වාසු නිසා අලුත් රසිකයෝ පිරිසක් එකතු වුණා-රුවී ලක්මාලි

 


විසේකාරී ටෙලි නාට්‍යයේ අහිංසක “වාසු”ගේ චරිතයට පණ පොවන ඇය සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. නිතරම දකින්නට නොලැබුණත් ඇය වටා එක් රොක් වූ රසිකයන්ගෙන් නම් අඩුවක් නැහැ. ඇය නමින් රුවී ලක්මාලි. “විසේකාරී” ටෙලි නාට්‍යයේ “වාසු”ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම බලාපොරොත්තු වුණාට වැඩියෙන් හොඳ ප්‍රතිචාර මට ඒ චරිතයට ලැබෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. බොහෝ දෙනකුගෙන් නොහිතපු විධියේ ආකර්ෂණයක් ලැබිලා තිබෙනවා.


විවිධාකාර චරිත නිරූපණය තුළ ලැබුණු අභියෝග ගැන කතා කරමු?


ඇත්තටම මම එකම විධියේ චරිතවලට කොටු වෙලා නැහැ. නමුත් බොහෝ වෙලාවට මට ආරාධනා ලැබෙන්නේ අහිංසකයි කියන කාණ්ඩයේ චරිතවලටම තමයි. සමහර වෙලාවට එහෙම වෙන්නට අපේ පෙනුමත් බලපානවානේ.


කලා නිර්මාණ තුළින් නිතරම අසම්මත ප්‍රේමය සම්බන්ධයෙන් කතා කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?


අනියම් ප්‍රේමය කියන්නේ බරපතළ ප්‍රශ්නයක්. ආදරයට සම්මත අසම්මත කියලා දෙයක් නැහැ. “විසේකාරී” ටෙලි නාට්‍යය තුළ තිබෙන්නේ මහාචාර්යවරයාට ආදරයක්ම නෙවෙයි. එතැන ඔහුගේ සිතේ තිබෙන්නේ කැමැත්තක් විතරයි. දකින දකින අයට අපට ආදරය දැනෙන්නේ නැහැනේ. මම හිතන්නේ ආදරයක් කියන දේ ඇති වෙන්නේ ජීවිතයේ එක් වතාවයි. ටෙලි නාට්‍යයේ මහාචාර්යවරයාගේ චරිතයට සමාන මිනිසුන් අපේ සමාජයෙත් ඉන්නවා. ඉතින් අනියම් ප්‍රේමය තුළ මවුපියන්ගේ හැසිරීම් දරුවන්ට බලපානවා. පවුල් ජීවිතය තුළ මහාචාර්යවරයාගේ බිරියද පරිපූර්ණ ගැහැනියක්. ඇය තම පවුලට ආදරය කරන, ගෙදර වැඩකටයුතු සියල්ලම කරන ආදරණීය බිරිදක්.


ගුරු වෘත්තීය හා රංගන වෘත්තීය වැනි වෙනස් වෘත්තීන් දෙකක අත්දැකීම කොහොමද?


මම බොහෝවිට පාසල් ළමුන් සමඟ කාලය ගත කරපු කෙනෙක්. මම ඉගැන්වූ දරුවන් හා මා අතර තිබුණේ සුළු වයස් පරතරයක්. මම දරුවන් සමඟ හරිම එකමුතුයි. මම ගුරු වෘත්තීයට සමු දීලා දැන් අවුරුදු හතක් අටක් වෙනවා. මම දැන් වෘත්තීමය රංගන ශිල්පිනියක්. රංගනයේදී මට වැඩිපුරම ලැබිලා තිබෙන්නේ වෙළෙඳ දැන්වීම්. ඒ තුළත් මට බොහෝ විට ලැබිලා තිබෙන්නේ අම්මා කියන චරිතය. මාත් සමඟ වැඩ කරන ළමයි හැමෝම මාත් සමඟ ඉක්මනට මුහු වෙනවා. රංගන ශිල්පිනියක් හා ගුරුවරියක් කියන වෘත්තීන් දෙක දෙවිධියක්. ඉතින් ලොකු වෙනසක් තිබෙනවා. මම ගුරුවරියක් කාලයේ නැටුම් හා සිංහල විෂය භාරව තමයි වැඩ කටයුතු කළේ.


ක්ෂේත්‍රය තුළ නවක පරපුර හා ප්‍රවීණ පරපුර අතර අන්‍යෝන්‍ය අවබෝධය කොහොමද?


මට දැනට එකට  වැඩ කටයුතු කිරීමට ලැබුණේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ තමයි. මට අපේ කාලයේ අය සමඟ වැඩ කටයුතු කිරීමට ලැබුණා ටිකක් අඩුයි. නමුත් මම දකින දෙයක් තමයි ප්‍රවීණයන් සමඟ අපට සම්බන්ධකම් ගොඩනඟා ගැනීමට හරිම පහසුයි. ප්‍රවීණයන් සෑම විටම අපට උදවු කරනවා. මම එකට වැඩකටයුතු කරන ප්‍රවීණයන් සෑම විටම මට මගේ දුර්වල තැන් පෙන්වා දෙනවා. ඒ දේ අලුතෙන් එක්වන නවක පරපුරට හොඳ ආදර්ශයක්. අද ඊයේ ආව අපේ මුහුණවත් බලන්නේ නැති, කතා කරන්නේ නැති අය ඉන්නවා. අපි ගිහින් බලෙන් කතා කරන අයත් ඉන්නවා. මම කියන්නේ ඇත්තටම එකට එකම ක්ෂේත්‍රයක වැඩ කරද්දී එහෙම වෙන්න හොඳ නැහැ. අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇත්තටම අද කාලයේ අයට වඩා ගොඩක් හොඳයි. ප්‍රවීණයන් තුළ කලාවට ලොකු ආදරයක් හා බැඳීමක් තිබෙනවා. මම දකින විධියට අපේ ප්‍රවීණයන් එක එක වාසි ගැනීමට ක්ෂේත්‍රයට පැමිණි අය නෙවෙයි. ඔවුන් කලාවට ආදරයෙන් පැමිණි අය. ඔවුන් හරිම ආදර්ශවත්.


හැමදාම ක්ෂේත්‍රයේ දකින්න නොලැබුණත් ඔබ ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි නේද?


මම තෝරා බේරා ගෙන නිර්මාණ කරනවා නෙවෙයි. මේ යන රැල්ලත් එක්ක අපට නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කටයුතු කරන්න අමාරුයි. දැන් නිර්මාණ තුළ තිබෙන්නේ අමුතු රැල්ලක්. සමහර වෙලාවට මට හිතෙනවා මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. මට ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නේ නැහැ. මට යම් දෙයක් ඒ චරිතය තුළ කරන්න පුළුවන් කියලා දැනුණොත් මම ඒ නිර්මාණය භාර ගන්නවා. මට ඒ කාලයේ ඉඳලම ලොකු ඉවසීමක් තිබුණා. මම හෙමින් ගමනක් යනවා කියන දේ තමයි මගේ හිතේ


තිබුණේ. මට ඒ තුළ හොඳ ප්‍රේක්ෂක පිරිසක් ලැබෙයි කියලා හිතුණා. සමහර වෙලාවට මම අවුරුද්දටම එක ටෙලි නාට්‍යයයි කරලා තිබුණේ. ඉතින් මේ අවුරුද්දේ මම ආපසු ටෙලි නාට්‍ය දෙකක් භාරගෙන කරනවා. ඒ චරිත දෙකම දෙවිධියක්. එදා ඉඳන් මාත් එක්ක හිටපු මගේ රසික පිරිස අදටත් ඉන්නවා. වාසුගේ චරිතය නිසා තවත් පිරිසක් එක් වෙලත් ඉන්නවා. ඒ රසිකයන් අතර බොහෝදෙනකු කාන්තා පාර්ශ්වයේ අය තමයි. ඒ දෙයත් ලොකු දෙයක් විධියට මම දකිනවා. ඒ දෙය මට ලොකු ශක්තියක්.


“ජුරාලියා” නිර්මාණය ගැන අදහසක් දැක්වුවොත්?


සුපුන් රත්නායක අයියගේ “ලලයි ලිලයි” ටෙලි නාට්‍යයට පසුව විකාශය වන ටෙලි නාට්‍ය තමයි ජුරාලියා. ඒ නිර්මාණය හරි ලස්සන නිර්මාණයක්. “විසේකාරී” ටෙලි නාට්‍යයේ ඉන්න අහිංසක වාසු නෙවෙයි මේ ටෙලි නාට්‍යයේ ඉන්නේ.


ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මට චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තිබෙනවා.ඒ වගේම වෙළෙඳ දැන්වීම් කීපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍ය දෙකත් සමඟ සතුටින් ඉන්නවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post