මගේ කලා ජීවිතේට දැන් අවුරුදු 60ක් - මෙල්රෝයි ධර්මරත්න

 


වසර හැටකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් කැප වූ මේ නිහඬ කලාකරුවා දක්ෂ ලේඛකයෙක්, ගේය පද රචකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස හ¾දුන්වන්නට පුළුවන්. ඔහු නමින් මෙල්රෝයි ධර්මරත්න වන අතර ඔහුගේ කලා ජීවිතය මෙන්ම සිරිපාදේ යන්න වරෙල්ලා යන නවතම ගීතය පිළිබඳවත් මෙවර අදහස් බෙදා ගත්තේ මෙලෙසින්.  


කොහොමද මේ දිනවල වැඩකටයුතු?


මේ වන විට බොහෝ නවක ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත නිර්මාණය කරනවා. පසුගිය මාස කිහිපය තුළ සිරිපාදේ යන්න වරෙල්ලා කියන ගීතය නිර්මාණය කළා. ඒ වගේම ළමා ගීත කිහිපයක්ද නිර්මාණය කළා.


ඔබේ අලුත්ම නිර්මාණය පිළිබඳවත් කතා කළොත්?


ඔව්. මගේ අතින් ලියැවුණු අලුත් ගීතය තමයි සිරිපාදේ යන්න වරෙල්ලා කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ සුමුදු ඉරසිංහ කියන තරුණ ගායිකාව. ඇය වෘත්තියෙන් එක්සත් රාජධානියේ වෛද්‍යවරියක්. මේ ගීතයේ ගීත ප්‍රබන්ධයත්, ගී තනුවත්, සංගීතයත් සිදුකරන්නේ මම.


කොහොමද මේ නිර්මාණය බිහිවෙන්නේ?


සිරිපාදේ යන්න වරෙල්ලා කියන ගීතය මම ඇය වෙනුවෙන් කළ පළමුවැනි ගීතයයි. ගීතය තුළින් මට කියන්න අවශ්‍ය වුණේ වර්තමානයේ සිරිපාදය වැඳ පුදා ගන්නට යන ගමන පිළිබඳව නම් නොවේ. එක්දහස් නවසිය පනස් ගණන්වල හැට ගණන්වල බොහොම අසීරුවෙන් සිරිපාදය කරුණාකරන ආකාරය පිළිබඳවයි මම මේ ගීතයෙන් රසිකයන්ට ගෙන එන්නට උත්සාහ කළේ. නඩයක් එකතුවෙලා සිරිපතුල වැඳ පුදා ගන්නට ගිය ගමන ගීතය පුරාම කියැවෙනවා. ඉතින් මම මේ ගීතය නිර්මාණයේදී අතීතයේ භාවිත කළ භාෂාවට, හඬට හානියක් නොවන ආකාරයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කළා.  මේ ගීතයට රූප රචනය කළේ අශෝක වීරසිංහ. සිරිපාදේ යන්න වරෙල්ලා කියන මේ ගීතයේ එළිදැක්ම මීට මාස කිහිපයකට කලින් සිදු කළා.


ඉස්සර නම් සිරිපාදය ගැන බොහෝ ගීත නිර්මාණය වුණා. නමුත් මෑතකදී සිරිපාදය ගැන ගීත නිර්මාණය වුණේ බොහොම අඩුවෙන්. ඉතින් මම හිතුවා සිරිපාදය ගැන ගීතයක්  නිර්මාණය කළොත් හොඳයි කියලා.


ඔබේ අතින් කොපමණ ගීත සංඛ්‍යාවක් බිහිවෙලා තිබෙනවාද?


මම ධර්මරත්න සමූහයේ නිත්‍ය ගීත රචක ලෙස කටයුතු කළා. මේ සමූහය වාදනය කළ සෑම ගීතයක්ම මගේ අතින් බිහිවූ නිර්මාණ. ඒ වගේම ශිරෝමිකා ෆර්නෑන්ඩෝ ගායනා කළ ළමා ගීත බොහොමයක් මම පද රචනා කළ, තනු නිර්මාණය කළ ගීත. එච්. ආර්. ජෝතිපාල මහත්මයාටත් ගීත හතරක් නිර්මාණය කිරීමේ අවස්ථාව මට හිමි වුණා. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක, ඩෙස්මන් ද සිල්වා වැනි බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන්ටද මම ගී තනු නිර්මාණය කළා. මම නිර්මාණය කළ ගී තනු සහ ගී පද රචනයන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.


ඔබ දක්ෂ ලේඛකයෙක්, ගේය පද රචකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඔබේ කලා දිවියට වසර හැටක් සපිරීම ගැන මොකද හිතෙන්නේ.


මගේ කලා ජීවිතය ආරම්භ කළේ ලේඛකයෙක් ලෙස.  1964 දී කලා සඟරාව නම් සිනමා සඟරාවට තමයි මම මුලින්ම ලියන්න පටන් ගත්තේ. මට මුලින්ම ලේඛකයෙක් වෙන්න අත හිත දුන්නේ අභාවප්‍රාප්ත ආරියරත්න කහවිට මහත්මයා. පසුව මම සවස නම් පුවත්පතට සහ විසිතුර පුවත්පතට ලිපි ලියුවා. 1965දී පමණ අපි ධර්මරත්න සහෝදරයෝ සමූහය ආරම්භ කළා. එතැන් පටන් ධර්මරත්න සහෝදරයෝ සමූහයේ ගීත රචනයන් සියල්ල මම සිදු කළා. 1970දී පමණ මම ශිරෝමිකා ෆර්නෑන්ඩෝගේ ළමා ගීත ලියන්න පටන් ගත්තා. ඒ වගේම 1966දී මගේ පළමුවන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. මේ වේදිකා නාට්‍යයයේ නම වුණේ මායා.  මගේ පුවත්පත් කලා දිවිය, නාට්‍ය කලා දිවිය වගේම සංගීත දිවිය ආරම්භ වුණේ එකම කාලයක. 1971දී මළවුන්ගේ කතාවක් කියන මගේ පළමුවන නවකතා පොත  ලියුවා.  ඉතින් එදා මෙදාතුර මගේ කලා දිවියට වසර හැටක් ගෙවී ගිහින්.


ඔබ වැඩිහිටියන්ට වගේම ළමයින් වෙනුවෙන් ගීත නිර්මාණය කළ අයෙක්. වර්තමානයේ ළමා ගීත බිහිවීම පිළිබඳව තිබෙන පසුබෑම ගැන මොකද හිතන්නේ?


ළමා ගීත නිර්මාණය කිරීමේදී ළමා මනස තේරුම් ගෙන  එය සිදු කළ යුතුයි. මේ ගීත තුළ ළමාකම තිබීමද වැදගත්. වැඩිහිටියන් වෙනුවෙන් බිහිවන ගීත ළමයින්ට සුදුසු නැහැ. මම ශිරෝමිට ළමා ගීත ලියන කාලයේ බොහෝ නිර්මාණ බිහිවුණේ් අම්මා, ආච්චි, සීයා, බළල් හාමිනේ වැනි දරුවන්ට දැනෙන ඔවුන්ට සමීප චරිත පිළිබඳවයි. ඒ වගේම මේ ගීත ළමයින්ට කියන්න පුළුවන් සමාජයට ප්‍රයෝජනයක් තිබෙන ගීතද වනවා. ළමා ගීතවලට ගී තනු නිර්මාණය කිරීමේදීද ළමයින් ආකර්ෂණය වන ආකාරයට ගී තනු භාවිත කළ යුතුයි. වර්තමානයේදී නම් මෙවැනි නිර්මාණ බිහි වෙන්නේ නැහැ.


ඔබ දශක කිහිපයක නියෝජනයක්. ඉතින් වර්තමාන කලා ක්ෂේත්‍රය ඔබ දකින්නේ කොහොමද?


අපි කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන කාලයේදී ආදර්ශවත් කලාකරුවන් බොහෝ පිරිසක් සිටියා. අපිත් ප්‍රවීණ කලාකරුවන්ගේ නිර්මාණ හොඳින් හැදෑරුවා. ඒ වගේම ප්‍රවීණ කලාකරුවන් අපට බොහෝ සෙයින් උදවු කළා. පෞද්ගලිකව මටත් උදවු කරපු පිරිසක් හිටියා. වර්තමානයේ සිටින බොහෝ කලාකරුවන් තමුන්ගේ ප්‍රවීණයන්ට කිසිම ගරු කිරීමක් නැහැ. ඔවුන්ව ආදර්ශයට ගන්නෙත් නැහැ. ප්‍රවීණයන්ගේ නිර්මාණ හැදෑරීමක් සිදු කරන්නෙත් නැහැ. බොහෝ තරුණ කලාකරුවන් සිතන්නේ තමන් නිවැරදි ලෙසයි. ඒ නිසාම නවක කලාකරුවන්ගේ නිර්මාණ රසිකයන් තුළ දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ.


නවක ගායන ශිල්පීන්ට, ගේය පද රචකයන්ට, සංගීත අධ්‍යක්ෂවරුන්ට ලබාදිය හැකි පණිවිඩය කුමක්ද?


නවක කලාකරුවන් අලුත් දෙයක් කරන්න නිතරම උත්සාහ කළ යුතුයි. ඒ වගේම නිතරම අලුත් විදිහට හිතන්න උත්සාහ කිරීම වැදගත්. නවක කලාකරුවකුට තමන්ටම ආවේණික වූ ශෛලියක් ගොඩනඟා ගැනීමෙන් කලා ක්‍ෂේත්‍රය තුළ නොමැකෙන චරිතයක් වීමටද පුළුවන්. ඒ නිසා නිතර අලුත් නිර්මාණ බිහි කරන්නට උත්සාහ කරන්න.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post