පළමු වතාවට චුලක්‍ෂි ටෙලියක වැඩ

 


නිරූපණ ක්‍ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වුණ චුලක්‍ෂි රණතුංග පසුකාලීනව සිනමා ක්‍ෂේත්‍රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් වෙනව. අද ඔබට ‘වත්සුණු’ සමගින් ඇයව පුංචි තිරයෙන් දකින්න ලැබෙනව. ඒක අලුත් අත්දැකීමක්. අපි චුලක්‍ෂිගෙන් අහල බලමු, මොකක්ද මේ වෙනස කියල.


චුලක්‍ෂි ටෙලි නාට්‍යයක් භාරගන්න හිතුවෙ ඇයි?


මම පළමු වතාවටයි ටෙලි නාට්‍යයක රඟපාන්න භාරගත්තෙ. බොහෝ වෙලාවට චිත්‍රපටවල මට රඟපාන්න ලැබුණෙ ග්ලැමර් චරිත. නමුත් මට ඕනෑ වුණේ චරිතාංග නිළියක් වෙන්න. ටෙලි නාට්‍යයක රඟපානවා නම් චිත්‍රපටවල තියෙන ෆැන්ටසි කැරැක්ටර් නැතිව ගැඹුරක් තියෙන චරිතයක් ලැබෙන්න ඕනා. මේ, ඒ වෙනුවෙන් ගත්ත උත්සාහයක් කිව්වොත් හරි.


‘වත්සුණු’ වෙනුවෙන් ලැබුණ ආරාධනය භාරගෙන බොහෝ කාලයක් වෙනව?


ඔව්, මම මේ ආරාධනය භාරගෙන අවුරුදු තුනකට ආසන්නයි.


කාගෙන්ද මේ ආරාධනය ලැබෙන්නෙ?


ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ සමන් කුමාර සර්ගෙන්මයි මට මේ ආරාධනය එන්නෙ. එතුමා කෙරෙහි තිබුණ විශ්වාසය නිසාම සහ ලොකු බලාපොරොත්තුවක් ඇතිව මම චරිතය භාරගත්තා.


පළමු ටෙලියට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


බොහෝ දෙනෙක් මගෙන් අහන්නෙ ටෙලි නාට්‍යය රංගනයට ආවද කියල. ෆිල්ම්වලින් ජනප්‍රිය නිළියක් වෙන්න ලොකු කාලයක් යනව. නමුත් ටෙලිවිෂන් එකට ගියාට පස්සෙ උනු කැවුම් වගේ අපිට ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය ලබාගන්න පුළුවන්. කොහොම වුණත් මම මේ වනවිටත් චිත්‍රපට අංශයේ චුලක්‍ෂි රණතුංග කියන බ්‍රෑන්ඩ් එක හදල ඉවරයි.


චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගනය අතර වෙනස දැනෙන්නෙ කොහොමද?


අපි චිත්‍රපටයක රඟපාද්දි පුහුණුවීම් සිදුකරනවා. රූගතකිරීම් කරන කාලය තුළ වෙන වැඩක් භාරගන්නෙ නැහැ. චිත්‍රපටයක් කියන්නෙ විශාල කාර්යභාරයක් තියෙන වැඩකටයුත්තක්. එතැනදි අපේ බාහිර ස්වරූපය පවා වෙනස් කරගන්න සිදුවෙනව. ටෙලි නාට්‍ය ගැන මම සරලව කතාකරනව නෙමෙයි. මේ තැන් දෙකේම තියෙන්නෙ රංගනය. ඒකෙ වෙනසක් නැහැ. මට දැනෙන්නෙ චිත්‍රපටයක පිටපත සමග වැඩිපුර ජීවත් වෙනවා කියන කාරණාවයි.


ටෙලි නාට්‍ය සමග දිගටම රැඳෙන්නද අදහස?


නැවතත් ටෙලි නාට්‍යවල රඟපාන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.


‘වත්සුණු’ ඔබ භාරගන්නෙ පළමු සහ අවසාන ටෙලිනාට්‍යය ලෙසින්ද?


ඒ ගැන දැන්ම තීරණය කරල නිගමනයකට ඇවිත් උත්තර දෙන්න බැහැ. මේක මගේ පළමු වැඩේ සහ අවසාන වැඩේ කියල තිත තියනවා නෙමෙයි. චුලක්‍ෂි රණතුංග කියන චරිතය බ්‍රෑන්ඩ් වෙලාතියෙන්නෙ, මිස් ශ්‍රී ලංකා, ෆැෂන් මොඩල්, චිත්‍රපට නිළියක් කියන කාරණා වලින්. මෙතැනදිත් මම බලන්නෙ චරිතය තුළ ජීවත් වෙන්න. ඒ වගේම මගේ හිතේ ඇඳුන චිත්ත රූප තියෙනවා. ඉදිරියේදි ඒ වගේ චරිතයක් ලැබුණොත් භාරගනීවි.


පසුගිය කාලයේ ඔබ රඟපෑමෙන් දායක වුණ ‘මන්දාරා’ බොහෝ කාලයක් තිරගත වුණා?


අපි රඟපෑ චිත්‍රපටයක් දින සියය පසුකරන තුරු ආසාවෙන් බලාගෙන ඉන්නෙ. වර්තමානයේදි සිංහල සිනමාවට ප්‍රේක්‍ෂකයන් ගෙන්නගන්න අපි උපරිමයෙන් වැඩ කරන්න ඕනා. චිත්‍රපටයක් ශාලාවකට මුදාහල පසුවත් අපි වැඩකරන්න ඕනා. ඒක අපේ වගකීමක්. ‘මන්දාරා’ දින එකසිය විසිපහකට අධික කාලයක් තිරගතවීම ගැන බොහොම සතුටුයි.


ඉදිරියේදී තිරගත වීමට නියමිතව සිනමා නිර්මාණ කීයක් තියෙනවද?


තව සිනමා නිර්මාණ පහක් විතර තිරගත වීමට නියමිතව තියෙනවා.


මේ දවස්වල මොකද වෙන්නෙ?


මේ දවස්වල ලාල් ප්‍රියදේව මහත්මයාගෙ චිත්‍රපටයක වැඩකරගෙන යනව. එහි රූගතකිරීම්වලින් හතරෙන් තුනක වැඩකටයුතු මේ වන විට අවසන් වෙලා තියෙනවා.


‘වත්සුණු’ රංගනයෙන් පසුව ටෙලි නාට්‍ය සඳහා වෙනත් ආරාධනා ලැබුණද?


ඔව්, ආරාධනා දෙකක් ලැබුණා. තවම ඒ ගැන හිතල නැහැ.


මේතාක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?


මම රංගනයට එන්නෙ නිරූපණය හරහා. ෆැෂන් ඉන්ඩස්ටි්‍ර එකේ චුලක්‍ෂි රණතුංග කියල බ්‍රෑන්ඩ් එකක් හදල තමයි මම රංගනයට එන්නෙ. මට වෙනස් කරන්න ඕනෑ වුණෙත් චරිතාංග නිළියක් වෙන තැනදි කතා විලාශය, හැසිරීම් රටාව ගැන වැඩි අවධානයක් දිනාගන්න. ගොඩක් වෙලාවට ප්‍රේක්‍ෂකයන් මට කියන්නෙ ඔයා ඉන්දියානු සිනමාවට ගැළපෙන චරිතයක් කියල. මගේ රංගන ජීවිතයෙත් මම තවම යම් යම් චරිත හොයනවා.


මිනිසුන් කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නැහැ කියනවනෙ. ඉතිං ඒ වගේ පෘතග්ජන හැඟීම්, ආසාවල් මගේ හිතෙත් තියෙනව. හොඳම සහය නිළියට හිමි සම්මානය මම මුලින්ම ලබාගන්නෙ සරසවි සම්මාන උළෙලෙදි. ඒක මම මගේ ජීවිතයේ ලබපු ලොකුම භාග්‍යයක්. මොකද රංගන ශිල්පිනියකගේ ජීවිතයේ ඉහළම සම්මානය වන හොඳම නිළියවත්, ජනප්‍රියම නිළියවත් වෙන්න කලින් ජීවිතයේ පළමු වතාවට අතට ගන්නෙ නැගී එන නිළිය සම්මානය. ඒක මගේ ඉලක්කය හඹා යෑමේදී ලැබුණ වටිනාම අගැයුමක්.


චුලක්‍ෂිගේ ජනප්‍රියත්වය අඩුවෙන්නෙ නැහැ.


මොකක්ද මේ රහස?


එකපාරටම ඕනෑම දෙයක ඉහළම ධාරිතාවක් ගන්නකොට ඉතා ඉක්මනින් ඒකෙ බැස්මකුත් තියෙනව. ඒ නිසා මම හිතන්නෙ ජීවිතයේ ඕනෑම දෙයක් ඒකීය රටාවෙ යනකොට අපිට ඒකෙ අඩුවැඩිවීමක් වෙන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. මම එදිනෙදා කටයුතු නිසියාකාරව සිදුකරමින් මගේ රංගන ක්‍ෂේත්‍රයට අදාළ වන දේවල්වල නිරත වෙමින් වෘත්තීයමය රංගන ශිල්පිනියක් හැටියට මගේ ජීවිකාව ගෙනියන්න තමයි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ.


බාහිර පෙනුම එකම විදිහට තියාගන්නෙ කොහොමද?


අන්න ඒක තමයි රංගන ශිල්පිනියකට තියෙන ප්‍රධානම සහ වැදගත්ම දේ කියලා අපි ගොඩක් වෙලාවට දකිනවා. සමහරු ඉතා ඉක්මනින් එනවා ඉතා ඉක්මනින් නැතිවෙලා යනවා. මම ඒ මට්ටමට යන්නේ නැති වෙන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. රංගන ශිල්පිනියක් විදිහට සදාකල් අපිට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න අමාරුයි. මොකද අපි වයසට යෑමත් එක්ක ගොඩක් දේවල් වෙනස් වුණත්, තරුණ බව, ජවය, තමන්ගේ පෙනුම ගැන තමන්ට හැකි තාක් සැලකිලිමත් වුණොත් ජීවිතයේ ඒකාකාරීව ඒ දේවල් තියාගන්න පුළුවන් වෙනව කියල මම විශ්වාස කරනව.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post