා හරිම ආසාවෙන් මම ඒ නිර්මාණයට සම්බන්ධ වුණා.


“අයිස්ක්‍රීම්” කියන්නෙ ප්‍රදීප් ධර්මදාසගේ පළමු සිනමා නිර්මාණයයි. මීට පෙර අයිශාරාට ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දායක වෙලා යම් අත්දැකීමක් තියෙනවා. ඇත්තටම සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට ප්‍රදීප් මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?

ප්‍රදීප් අයියා අධ්‍යක්ෂණය කළ ටෙලි නිර්මාණ මම බලලා තියෙනවා. ඒ නිසා ඔහු ඉතා සාර්ථක ටෙලි අධ්‍යක්ෂවරයෙක් කියලා මම දැනගෙන හිටියා. ඒ නිර්මාණවල වෙනස්ම හැඩයක් තිබුණා. ඒ නිසාම ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට මාව දායක කරගන්න කතා කරද්දී මම හරිම කැමැත්තෙන් ඒකට සම්බන්ධ වුණා. ඔහු ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. සුන්දරත්වය සහ කලාත්මක බව ප්‍රදීප් අයියා දැනගෙන හිටියා. සිනමා පටය රූගත කිරීම් කරද්දී ඔහු සිනමාවට කොයි තරම් ආසා කෙනෙක්ද කියලා මම තේරුම් ගත්තා. ගොඩක් මහන්සිවෙලා කරපු හරි ලස්සන නිර්මාණයක් කියලා අද මට කියන්න පුළුවන්. ප්‍රදීප් ධර්මදාස කියන්නෙ හොඳ ටෙලි අධ්‍යක්ෂවරයෙක් වගේම සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඔහු හැම මොහොතකම අපිට නිදහස දීලයි තිබුණේ.


“අයිස්ක්‍රීම්” සිනමා පටයේ තිර පිටපත ලියැවෙන්නෙ කලණ ගුණසේකර අතින්. ඒ පිටපත දකිද්දී මොකද හිතුණේ?

අයිස්ක්‍රීම් කියන්නෙ කලණ ගුණසේකරගේ පළමු සිනමා පිටපත. හැබැයි ඒ පිටපතේ ආධුනික බවක් තිබුණේ නැහැ. චිත්‍රපටය කලණගේ පිටපත කියලා මම මුලින්ම දැනගෙන හිටියා. පිටපත කියවන්න මට අවස්ථාව ලැබුණා. කියවද්දී මොකක්දෝ වෙනසක් මම දැක්කා. කලණගේ සහ ප්‍රදීප් අයියාගේ සිනමාව දැකීමේ සමානකමක් තිබුණා. ඒ නිසා ඒ එකතුවෙන් හොඳ නිර්මාණයක් අවසානයේදී බිහිවෙයි කියලා මම තේරුම් ගත්තා. ඇත්තටම කලණ කියන්නෙ හොඳ රංගන ශිල්පියෙක් වගේම හොඳ තිර පිටපත් රචකයෙක්.


අයිස්ක්‍රීම් රූගත කිරීම් කරද්දි ලබපු අත්දැකීම් කොහොමද?

අපි මාසයක් විතර තැනින් තැන රූගත කිරීම් කළා. ලබපු අත්දැකීම් මාරයි. මගේ මුල්ම රූගත කිරීම් තිබුණේ සරත් කොතලාවල අයියා එක්ක මාලිගාවත්තෙදි. ඒක දවසින් දවස වෙනස් අත්දැකීම් එකතු කරපු නිර්මාණයක්. හැමදාම අලු‍ත් අත්දැකීමක් එකතු වුණා. දුවන්න, හැංගෙන්න තිබුණා. ඒවා හරි රසබර අත්දැකීම්. තවත් රූගත කිරීම් කොටසක් මීගමුවේ රූගත කිරීම් කළා. වතුර යට පවා රූගත කිරීම් තිබුණා. ඒ නිසා හැමදාම ඒක මට අලු‍ත් අත්දැකීමක් වුණා. චිත්‍රපටය නරඹද්දී ඒ ගැන තේරුම් ගන්න ලැබේවි.


අයිස්ක්‍රීම් චිත්‍රපටය අද නරඹද්දි ඔයාට මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්න ප්‍රදීප් අයියාට ස්තූති කරන්න ඕනෑ. අද වෙද්දී මනෝරත්න සර් ජීවතුන් අතර නැහැ. ඔහුව පුළුල් තිරයේ දකිද්දී එදා අපිත් එක්ක රඟපාපු ඔහුව ආයෙම මතකයට නැගුණා.


අයිශාරා ටෙලිනාට්‍යවලට දායක වෙන්නෙ නැත්තෙ ඇයි?

ඒක මගේ පෞද්ගලික තීරණයක්. මම ලංකාවේ ඉන්න කාලේ පෙන්නපු ටෙලිනාට්‍ය ගැන මගේ ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. ගුණාත්මකභාවයකින් යුතු ටෙලිනාට්‍යවල ලොකු අඩුවක් තිබුණා. ඒ නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි අද වෙද්දි ඉතා හොඳ ගුණාත්මකභාවයෙන් යුතු ටෙලිනාට්‍ය බොහොමයක් නිර්මාණ වෙනවා. ඒ නිසා දැන් හොඳ ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.


ඒ කියන්නෙ ළඟදීම අයිශාරා නැවතත් ලංකාවේ පදිංචියට එයිද?

ඔව්... ලංකාවේ දිගටම ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන මූලික වැඩ කටයුතු කරගෙන යනවා. අපි ලංකාවට ආදරෙයි. මේ අපේ රට. ඉතින් අපේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ආසයි. ඉතාම ඉක්මනින් අපි නැවතත් ලංකාවට එනවා.


විදෙස් ගතවෙලා හිටපු කාලයේ ඔයාට අවස්ථා ලැබුණු, නමුත් රටවල් දෙකක නිසා මඟහැරුණු නිර්මාණ ඇති. ඒ ගැන අද මොකද හිතෙන්නෙ?

ඇත්ත... ඒ වගේ මඟහැරුණු හොඳ නිර්මාණ කිහිපයක්ම තියෙනවා. එක්තරා සිනමා පටයක මට ජැක්සන් ඇන්තනී මහතා එක්ක රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. අපි එහි මූලික වැඩ කටයුතු පවා කළා. පිටපත කියවලා මම ඒ පිටපතට හරියට ආසා කළා. නිර්මාණයට ඇඳුම් පවා සූදානම් කළා. හැබැයි ඒ වෙද්දි මම ගැබිනියක්. සිනමා පටයේ දුවන්න පනින්න තියෙන දර්ශන ගොඩක් තිබුණා. ඒ නිසා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අකමැත්තෙන් වුණත් ඒ නිර්මාණය අත්හරින්න මට සිදුවුණා. කොවිඩ් කාලයේදී ලංකාවට එන්න බැරි වුණා. බබා පොඩි නිසාත් නිර්මාණවලට දායක වෙන්න ලැබුණේ නැහැ. ඉතින් ඒ දේවලු‍ත් එක්ක නිර්මාණ කිහිපයක්ම අත්හරින්න වුණා. ඒ ගැන දුකක් තියෙනවා. දැන් බබා ටිකක් ලොකුයි. එයාව තනියම දාලා නිර්මාණවලට දායක වෙන්න අද පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.



Previous Post Next Post