රංගනය මගේ මගේ විනෝදාංශය වෘත්තිය නෙවෙයි -වින්ද්‍යා විජේසිංහ

 


වෘත්තිමය වශයෙන් ඇය අද මනෝවිද්‍යා උපදේශකවරියකි. කුඩා කල පටන් රඟපෑමට වඩාත් කැමැත්තක් දැක්වූ ඇය කිසියම් හෝ දිනක රංග ශිල්පිනියක් වීමේ සිහිනය සැබෑ කර ගන්නට සිහින දැක්කේ වයස මුහුකුරා යාමත් සමඟය. විනෝදාශයක් ලෙස රංගනයේ නියැළෙමින් කාලීන රැකියාවක් ලෙස රංග ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඈ නමින් වින්ද්‍යා විජේසිංහ.


2017 වසරේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස හා පුරා කියා කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන වින්ද්‍යා මෝස්තර නිරූපණයෙන් 2017 වර්ෂයේම ලංකාවේදී නොබෙල් ක්වීන් කිරුළු දිනා ගන්නේ අනෙකුත් සියලු තරඟකාරියන් අබිබමිනි. එම ජයග්‍රහණයත් සමඟ පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර්ජාතික තරඟ නියෝජනයට ඇය භාග්‍යවන්ත වූයේ නිරායාසයෙන්මය. මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස්, සිලොන් මැජස්ටික් පැජන්ට් තරගාවලි නියෝජනයත් සමඟ ලංකාවේදී ඇය බෙස්ට් ටැලන්ට් ඔෆ් ශ්‍රී ලංකා, මිසිස් කන්ජිනිඅලිටි වශයෙන් සම්මානීය වන්නීය.


රටවල් 48 නියෝජනය කරමින් පිලිපීනයේ මැනිලා නුවර පැවති වල්ඩ් පැජන් තරඟාවලියේදී ඇය නැවතත් ඕඥඵබ ඛ්ධදඨඥදඪචතඪබර ලෙස සම්මාන ලබන්නට ද වාසනාවන්ත වුවාය.


මෝස්තර නිරූපණ ශිල්පිනියක රංග ශිල්පිනියක චිත්‍රපට නිෂ්පාදිකාවක, ගායිකාවක, ව්‍යාපාරිකාවක ලෙසින් කටයුතු කරන වින්ද්‍යා විජේසිංහ හා අපි කතාබස් කරමු.


 

වින්ද්‍යා මේ දවස්වල තොරතුරු කොහොමද?


රංගනයේ කටයුතුවල නම් මේ දවස්වල යෙදීල නෑ. මගේ පූර්ණ කාලීන වෘත්තිය වන මනෝවිද්‍යා උපදේශිකාවකගේ භූමිකාව තමයි කරමින් ඉන්නේ.


රංගනය ඔබේ වෘත්තිය නොවෙයිද?


නෑ. මම රංගනයේ යෙදිලා ඉන්නේ විනෝදාංශයක් වශයෙන් එය මගේ අර්ධකාලීන රැකියාවක් කිව්වට කිසිම වරදක් නෑ.


වෘත්තීමය මනෝ විද්‍යාඋපදේශකවරියක් වන ඔබට කලා ශිල්පිනියක් වීම කොයි ආකාරයෙන්ද දැනෙන්නේ?


මගේ වෘත්තිය සම්බන්ධ යම් යම් සීමාවන් තියෙනවා. ඒ සීමාවන්ට යටත්ව තමයි මම රංගන කටයුතුවලට සහභාගී වෙන්නෙ. ගොඩක් දේවල් තෝරා බේරා ගෙන තමයි සහභාගි වන්නේ. ඒ නිසාම මගේ සහභාගිවීමේ ලොකු අඩුවකුත් තියෙනවා.


හා පුරා කියා නිරූපණ ශිල්පිනියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට අත්පොත් තබන ඔබ රංගනයට දොරගුලු විවර කරගන්නේ කොහොමද?


මම රංගනයට එන්නෙම චිත්‍රපට සහාය නිෂ්පාදිකාවක් ලෙසින්. 2018 වසරේ සරත් දික්කුඹුර අධ්‍යක්ෂණය කළ මරු කතර චිත්‍රපටයේ සහාය නිෂ්පාදිකාවක් ලෙසින් මේ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක් රඟපානවා. මගේ මුල්ම චිත්‍රපට රංගනයත් සිද්ධවෙන්නේ මේ චිත්‍රපටය තුළින්මයි.


මරු කතර චිත්‍රපටයෙන් පසුත් ඔබ චිත්‍රපට රංගනයේ තවදුරටත් නියළෙනවාද?


ඔව්. බැක්ටූ ස්කූල්, සිහිනයකි රෑ චිත්‍රපට සඳහා මම රංගනයෙන් දායක වෙනවා. හැබැයි තවම මම රඟපෑ එකම චිත්‍රපටයක්වත් තිරගත වුණේ නැහැ.


වින්ද්‍යා වේදිකාවට අකැමැති නිළියක්ද?


අපෝ නෑ. මම ආසයි වේදිකාවට නිලංගනී ජයසූරියගේ සුභද්‍රා වේදිකා නාට්‍යයේ පසුගියදා මම පුහුණුවීම් කළා. ඉදිරියේදී මම වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසිනුත් සුභද්‍රා තුළින් කරළියට එයි.


අද වන විට වින්ද්‍යා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ලෙසත් පුංචි තිරයට පැමිණිලා?


ශාන්ත සොයිසාගේ මිතූ, සිහිනි, නීල පබලු සුදන්ත තිලකසිරිගේ සඳහැංගිලා ආදී. ටෙලිනාට්‍ය කිහිපයකම මම රඟපෑවා. මම රඟපෑ සමන් කුමාර ලියනගේගේ එළිය කළුවරයි. අලංක ටී. කළු ආරච්චිගේ හැරවුමට ඇරඹුමක් ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්නත් තියෙනවා. පුංචි තිරේ ප්‍රධාන චරිතය රඟපාමින් මම මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ හැරඹුමට ඇරඹුමක් ටෙලි නාට්‍ය නිර්මාණයත් සමඟ.


හා පුරා කියා නිරූපණ ශිල්පිනියක ලෙස ගමනක් අරඹන ඔබ අද වනවිට ඒ ක්ෂේත්‍රයෙන් බැහැර වෙලාද?


මම මේ වන විට මේ ක්ෂේත්‍රය තුළ නෑ. මට මේ තුළ කටයුතු කිරීම තුළ ප්‍රශ්නකාරී ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ප්‍රශ්නකාරී ගැටලු කාරි වටපිටාව තුළ මම එයින් පූර්ණ කාලීනව ඉවත් වෙනවා. නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අතරේ තමයි මට රංගනයේ දොරටු විවර වන්නේ.


නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට ඔබට කොයි ආකාරයෙන්ද දොරටු විවර වන්නේ?


නිරූපණ ක්ෂේත්‍රය තුළ මම ඉන්නකොට මට රඟපෑමට ආරාධනා ආවා. පොඩි කාලේ ඉඳලා මගේ හීනයක් තිබුණා රඟපෑමට. නිරූපණයටත් වඩා මගේ ආශාව තිබුණේ රඟපෑමට.


ආරාධනා ආවත් ඔබ රඟපෑමට යොමුවන්නේ චිත්‍රපටයක සහාය නිෂ්පාදකවරිය ලෙසින් නේද?


මේක මගේ පෞද්ගලික මතය. නවක රංග ශිල්පිනියක් ලෙස මේ ක්‍ෂේත්‍රයට එනකොට ගොඩාක් අසීරුතාවන්ට මුහුණපාන්න සිදුවෙයි කියලා මම හිතුවා. ඒ අසීරුතා මඟ අරවා ගන්න තමයි මම නිෂ්පාදනය පැත්තෙන් දායක වන නිර්මාණයක් තුළින් රංගන ශිල්පිනියක් ලෙස ගමනක් අරඹන්න හිතුවේ.


ඒ කියන්නේ ඔබ සල්ලි දාල කරන කටයුත්තක රඟපෑමක් කරනවා කියන එක නොවේද?


මට ඒ නිර්මාණය තුළ චරිතයක් කරන්නත් ලැබෙනවා. මරු කතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අපි කීප දෙනෙක් එකතු වෙලා. මට හැකියාවක් තියෙන නිසා එහි තෝරාගත් චරිතයක් මම රඟපානවා. පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක්ගේ චරිතයක්.


මරු කතර තුළ පොලිස් ඉන්ස්පැක්ටර් පූජාට රඟපාන ඔබට තවත් සිනමා නිර්මාණවල මොන වගේ චරිත ද ලැබෙන්නේ?


සිහිනයකි රෑ චිත්‍රපටයේ ගායිකාව, බැක් ටු ස්කූල් චිත්‍රපටයේ මානසික ආබාධයකින් පෙළෙන දියණිය.


සහාය නිෂ්පාදිකාවක ලෙස ගමනක් අරඹන ඔබ යළි යළිත් චිත්‍රපට ටෙලිනාට්‍යය සඳහා නිෂ්පාදන දායකත්වයක් එක් කරනවාද?


නෑ. මට ආරාධනා ලැබුණා නිෂ්පාදන පැත්තෙන් දායක වන්න කියලා. නමුත් පළමු නිර්මාණය කරලත් එය තිරගත නොවීම තුළ මට ලොකු කලකිරීමක් ආවා. ඒ නිසා මම නිෂ්පාදනය පැත්ත තවදුරටත් නොකරන්න තීරණය කළා.


නිෂ්පාදිකාවක් ලෙස ඔබ නිර්මාණයකට යට කළ මුදල සොයා ගන්න උත්සාහ කළේ නැද්ද?


මට මේ ක්ෂේත්‍රය පිළිබඳ ලොකු අවබෝධයක් නෑ. මට කරන්න පුළුවන් විමසීමක් පමණයි. විමසීමක් කරනකොට කියන්නේ මේ කාලේ චිත්‍රපටය රිලීස් කරන්න හොඳ මදි. මාකටින් වලට ලොකු මුදලක් යනවා. ප්‍රේක්ෂක ප්‍රජාව තාම චිත්‍රපට නරඹන්න තරම් පෙලඹිලා නෑ. රට තුළ තියෙන වටපිටාව චිත්‍රපටය රිලීස් කරන්න හොඳ මදි වගේ කතා තමයි කියන්නේ. 2018 චිත්‍රපටය කරන්න පටන් ගත්තේ. 2019දී චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කළා. මමත් බොහොම ආසාවෙන් ඉන්නවා මගේ මුල්ම චිත්‍රපට රංගනය නරඹන්න අසාධාරණයට එරෙහිව කටයුතු කරන ඉන්ස්පැක්ටර්වරියකගේ චරිතයක් තමයි මම රඟපෑවේ. මම ගොඩාක් ආශාවෙන් කළ චරිතයක්.


චිත්‍රපටයක මුලින්ම රඟපෑවත් අද ඔබ රංග ශිල්පිනියක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතරට ඇවිත් තිබෙන්නේ?


ටෙලි නාට්‍ය නිළියක් ලෙස පමණයි.


ටෙලි නාට්‍ය තුළ ඔබේ රංගනයට කොයි වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?


සිහිනි ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ ගාමිණි අපෝන්සු මහත්මයාගේ පෙම්වතිය විදියට සැන්ඩ්‍රා නැමැති මේ පෙම්වතිය සුක්ෂම කපටි මුදල් ගරාගන්නා කෙනෙක්. මේ ටෙලි නාට්‍යය විකාශය වීමත් සමඟ මට අධ්‍යක්ෂවරු කීප දෙනෙක්ම කතා කළේ ඒ වගේ චරිත කරන්න.


සැන්ඩ්‍රා වගේ චරිත ඇයි තවත් නොකළේ?


මම ඒ ෆේ‍්‍රම් එකට කොටුවෙන්න කැමති වුණේ නෑ. රඟපාන්න ආස වුණත් මම ඒ ෆේ‍්‍රම් එක තුළ දිගට යන්න කැමති වුණේ නෑ. නමුත් මගෙන් අධ්‍යක්ෂවරු නැවත නැවත බලාපොරොත්තු වුණේ සැන්ඩ්‍රාගේ ගති පැවතුම් තියන චරිත කරවගන්න. මනෝවිද්‍යා උපදේශිකාවක් මම මිනිස්සු ඉදිරියට යන කෙනෙක්. මම මගේ ප්‍රතිරූපය දිහා බලන ආකල්පමය වෙනස එච්චර හොඳ නැති වෙයි කියලා හිතුවා. මගේ රඟපෑම ඒ අයුරින් ඉදිරියටම යාම මම කරන වෘත්තියට මගේ නිරූපණයට යම් විදිහක බලපෑමක් කරයිදෝ කියන සිතුවිල්ල මත මම ඒ යෝජනා ප්‍රතික්ෂේප කළා. හොඳ ප්‍රතිරූපයෙන් තමයි මම මිනිස්සු ඉස්සරහට යන්න ඕනෙ. ඒත් ඒවගේ සුදු චරිත එවැනි රංගනයක් තුළ ලැබෙන් නෑ.


එකම රාමුවක චරිත ඔබට ලැබෙන්න හේතුව?


මගේ පෙනුම බටහිරට බර නිසාවෙන් මට එවැනි චරිත ලැබෙනවා වෙන්න පුළුවන් ඒ නිසාම තමයි මට අඩුවෙන් චරිත ලැබෙන්නේ.


වින්ද්‍යා තෝරා බේරා ගෙන රඟපාන්න නිළියක්ද?


ඔව් ලැබෙන හැමදේම බාර ගන්නේ නෑ. මම ව්‍යාපාරිකාවක් මැණික් හා ස්වර්ණභරණ අංශයෙන් ව්‍යාපාරයක හිමිකාරීත්වයක් මට ති‍යන නිසාම තමයි මම චිත්‍රපට නිෂ්පාදනයටත් හවුල් වන්නේ. අද මම සුප්‍රකට නොවී අප්‍රකටව මේ ව්‍යාපාර කටයුතු කරමින් ඉන්නවා.


මනෝවිද්‍ය උපදේශිකාවක් වන්න ඔබ හිතුවේ?


මනෝ විද්‍යාවට මම බොහොම ප්‍රියයි. මනෝ විද්‍යාව කියන්නේ මනසට කතා කරන භාෂාව, කලාව කියන්නේ හදවතට කතා කරන භාෂාව කියලයි මම දකින්නේ. මේ දෙක එකට යනවා නම් අපිට යම් අයෙකු සම්පූර්ණ පුද්ගලයෙක් කරන්න පුළුවන් මතයේ මම ඉන්නවා. මනෝ චිකිස්සකවරියක් ලෙස මට ලොකු පන්නරයක් ලැබෙනවා. කලාව තුළ හිඳමෙන් මනෝ උපදේශනයක් කියන්නෙත් අපිව ලොකු වෙහෙසකට පත් කරන දෙයක්. ඒ වෙහෙස තුළ රිලැක්ස් වීමට තමයි මම කලාව තෝරා ගන්නේ ගන්නේ. මනෝ උපදේශිකාවක් කියන ප්‍රතිරූපයට හානි නොවෙන්න ඇඳුමෙන් පැලඳුමෙන් වගේම රගපෑමෙනුත් මම පරිස්සම් වෙනවා.


පූර්ණ කාලීන රංගන ශිල්පිනියක් වෙන්න ඔබ අකමැතිද?


ලංකාව තුළ එහෙම වෙන්න බොහොම අපහසුයි. ඒක නිසා ජීවිකාව විදියට මම උපදේශනය තෝරාගෙන තියෙනවා.


අද ඔබේ හීන සෑබෑ වෙලාද?


යම්කිසි ප්‍රමාණයකට සැබෑ වෙලා.


වින්ද්‍යා කලාවට නැඹුරු වුණේ පවුල් පසුබිමත් එක්කද?


නෑ. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ තාත්තා නැවක කැප්ටන් කෙනෙක් වශයෙන් කටයුතු කළා. අද වෙනකොට ජීවතුන් අතරත් නෑ. අම්මා ගෘහණියක් ලෙස කටයුතු කරනවා. මගේ මල්ලි ඇමරිකන් එම්බසියේ වීසා කන්සල්ටර් කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. මට තියෙන්නේ කලාව තුළ තනියම ආපු ගමනක්.


ඔබට ආශාවක් නැද්ද ගායන පැත්තෙන් ගමනක් යන්න?


මම කවර් සෝන්ග් එකක් කරලා බැලුවා. ටිරෝන් මදුමගේ තමයි ඒක කළේ. සුරනිද මෙල් ගායනා කරන නිල් දෑසින් බලා වී... මුමුණා කියාවි... ගීතය තමයි මම ගායනා කළේ. මේ දවස්වල වොයිස් ප්‍රැක්ටිස් කරනවා. ගිටාර් එක ප්ලේ කරන්න ඉගෙන ගන්නවා යම්කිසි තැනකට මම ගායනය පැත්තෙන් පියවරක් තැබුව දවසට මගේම වැඩකින් එළියට එනවා.


රංග ශිල්පිනියක් ලෙස ආපසු හැරිල බලනකොට ලැබුණු චරිත ගැන ඔබ තෘප්තිමත්ද?


එහෙම චරිත දෙකක් විතර තියෙනවා. ඉන්ස්පැක්ටර් වගේම ගායිකාවගේ චරිතය. තවම මම රඟපාලා තියෙන නිර්මාණ අතළොස්සයි. මම ආසයි මගේ සැබෑ ස්වරූපයට එහා ගිය චරිත රඟපාන්න. රංගන ශිල්පිනියක් ලෙස මගෙන් විය යුත්තේ එයයි. මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා මගේ මනෝ විද්‍යා උපදේශනය පැත්තෙන් යම් නිර්මාණයක් වෙනුවෙන් දායක වෙන චරිත කරන්න. මම දෙයක් අධ්‍යයනය කරලා රඟපාන්න කැමතියි මගේ ස්වරූපයට විරුද්ධ ගැමි චරිත කරන්නත් මගේ ලොකු ආශාවක් තියෙනවා.


Previous Post Next Post