කෙළින් වැඩ කරන නිසා බි්‍රජට්ට හැමෝම කැමැතියි-සේමිණී ඉද්දමල්ගොඩ




ඉරබටු තරුවක් වෙමින් මෙරට කලාවට පායා ආ ඇය දශක දෙකකට වැඩි කාලයක් තුළ රිදී තිරය හරහා මෙන්ම පුංචි තිරය හරහාද දැක්වූ දක්ෂතා අපමණයි. කලාවට පය තැබූ දින සිට අද වන තෙක්ම එක ලෙස ජනප්‍රියත්වය රැකගනිමින් මෙරට ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක කළ නොහැකි චරිත රැසකටම දායකත්වය දුන් ඇය මේ දිනවල වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ බන්ධනාගාර නිලධාරිනි බි්‍රජට්ගේ චරිතයෙනුයි. ඇය අන්කිසිවකු නොව අපි කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනිි සේමිණී ඉද්දමල්ගොඩයි.


 මේ දවස්වල මොකද වෙන්නේ කියලම කතාව ආරම්භ කරමු?


මේ දවස්වල සුපුන් රත්නායකගේ තත්ත්පරයක් දෙන්න  ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව සුපුන් රත්නායකගෙම අලුත්ම ටෙලි නාට්‍යයක් ‘ලලයි ලිලයි ලයි’ නමින් ලබන මාසයේ සිට විකාශය වීම ආරම්භ වෙනවා. මේ දෙකේ වැඩකටයුතුත්  එක්ක තමයි මේ දවස්වල සිටින්නේ.


තත්පරයක් නාට්‍යයෙහි ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවල වැටෙන කමෙන්ට් බැලුවම වුණත් ඒක තේරෙනවා. සමහරු කෝල් කරලා විශ් කරනවා. සමාජයේ සාධාරණව කටයුතු කරන අය අඩුයිනේ. ඒක නිසා තත්පරයක් දෙන්න නාට්‍යයේ මගේ චරිතයට ගොඩක් අය කැමැතියි. විශේෂයෙන් දේශපාලනය එක්ක මිනිසුන්ගේ හිතේ තරහක් තිබෙනවා. ඒක නිසාම මේක කෙළින් වැඩ කරන චරිතයක් නිසා වෙන්න ඇති බි්‍රජට්ට කැමැතියි හැමෝම.


බි්‍රජට් වගේ චරිතයට අනුගත වීම මොනවගේ අත්දැකීමක්ද?


මේ චරිතයට අනුගත වෙද්දි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ කරන කිහිප දෙනෙක්ගෙන්ම මම අදහස් විමසුවා මේ චරිතය කරන්න කලින්. බන්ධනාගාර නිලධාරීන් අපි දකිනවා අඩුයි. ඒක නිසාම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ කරන චන්දන ඒකනායක මහත්මයා මට ඒ ගැන ගොඩක් විස්තර පැහැදිලි කළා. ඇත්තටම බි්‍රජට් වගේ චරිතයක් ඉඳලා මේ ඊයේ පෙරේදා විශ්‍රාම අරගෙන තිබෙනවා. ඉතිං ඒ කෙනාගේ චරිත ලක්ෂණ වගේ දේවල් මම මේ චරිතයට අනුගත වීමේදී උපයෝගි කරගත්තා.


තත්පරයක් දෙන්න නාට්‍යයේ කාස්ට් එක ගැන කතා නොකරම බැහැ?


තත්ත්පරයක් දෙන්න ප්‍රඩක්ෂන් එක ටිකක් හෙවි ප්‍රඩක්ෂන් එකක්. මොකද මේකේ ලංකාවේ දැනට ඉන්න හොඳම කියන රංගන ශිල්පීන්, ශිල්පිනියන් අතරින් බොහෝමයක් මෙහි ඉන්නවා. ඒක නිසා ඒ එළියත් මේ ඩ්‍රාමා එකට ලැබිලා තිබෙනවා. ඇත්තටම එහෙම පිරිසක් එක්ක වැඩ කරන්න ලේසියි වගේම ඉක්මන්. නිෂ්පාදක මණ්ඩලයට ලොකු බජට් එකක් යනවා තමයි. නමුත් වැඩේ හරි ඉක්මන්. ඒ වගේම අධ්‍යක්ෂවරයාටත් හසුරවන්න හරි පහසුයි.


ඔබ මෙවරත් සුමති සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වෙලා සිටිනවා?


සුමති සම්මාන උළෙල තමයි මට මීට අවුරුදු විස්සකට කලින් හොඳම නැඟී එන නිළිය සම්මානය හිමිවුණු සම්මාන උළෙල. ඒ ඉරබටු තරුව ටෙලි නාට්‍යය වෙනුවෙන්. ඒක මගේ පළමු ටෙලි නාට්‍යය. මගේ පළමු ටෙලි නාට්‍යය වෙනුවෙන්ම මට සුමති සම්මාන උළෙලේ සම්මානයක් හිමිවෙනවා. ඉන් අනතුරුව අවුරුදු විසි පහකට ආසන්න කාලය පුරාවටම හැම වසරකම වගේ  මම හොඳම ටෙලි නාට්‍යය නිළියට නිර්දේශ වුණා. නමුත් තවමත් ඒ සම්මානය මගේ අතට ගන්න පුළුවන් වුණේ නැහැ. හොඳම නිළියට නිර්දේශ වීමත් සම්මානයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. සම්මානයක් ලැබුණා නොලැබුණා ගැටලුවක් නැහැ. නිර්දේශ වීමත් සම්මානයක් ලෙස තමයි මම දකින්නේ.


සුද්දි වෙනුවෙන් ඔබට විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණා නේද?


සුද්දිගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා. ඒ වෙනුවෙන් සම්මානයක් ලැබුණත් නොලැබුණත් ජනතා සම්මානය මේ වෙද්දි ලැබිලා තිබෙන්නේ.


සමකාලීන ශිල්පිනියන් බහුතරයක් අම්මාගේ චරිතයට කොටු වෙද්දි ඔබ කොහොමද වෙනස්ම චරිතවලින් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ?


ඒකට එක හේතුවක් විධියට මම දකින්නේ මගේ වාසනාව. අනෙක්් එක තමයි මම මට  ලැබෙන හැම නිර්මාණයකටම සම්බන්ධ වුණේ නැහැ. මම සම්බන්ධ වුණේ තෝරා බේරාගත් නිර්මාණවලට පමණයි. හැම නිර්මාණයක්ම තෝරාගනිද්දි මීට පෙර  නොකරපු චරිත කරන්න දක්වන කැමැත්ත ප්‍රධාන වශයෙන් බලපෑවා. ඒ තෝරා ගැනීම නිසා තමයි මට ඒ විධියේ චරිත අදටත් ලැබෙන්නේ. දැන් තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක උඩුගං බලා යන්න බැහැ. මේ වෙද්දි තෝරා බේරාගෙන රඟපෑම හරිම අසීරු වැඩක්. මගේ වාසනාවකට ආර්ථික පැත්තෙන් ගැටලුවක් නැති නිසා මට තෝරා බේරාගෙන රඟපෑමේ හැකියාව තිබෙනවා. නමුත් අපේ දක්ෂ ශිල්පීන් ගොඩක් ඉන්නවා. මේ ආර්ථිකය ඇතුළේ පවුල වෙනුවෙන්, එදිනෙදා ජීවිතය වෙනුවෙන් වැඩ කරන්න සිද්ධ වෙන.


දශක ගණනාවක් පුරාවට ජනප්‍රියත්වය එකම විධියට රඳවා ගන්නේ කොහොමද?


ඒකට එක හේතුවක් විධියට මම හිතන්නේ නිතරම දකින්නට නොලැබීම. තෝරා බේරාගෙන රඟපෑම තවත් හේතුවක්. අපේ පරමාර්ථය අපිට ලැබෙන චරිතයට සාධාරණයක් කිරීම. නොදන්න දේවල් පවා හොයාගෙන ඒ චරිතයට අනුගත වීමට තමයි අපි හැම වෙලේම උත්සාහ ගත්තේ. අපේ ආධුනික කාලයේදී පවා අපි හිතුවේ ඒ චරිතයට සාධාරණයක් කරන්න. නමුත් දැන් තිබෙන ආර්ථික රටාවක් එක්ක, දවස ගානේ මුදල් හම්බකිරීමේ වෑයමක් තිබෙන්නේ සහ අපි තාමත් මේක කලාවක් ලෙස දකිනවා මිස ව්‍යාපාරයක් ලෙස දකින්නේ නෑ. ඒකත් ජනප්‍රියත්වයට හේතුවක් විය හැකියි.


ඔබේ මෑතකාලීන නිර්මාණ දිහා බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් සේමිණී දැන් සම්බන්ධ වෙන්නේ කලාත්මක ධාරාවේ වැඩවලට විතරයි කියලා?


එහෙම තීරණයක් නැහැ. මම වාණිජ නිර්මාණවලට වගේම, කලාත්මක නිර්මාණවලටත් සම්බන්ධ වෙනවා. එතැනදී මම බලන්නේ මට ලැබෙන චරිතයෙන් මට කළ හැකි උපරිම දේ මොකක්ද කියන එක.


ඉදිරියේදී ඔබව දැකගන්න පුළුවන් නිර්මාණ මොනවාද?


ඉදිරියේදී ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ සූරිය සුළඟ, මන්දාරම් වැනි චිත්‍රපට තිරගත වීමට තිබෙනවා. ඒ වගේම  අරුණ  අබේරත්න මත්මයාගෙත් තව චිත්‍රපටයක් තිරගත වීමට තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post