වෙඩින් එකත් එක්ක චිත්‍රපටයත් රිලීස් වුණා – චමීෂා දිසානායක

 



ශ්‍රී ලාංකේය සිනමාවට දවසින් දවස අලුත් මුහුණු එකතු වෙනවා. පසුගිය දවස්වල තිරගතවීම ආරම්භ කරපු සෝලෝටවුන් චිත්‍රපටය හරහාත් සිනමාවට අලුත්ම මුහුණු කිහිපයක් එකතු වුණා. ඒ අතරේ සිංහල සිනමාවට ආපු අලුත්ම මුහුණ තමයි චමීෂා දිසානායක. සෝලෝටවුන් තිරගත වෙන්න ඔන්න මෙන්න තියෙද්දී චමීෂාගේ වෙඩින් එකත් තිබුණා. ඉතිං අපි චමීෂා වෙනුවෙන් මේ ඉඩකඩ වෙන්කරන්න අදහස් කළා.


චමීෂා සෝලෝටවුන් කියාරාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?


සෝලෝටවුන් කියන්නේ මගේ පළමු චිත්‍රපටය. මීට කලින් මම චිත්‍රපටයක රඟපෑවා. නමුත් තවම ඒක තිරගත වුණේ නැහැ. ඒ වගේම ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් සහ සිරස නාලිකාවේ නිවේදිකාවක් විදිහටත් වැඩකරනවා. මීට කලින් මම රඟපෑ හැම චරිතයකටම වඩා කියාරා කියන චරිතය ගොඩක් වෙනස්ම චරිතයක්. කියාරාට මේ වෙනකොට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


කියාරා හමුවුණේ කොහොමද?


මීට කලින් කරපු චිත්‍රපටය සංස්කරණය කරන වෙලාවේ සෝලෝටවුන් හි අධ්‍යක්ෂ චතුරංගන අයියාගේ බිරිඳ තමයි මාව මුලින්ම දැකල තියෙන්නේ. මම මීට කලින් කරපු චිත්‍රපටයත් දෙරණ නාලිකාවේ නිෂ්පාදකවරයෙක් කරපු චිත්‍රපටයක්. ඉතිං ඒ හරහා තමයි මට සෝලෝටවුන් හි කියාරාට ආරාධනා ලැබුණේ.


කියාරා ගැන මොකද හිතෙන්නේ?


හරි සරල චරිතයක්. සරල වුණාට මට ලොකු අභියෝගයක් තිබුණ චරිතයක්. මම හිතනවා මම ඒ චරිතය ලස්සනට රඟපෑවා කියලා.


කියාරා චමීෂාට සමානයි ද?


ඇත්තටම නැහැ. සැබෑ ජීවිතයේදී චමීෂා කියන කෙනා ගොඩක් වෙනස්ම චරිතයක්. කියාරාව මගේ සැබෑ චරිතයට සමාන කරන්න බැහැ.


ඇත්තටම චමීෂා කියන්නේ මොනවගේ චරිතයක්ද?


මම හරිම විනෝදකාමී චරිතයක්. ඒ වගේම හැමෝම එක්කම සුහදව ඉන්න හරි ආදරණීය චරිතයක්.


සෝලෝටවුන් රංගනය ගැන මොකද හිතෙන්නේ ?


මේ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන් සමග වැඩකළා. මගෙත් එක්ක වැඩකරපු සහෝදර ශිල්පීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.


රංගනයට එන්න කලින් මොනවද කළේ ?


මම රංගනයට ආවේ පුංචි කාලෙදිමයි. මට අවුරුදු 12 දී තමයි මම වෙළෙඳ දැන්වීම්වල රඟපෑවේ. ඊට පස්සෙ සිරස සහ සියත නාලිකාවල විකාශය වුණ ටෙලිනාට්‍ය හතරකට රංගනයෙන් දායකවෙන්න ලැබුණා. ඒ කාලය අතරතුරදී නිවේදනයටත් සම්බන්ධ වුණා. මේ වෙනකොට මම සිරස නාලිකාවේ විකාශය වන සුභාසිරි වැඩසටහනේ නිවේදිකාව විදිහටත් කටයුතු කරනවා.


ආපහු දිගටම රඟපානවා ද?


ඔව්. මම දිගටම රඟපානවා. මට ලැබෙන හැම ආරාධනයක්ම මම භාරගන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට පිටපත බලනවා. ඒ වගේම පිටපත හොඳට කියවල බලල මට ලැබෙන චරිතයට යමක් කරන්න වගේම ජනතාවට පණිවුඩයක් දෙන්න තියෙනවා නම් විතරයි ඒ ආරාධනාව භාරගන්නේ.


පවුලේ විස්තර, පදිංචිය එහෙම?


මම පදිංචි වෙලා ඉන්නේ ගල්කිස්සේ. අම්මයි තාත්තයි අක්කයි මට ඉන්නේ. අක්කා විදෙස්ගත වෙලා ඉන්නේ.


හොරෙන්ම කසාද බැන්දා කියන්නේ ?


මගේ වෙඩින් එක දෙසැම්බර් මාසයේ 02 වැනිදා තමයි තිබුණේ, සෝලෝටවුන් චිත්‍රපටය තිරගතවෙන්න හරියටම දවස් තුනකට කලින්. මගේ වෙඩින් එක කාලෙදිම සෝලෝටවුන් චිත්‍රපටයත් තිරගත වුණ එක ගැන හරිම සතුටුයි.


සෝලෝටවුන් ටීම් එකට වෙඩින් එක කිව්වද?


ඔව්. වෙඩින් එක කිව්වා. සෝලෝටවුන් ටීම් එක වෙඩින් එකට ඇවිල්ලා හොඳ ප්‍රෆෝමන්ස් එකකුත් කළා. සෝලෝටවුන් ටීම් එකත් එක්ක මගේ වෙඩින් එක සෙලිබ්‍රේට් කරන්න හම්බවෙච්ච එකත් හරි සතුටුයි.


පෙම්වතා ගැන විස්තර ටිකක් කිව්වොත් ?


අපි දෙන්න පුංචි කාලෙ ඉඳලාම යාළුවෝ. අපි දෙන්නා යාළුවෙලයි කසාද බැන්දේ. ඇත්තටම කිව්වොත් එයත් මම වගේ චරිතයක්. එයා කලා කේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් නෙමෙයි. මම ඉන්න ක්‍ෂේත්‍රයේ කෙනෙක් එක්ක මම කවදාවත් ආදර සම්බන්ධතාවයක් පවත්වලත් නැහැ, පවත්වන්න එහෙම අදහසක් තිබුණෙත් නැහැ. මම හොයාගත්තු කෙනා වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන කෙනෙක්. එයා ගොඩක්ම මම වගේම මගේම බෝයි වර්ෂන් එක කිව්වොත් හරි.


වෙඩින් එකෙන් පස්සේ රඟපානවා ද?


ඔව්. මම වෙඩින් එකෙන් පස්සෙත් රඟපානවා. මට ලස්සන වැඩක් හම්බවුණොත් භාරගන්නවා.


දිනේෂ් විතාන



Previous Post Next Post