ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද?
ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?
අයිතිය අස ප්‍රේමයේ අනුහස් නොරැඳෙන ඉසව්වකදීත් ප්‍රේමය අස අයිතියේ අනුහස් නොදැනෙන ඉසව්වකදීත්... ප්‍රේමය ප්‍රාණ සම හුස්මක් සෙයින් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද සංසාරණ්‍යයේ ප්‍රේමණීයම ආල මාල ගෙත්තම් කරන්නේ එහෙයිනි. ඉඳින් කවදා කොතැනකදී හමුවුවත් ආදරය යනු ආදරයම වෙසින් මිස, ප්‍රේමය යනු ප්‍රේමය වෙසෙසින්ම මිස අන් කවර වෙසින් නිර්වචනය කරන්නදැයි ඉතින් මම නොදන්නෙමි...
ඉතින් කාලය ඉගිල්ලී ගිහින්... ගෙවීයන හැම තත්ත්පරයක්ම කාලය එයාගෙ තුරුල්ලට අරගෙන මතකයක් කරනවා... මතක දිගේ ඇවිදින ගමන් එක තැනක නතර වෙමු...
කවුද සුදත් ඔයා නළුවෙක් කළේ...
ඒක දිග කතාන්දරයක් තමයි... ඒ මම රස්සාවටත් සමුදීලා ඉතාලියේ ගෙදර නිස්කාංසු සුවයෙන් හිටපු කාලය. දවසක් දා මට මගේ පොඩි අයියා කතා කළා... එයාගෙ දරුවන් තුන්දෙනාගෙ විවාහ මංගල උත්සවයට උදව් කරන්න පුළුවන් නම් එන්න දාත් කීවා. මම ආවා. දැන් ඔය මංගල්ලෙ ඔක්කොම ඉවරයි. මම පොඩි වී කුඹුරෙ මහ ගෙදරට වෙලා යන්න ලෑස්ති වෙමින් හිටියේ. යන්නත් තව සති දෙකක් විතර තියෙනවා. ඔය අතරේ දවසක් මට දුරකථන නැවතුමක් ආවා. කතා කළේ සාරංග මෙන්ඩිස්. අයියේ දෙවෙනි ඉනිමේ පොඩි චරිතයක් තියෙනවා. වැඩිම වුණොත් ෂූටින් දවස් පහක් යයි. යන්න ඉස්සර චරිතේ කරමුකෝ කියලා කිව්වා. ඇත්තටම ඒ වෙද්දිත් මම දෙවෙනි ඉනිමෙ හොඳ රසිකයෙක්. මම එහෙ ඉද්දිත් දෙවෙනි ඉනිම බල බලා හිටියේ. මම හැරෙන තැපෑලෙන් මගේ පොඩි අයියට කතා කළා. අයියේ මට දෙවෙනි ඉනිමෙ රඟපාන්න කතා කළා කියලා කිව්වා. අයියා දෙපාරක් හිතන්නෙ නැතුව ආ මරුනේ සුගත්... යන්නත් තව සති දෙකක් විතර තියෙන එකේ ඔය වැඩේ කරන්න කීවා. මම ඒ ගමන්ම සාරංගට කතා කරලා හා කිව්වා. උදේ ෂූටින් තිබුණ ටික හවසට ටීවී එකේ ගියා. ආය කියන්න දෙයක් නෑ මට ඒකේ රහ මාරෙටම වැටුණා. ඇත්තටම කිව්වොත් මට ඒකට මහ ලෝභකමක් දැනුණා. ඒ තාක් ජැක්සන් ඇන්තනිගේ මල්ලි විතරක් වුණු මම මෙන්න බොලේ උදෙන් පස්සේ හැන්දෑව වෙද්දි නළුවෙක් වුණා. ප්‍රතිචාර හෝ ගාලා. සමහරු ජැක්සන් ඇන්තනි කියලා හිතලා තිබුණා. සමහරු අයියා කියලා රැවටිලා තිබුණා. ලොකු සද්දයක් ගියා. මට හිතුණා පට්ටයි කියලා. නළුවෙක් වීමේ රහ වැටුණු මම ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට මාර විදියට ආදරය කරන්න පටන් ගත්තා. දෙවෙනි ඉනිම මගේ දෙවැනි ගමන වුණා. මම නළුවෙක් වුණා. ඒ දවසට, ඒ මොහොතට මම ජීවිතයේ හැමදාම ආදරෙයි. සුන්දර ඉතාලියට වඩා නළුවෙක් වීම සහ මිනිස්සුන්ගේ ආදරයේ උරුමය ලැබීම පුදුමාකාර සුන්දර ජීවන අත්දැකීමක්. එක විඳින්නම ඕනෑ ඒකෙ රසය සහ සුන්දරත්වය හදවතට දැනෙන්න. ඉතාලියේ සුදත් ලංකාවේ නළුවෙක් වුණු කතාන්දරය අන්න ඒක තමයි.
මිනිසෙක් සහ නළුවෙක්... මට කියන්න සුදත් ඇන්තනි ඒ වෙනස මොකක්ද?
මිනිසුන් හැමතැනම ඉන්නවා. ඒත් නළුවන් හැමතැනම නෑ. පිරිමින් හැමතැනම ඉන්නවා. ඒත් නළුවන් හැමතැනම නෑ. ගැහැනුන් හැමතැනම ඉන්නවා. ඒත් නිළියන් හැමතැනම නෑ. හැබැයි මිනිසුන් පිරිමින් ගැහැනු ජීවිතයේ අවසන් හුස්ම තෙක් ඕනෑ තරම් රඟපානවා. ඕනෑ තරම් භූමිකාවන් තුළ රඟපානවා. මිනිසුන් රවටමින්, මුලා කරමින්, අන්දවමින් රඟපානවා. ඒත් තවත් චරිතයක් හා ආත්මීයව බැඳෙමින්, හුස්ම ගනිමින්, කැමරාවක් ඉදිරියේ චරිතයක් ලෙස රඟපාන්න ඒ හැමෝටම බෑ. වෙනස තියෙන්නෙ එතැන. නළුවෙක් වීම මට හරිම සුන්දර හරිම ආදරණීය අත්දැකීමක්. ඒ ආදරය මොන තරම් ගැඹුරුද, සුවිසල්ද කියන එක මම දැක්කේ පොඩි අයියට ලැබෙන ආදරයෙන්. මගේ පොඩි අයියා ඒ ආදරයට ප්‍රති ආදරය දක්වන විදිහ මම දැකලා තියෙනවා. ඇත්තම කිව්වොත් මොකද කාලයක් තිස්සේ මම හිතන්නේ ඒ ආදරය ගැන පුංචි කෑදරකමක් මගේ හිතේ කොහේ හරි තැනක හැංගිලා තියෙන්න ඇති. අනේ ඇත්තටම මම මේ කියන්නෙ විශේෂයෙන් කොළඹින් පිටට යද්දි පුදුම විදිහට ප්‍රේක්ෂක ආදරයක්, ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ආදරයට වටිනාකමක් මිලක් දෙන්න මට බෑ. එච්චර අසාධාරණ මිනිහෙක්, නළුවෙක් වෙන්න මට බෑ. හුස්මක් ගාණෙ ජීවිතය දනවන්න පුළුවන් එකම හැඟීම ආදරය විතරයි. බල්ලෙක් වුණත් කන්න දෙන මනුස්සයෙකුට නකුට වනන්නේ ආදරය ගැන ඒ තිරිසන් හිතට පවා දැනෙන හැඟීම හින්දා. ආදරය තරම් සුවයක් මේ මිහිමත නෑ. ඉතින් මිනිසෙක් සහ නළුවෙක් අතර වෙනස වගේම ආදරය ලබන නළුවෙක් වීමේ වින්දනය කොයි තරම්ද කියලා මම දන්නෙ නෑ වචනවලින් කියන්න. ඉතින් මම හිතන්නෙ නළුවෙක් වෙනවනම් ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ගෞරවය ලබන නළුවෙක් වීම කියන්නේ පුදුමාකාර වාසනාවක්. මම හිතන්නේ ඒක සංසාර කුසලයක්.
ඔහ්.... ඔබ සංසාර කුසලයක් ගැන කතා කරනවා... මට කියන්න සුදත් ඔබ සංසාරය විශ්වාස කරනවද?
ජීවිතය ගැන පුදුමාකාර අධ්‍යයනයක්, පුදුමාකාර ගවේෂණයක්, පුදුමාකාර සොයා යාමක් තිබුණ මගේ පොඩි අයියා නිසා පුනර්භවය ගැන, සංසාරය ගැන මට යම් දැනීමක් අද තියෙනවා. උප්පත්තියෙන් කතෝලික භක්තිකයෙක් වුණත් පුනර්භවය සහ සංසාරය යම්තාක් දුරකට විශ්වාස කරන තැනකට, සෑහෙන දුරකට විශ්වාස කරන තැනකට මම ඇවිත් ඉන්නවා. ඒ විශ්වාසය සහේතුකයි කියන්න මට හදවතට සහ ජීවිතයට දැනෙනවා. මම විශ්වාස කරනවා හේතුවකින් වියුක්ත වූ සහ සහේතුක නොවන කිසිම දෙයක් මේ විශ්වයේ කොතැනකවත් නෑ කියන කාරණය. සියල්ල උපදින්නේ හෝ පවතින්නේ හේතුවක් මත කියන එක මම මගේ පොඩි අයියගෙන් ඉගෙන ගත්තු දෙයක්.
ලෝකයට මහා කලාවේදියෙක් වුණු ජැක්සන් ඇන්තනිගෙන්, ඔබේ ආදරණීය පොඩි අයියාගෙන් නළුවෙක් වුණු ඔබට ලැබුණු මුල්ම ප්‍රතිචාරය මතකද?
කවදාවත් ඒක මට අමතක වෙන්නෙ නැහැ. කවුරු කවදා මොන ප්‍රතිචාර දැක්වුවත් මගේ නළු ජීවිතයේ මට ලැබුණු වටිනාම ප්‍රතිචාරය ඒක. සුදත් ඇන්තනී කියන නළුවට ලැබුණු වටිනාම ප්‍රතිචාරය ඒක. මගේ පළවෙනි රංගනය බලලා මට පොඩි අයියා කිව්වා කතා කරන්න ඕනෑ දාත් එන්න කියලා. ඉතින් මම ගියා. මම ගෙට ඇතුළු වෙද්දි තත්ත්පර කිහිපයක් මගේ දිහා බලාගෙන හිටියා. ඒ බැල්ම ඇතුළෙ වචන සිය දහසක් ලියැවිලා තිබුණා. මගේ අවසන් හුස්ම තෙක් මට ඒ බැල්ම අමතක කරන්න බෑ. මගේ පොඩි අයියගෙන් ලැබුණු මුල්ම ප්‍රතිචාරය තමයි ඒ බැල්ම. මිනිස්සු කතා කරන්නේ වචනවලින් විතරක් නෙමෙයි. නිහඬතාවය තුළ, බැල්මක් තුළ තියෙන සන්නිවේදනය මට හිතෙන්නේ වචනවලින් කරන සන්නිවේදනයට වඩා හුඟක් ප්‍රබලයි. හුඟක් තියුණුයි. ඒ බැල්ම තුළ පුදුමාකාර සෙනෙහසක්, ආදරයක්, සම්මිශ්‍රණය වී තිබුණා. ආදරය, සෙනෙහස හුඟාක් දැනෙන තැන්වලදී අයියා අත මිට මොලවලා ප්‍රතිචාර දක්වන විදිහක් තියෙනවා. අම්මට හුඩු නියමයි දාතෝ කියලා එයා මට එයාගේ ප්‍රතිචාරය දැක්වුවා. මගේ චූටි මල්ලිට පොඩි කාලෙ සුදත් කියන්න බැරුව එයා මට දාත් කියලා කතා කළේ. එයා නිසා මම හැමෝටම දාත් වුණා. ආදරය දරාගන්න බැරි තරම් දැනෙන තැන්වලදී මගේ පොඩි අයියට මම දාත් දාතෝ දාතා වුණා.
නියමයි දාතෝ කීව පොඩි අයියගෙන් බැණුම් අහපු වෙලාවල් තිබුණු විත්තියත් මට දැනෙනවා?
අනේ ඔව්... ආදරණීය වෙලාවට ආදරය වගේම තමා ආදරය නිසාම තරහ යන වෙලාවට මගේ පොඩි අයියා යකෙක්. හැබැයි දන්න අය දන්නවා ඒ යකාත් හරි ආදරණීයයි. මගේ රඟපාන තැන් බලලා මට බැණපු වෙලාවල් තියෙනවා. රඟපානවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි... ඔයා ඕක සරලව ගන්න එපා... ඊට වැඩිය හැඟීම් පෙන්නපන් කියලා මට හරි ශාස්ත්‍රීය විදියට උපදෙස් දුන්න වෙලාවල් තියෙනවා. මගේ පොඩි අයියා ඇත්තටම එක කොටසක් මඟ නෑර මම නිසා දෙවෙනි ඉනිම බැලුවා.
ජීවිතේ වැඩියෙන්ම ආදරය දැනුණු තැනක් මට තියෙනවා. මම දන්නෙ නෑ මම හරිද කියලා. ඒත් මම විශ්වාස කරනවා ජීවිතේ වැඩියෙන්ම ආදරය දැනෙන එක තැනක් හැමෝටම තියෙනවා කියලා. වැඩියෙන්ම කියන්නේ වෙනස් විදියට, අමුතු විදිහට ආදරය දැනෙන තැනක් තියෙනවා. ඒ ආදරය කවදාවත් නිර්වචනය කරන්න බෑ. එහෙම ආදරය දැනුණු තැනක් ඔබටත් තියෙනවාද?
මගේ ආදරණීය බිරිඳගෙන්, දරුවන්ගෙන්, අම්මගෙන් තාත්තගෙන් ලැබුණු ආදරය කියන්නෙත් හරිම වටිනා, හරිම ගැඹුරු ආදරයක්. ඒත් මට පොඩි අයියගෙන් ලැබුණු ආදරය වෙනම කතාන්දරයක්. ඒ ආදරයට පුළුවන් වුණා මගේ ජීවිතයේ වෙනම පරිච්ඡේදයක් ලියන්න. ඉතින් ඔබ හරි... මම ඔබත් එක්ක එකඟයි. අමුතුම වෙනස් ආදරයක් ජීවිතයට දැනෙන එක තැනක් හමුවෙනවා. මට ඒ ආදරය හම්බවුණේ මගේ පොඩි අයියගෙන්. අද මම පත්තරයක සම්මුඛ සාකච්ඡාවකට සුදුස්සයෙක් වුණේ මගේ පොඩි අයියා කියලා දීපු පාරේ මම ඇවිද්ද හින්දා. මම වගේ හිතුවක්කාරයෙකුට දඩබ්බරයෙකුට නසරානියෙකුට නියම වෙච්ච පාර සහ මගේ ඉරණම මගේ පොඩි අයියා නොවෙන්න වෙන එකක් වෙන්න තිබුණා. ඉතින් ඒ ආදරය අමුතු නැද්ද? වෙනස් නැද්ද? ආදරණීය තරමටම සැර වෙච්ච ආදරයක් ජීවිතයට දැනෙනවා වැඩියි කියලා මට වෙලාවකට හිතෙනවා. පොඩි අයියා ගාව තිබුණේ එහෙම ආදරයක්. මට හිතෙනවා මම යන්න ගිය වැරදි පාර පැහැදිලිව දැකලා දුර රූපෙන් මාව දැකලා මට හරි පාර පෙන්නුවේ, මගේ ගුරුවරයා වුණේ, මගේ ගුරු ගීතය වුණේ මගේ පොඩි අයියා කියලා. මගේ ජීවිතේ හැම තීරණාත්මක තීරණයක්ම මම ගත්තෙ පොඩි අයියා එක්ක කතා කරලා. රජයේ රස්සාවක් කරපු මගේ තාත්තට අපි පස්දෙනෙක්ගෙ බර තවදුරටත් අදින්න බෑ කියලා තේරුණාම මම ජීවිතේ ගොඩදාගන්න ඉතාලි යන්න හිතලා ඒ තීරණය ඉස්සරෝම කීවේ පොඩි අයියට. එතකොට එයා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. එහේ ඉද්දිත් මට ජීවිතයේ වැරදෙන්න ගිය තැන්, මම වරද්දගන්න ගිය තැන් නිවැරදි කළේ එයා. මගේ ජීවිතේ මට මහන්සිය දැනෙන හැම මොහොතකම මම මහන්සිය නිවා ගත්තෙ එයාගේ උරහිසේ හිස තියාගෙන. ළඟ නැතත් ළඟ ඉන්නවා වගේ දැනෙන ආදරයක් ඒ. කොයි තරම් දුරක හිටියත් මට මගේ හදවතින් අදටත් එයාගේ උරහිසේ හිස තියාගන්න පුළුවන් බැඳීමක් තමයි ඒ. මගේ ජීවිතේ මට හම්බවුණු දෙවැනි තාත්තා, මගේ උපදේශකයා, මගේ ගුරුවරයා, මගේ සහෝදරයා, ඕනෑම දෙයක් විශ්වාසයෙන් බෙදාගන්න පුළුවන් වුණු මගේ ප්‍රාණසම මිත්‍රයා මගේ පොඩි අයියා.
ජීවිතයේ දරුණුම වේදනාව වින්ඳෙත් ආදරය වැඩියෙන්ම දැනුණු තැනදිමද?
පැහැදිලිවම ඔව්... මමත් කවදා හරි මැරෙයි. ඒත් ඒ අවසන් හුස්ම තෙක් කවදාවත් මගේ ජීවිතයේ මට පුරවාගන්න බැරි අඩුවක් දැනෙනවා. අදටත් හිතට හුඟක් දැනෙන ප්‍රශ්නයක් ආවම මගේ අත ඉබේටම යන්නේ දුරකථනයේ පොඩි අයියගේ නොම්මරය ළඟට. පොඩි අයියා ළඟ හැම ප්‍රශ්නයකටම උත්තරයක් තිබුණා. සමහර ප්‍රශ්නවලදි පොඩි අයියා කිව්වා ඔය ප්‍රශ්නය කාලා ඔහොමම ජීර්ණය වෙන්න ඇරපන් කියලා. ඉතින් භෞතිකව ඒ ආදරය ගිලිහිලා යද්දී, ඒ ආදරය දැනුණ පපුවටම ඒ ආදරය තරම්ම හිස්තැනක් දැනෙද්දී, ඒ මතක විතරක් මට තනි රකිද්දී, ජීවිතයේ මම දරුණුම වේදනාව වින්ඳ තැනත් එතැනම තමයි. මට මම වෙන්න ඉගැන්නුව, ආදරයේ මහා අරුත් මට කියලා දුන්න, මම කියන පුංචි පැලේ ළඟ මහා රූස්ස ගසක් වෙච්ච ඒ ආදරය මගේ ජීවිතයෙන් මම නොදන්නා දුරකට යද්දී, මම කවදාවත් දන්නෙ නෑ ඒ දැනෙන වේදනාව කොයි තරම් දරුණුද කියන එක වචනවලින් කියන්න.
ජීවිතේ කවදාවත් කරන්නම එපා කියපු දෙයක් තිබුණද? මම අහන්නෙ එයා ඔයාට?
එයා මට කිව්වෙ දාත් කවදාවත් බලමු කියන වචනය කියන්න එපා කියලා. එයා ඒක ආදරය කරපු හැමෝටම කියපු දෙයක්. වැරදිලා හරි ඒ වචනය කියවුණොත් ඒ වචනය ඉල්ලා අස්කර ගනින් කියනවා. පොඩි අයියා කිව්වෙ බලමු කියන වචනය මිනිහෙකුට අවශ්‍ය නැති වචනයක් කියලා. පොඩි අයියා කිව්වෙ බලමු කියන වචනය කියන්නේ වැඩ බැරි මිනිස්සු කියලා.
මම ආසයි හැමදාමත් මගේ ජීවිතයේ සමහර හිස්තැන් හිස්තැන් විදිහටම තියෙනවා නම්... මට කියන්න ඔබ?
හරියටම හරි. මමත් ආසයි මගේ ජීවිතයේ සමහර හිස්තැන් හිස්තැන් විදිහටම තියෙනවනම්. හිස්තැන්වලට කිසිම ආදේශකයක් නැති තැන් ජීවිතයේදී හමුවෙනවා. මගේ පොඩි අයියා ඉතුරු කරලා ගිය හිස්තැනත් එහෙමයි. මම ආසයි මගේ අවසන් හුස්ම තෙක් ඒ හිස්තැන හිස්තැනක් විදිහටම තියෙනවනම්. සදාතනිකව විශ්වාසය රකින මිනිස්සු ජීවිතයේ මුණගැහෙන්නෙ හරිම අඩුවෙන්. ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් පිරිනමන මිනිසුන් ජීවිතයේ හමුවෙන්නේ හරිම අඩුවෙන්. ඒ හිස්තැන හැමදාමත් හිස්තැනක් වෙලාම තිබුණදෙන්.
එයා සමුගත් මොහොත... ඔබ දැනගත් පළමු මොහොත?
ඒ මොහොත තරම් මම මගේ ජීවිතයෙන් සහ ආත්මයෙන් කඩා වැටුණු මොහොතක් තවත් නෑ. මම අසරණ වුණු මොහොතක් තවත් නෑ. මම තනිවුණු මොහොතක් තවත් නෑ. මට මාත් අහිමිවුණු මොහොතක් තවත් නෑ. මහා රූස්ස ගහක් කඩා වැටුණා. පුංචි පැළයක් තනි වුණා. මට දැනුණේ එහෙම. කවදා හෝ මේ ලෝකය හැර යා යුතුයි කියන එක මගේ ජීවිතේ මට පළමුවැනි වතාවට දැනුණේ එදා. මරණය කොයි තරම් කළු පාටද, සීතලද කියන එක මට දැනුණේ එදා. මම මහා කාන්තාරයක තනිවුණා වගේ හැඟීමක් මට දැනුණා.
එයා කවදාවත් කාටවත් නොකියපු එයා ඔයාට විතරක් කියපු රහස් ඔයා ගාව තියෙනවද?
එයාගේ හැට වැනි උපන්දිනේ දවසේ එයා මට කියපු දේ එයා කවදාවත් කාටවත් කිව්වේ නෑ. එයා මට කිව්වා දාත් මට ජීවත් වෙන්න තව අවුරුදු පහළොවක් තියෙයි. ඒ පහළොව ඇතුළේ මම ජීවත්වෙන ක්‍රමය තුළ මට තව අවුරුදු පහක් ලැබුණොත් ඒක මට බෝනස් එකක්. ඒ අවුරුදු 75 නැත්නම් 80 මම සැලසුම් කරන්නේ මෙන්න මෙහෙමයි. මට චිත්‍රපට ලියන්න ඕනෑ. මට චිත්‍රපට කරන්න ඕනෑ. අපි සහෝදරයෝ පස්දෙනාගේ ජීවිත කතාන්දරය මට චිත්‍රපටයකට ගේන්න ඕනෑ. මගේ ජීවිතයේ වියපත්ම කාලය මට පොත් ලියන්න ඕනෑ. පයිප්පයක් උර උර මට නිස්කාංසුවේ පොත් ලියන්න ඕනෑ. ඒවා තමයි මගේ පොඩි අයියා මට කියපු රහස්. එයාගේ සැලසුම්. ජීවිතයේ වැරදුණ තැන්, හරිගිය තැන්, දුක සතුට සියල්ල එයා මාත් එක්ක බෙදා ගත්තා. කවදාවත් පොඩි අයියයි මායි අතර රහසක් තිබුණේ නෑ. අයියා ආසයි ඉතාලියේ මගේ ගෙදර ඉන්න. එයා හුඟාක් පිටපත් ලීවේ මගේ ගෙදර ඉඳන්. මගේ දරුවන් එකතු කරගෙන නටනවා, සිංදු කියනවා, පරණ කතා කියනවා. ඒක පුදුම රස අතීතයක්. මගේ දරුවන් මගේ පොඩි අයියට කතා කළේ අප්පච්චි කියලා. ජැක්සන් ඇන්තනි කියන්නේ කවුද කියලා, එයාගෙ ගැඹුර කොයි තරම් ගැඹුරුද කියලා තේරුම් ගන්න බැරි අය අදටත් ඉන්නවා.
ඇයි එයාට එහෙම වුණේ කියලා දැනෙද්දි මොන වගේ හැඟීමක්ද හිතට එන්නෙ?
ඒක දිග කතාන්දරයක්... මම ස්වභාවධර්මය සහ ස්වභාවධර්මයේ නියමයන් විශ්වාස කරනවා. මේ ලෝකයේ බලවත්ම අධිකරණය තමන්ගේ හෘද සාක්ෂිය වග මම විශ්වාස කරනවා. ඉතින් එච්චරයි. අපි නිහඬව බලා ඉමු.
ආයේ කවදාවත් ගිහින් එන්න මිසක් ලංකාව දාලා ඉතාලියට යන්නේ නෑ කියන පොරොන්දුව ඔබ ඔබට දෙනවද?
වෙන කිසිම දෙයක් නිසා නෙවේ. මගේ පොඩි අයියට තියෙන ආදරය නිසා මම මේ පොරොන්දුව දැනටමත් මට දීලා ඉවරයි. අයියා නැතිවෙච්ච දවස්වල මාව දකිද්දි එයාව මතක් වෙනවා කියලා සමහර අය කියද්දි මට දැනුණේ කම්පනයක්. දැන් මට කවුරු එහෙම කීවත් දැනෙන්නේ පුදුම ආඩම්බරයක්. මගේ ආදරණීය බිරිඳ සහ දරුවන් මාව තේරුම් අරගෙන මට මෙහේ ඉන්න දෙන එක ඇත්තටම මම පුදුම ගෞරවයෙන් මතක් කරන්නෙ. මාව තේරුම් ගත්ත ආදරණීය බිරිඳක් මට හමුවුණා. දරුවන් හමුවුණා. ඒ වාසනාව මට අද ලංකාවෙ අයියා වෙනුවෙන් ඉන්න පුදුම ශක්තියක්. අයියා මට කියපු දෙයක් තමයි දාතෝ මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් කපන්න කපන්න ලියලන බෙල්ලක් හදාගනින් කියලා. එහෙම බෙල්ලක් හදාගත්තේ නැත්නම් මේ ක්ෂේත්‍රයේ ඉන්න බෑ කියලා. එහෙම බෙල්ලක් හදා ගනිමින් දැන් මම මගේ ගමන යමින් ඉන්නවා. එහෙම ගමනක් යන්න අවශ්‍ය නිර්මාණ දැන් මට ලැබෙමින් තියෙනවා. ඔව්... අවසන් හුස්ම තෙක් අවසන් යුතුකමත් මම මගේ පොඩි අයියා වෙනුවෙන් ඉටු කරාවි. මම තරම් එයා හඳුනන, මම තරම් එයා කියවපු කවුරුත් මේ ලෝකයේ නැහැ.