මට හැමෝම ගොඩක් ආදරෙයි-කුසල් දම්සිත්

 


කුඩා කල පටන්ම රංගනයට මෙන්ම හඬකැවීමට දක්ෂ මේ පුංචි පොඩිත්තා නමින් කුසල් දම්සිත් රාජමන්ත්‍රි. මේ දිනවල විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යය වගේම, හපනුන් අපි ගමේ රාජ්‍යයේ, පොඩි කහඳේ වැනි නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වන මේ කටකාර, දඟකාර පුංචි පොඩිත්තා මෙවර   අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


ඉතින් පුතේ කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්?


මගේ නම කුසල් දම්සිත් රාජමන්ත්‍රි මගේ වයස අවුරුදු 12යි. මගේ ගම මහරගම පමුණුව. මම පාසල් යන්නේ මහරගම  බප/ජය/ජනාධිපති විද්‍යාලයට. මගෙ පවුලේ  අම්මාත්, තාත්තාත්, අයියාත්, මමත් ජීවත් වෙනවා.


කුසල් කොහොමද රංගනයට එන්නේ?


මම පෞද්ගලික නාළිකාවක අවුරුදු හයේ ඉඳලා හඬකැවීම් සිදු කළා. මේ නිසාම දවසක් ශානි නැන්දා ITN නාළිකාවේ කෝපි කඩේ මලිත්තගේ කතාවේ ප්‍රධාන චරිතය වන මලිත්තගේ චරිතයට පණ පොවන අවස්ථාව මට ලබා දුන්නා. එතැනින් තමයි මම රඟපාන්න පටන් ගත්තේ.


මේ වන විට ඔබ දායක වූ නිර්මාණ පිළිබඳව කතා කළොත්?


මම ටෙලිනාට්‍ය වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටම රංගනයෙන් දයක වුණා. කෝපි කඩේ, පංචායුධය, පොහොය චිත්‍රපට,  ටීචර් අම්මා, දහනවය අනුව, වැනි ටෙලි නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වුණා. අ¾දුන්ගිර නිර්මාණය සඳහා මට ආරාධනා ලැබුණත් කොවිඩ් නිසා රංගනයෙන් දායක වෙන්න නොහැකි වුණා. ඒ වගේම තවමත් විකාශය නොවූ නිර්මාණ කිහිපයක්ද තිබෙනවා. මෑතකදී රූපගත කිරීම් කළ දූවිලිමල් නිර්මාණයටද මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම කෙටි චිත්‍රපට සහ ඉන්දියන් ෆෙස්ටිවල්, පොහොය චිත්‍රපට, චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ඒ වගේම මේ දිනවල විකාශය වන සැලෙනා නුවන්, පොඩි කහදේ, හපනුන් අපි ගමේ රාජ්ජේ යන නිර්මාණවලට මම රංගනයෙන් දායක වෙනවා. 


පුතාගේ රඟපෑමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මේ වන විට මාව බොහෝ පිරිසක් දන්නවා. පාරෙදි හමුවන ටෙලි නාට්‍ය බලන අයගෙන් බොහෝ පිරිසක් මාව අ¾දුනන අය ඉන්නවා. මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම මට ගොඩක් ආදරෙයි. මමත් ඒ හැමෝටම ගොඩක් ආදරෙයි. මේ දිනවල මගේ ටික්ටොක් වීඩියෝ ගොඩක් Facebook එකේ බොහොම ජනප්‍රියයි. ඒවාගෙන් ඇතැම් නිර්මාණවලට මිලියන 3කටත් වඩා වැඩි පිරිසක් සිටිනවා.


කුසල්ට රඟපාන්න පාසලේ ගුරුවරුන්ගෙන් වගේම මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


ඇත්තටම මගේ රංගන කටයුතුවලට පාසලෙන් ගොඩක් උදවු උපකාර ලැබෙනවා. පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයම මට හරිම ආදරෙයි. මගේ පාසලේ අයියලා මල්ලිලා වගේම, මගේ යාළුවොත් හරිම ආදරෙයි. මගේ යහළුවන්ගෙන් මට අතපසුවන පාඩම් ඉගෙන ගන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. දහම් පාසලේ ස්වාමීන් වහන්සේද මගේ ඉගෙනීමේ වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා.


රංගනයට අමතරව කුසල් වඩාත් කැමැති මොනවාටද?


මම රංගනයට අමතරව ගොඩක් හඬකැවීම් කටයුතු කරන කෙනෙක්. දැනට මම නාළිකා කිහිපයකම හඬකැවීම් කටයුතු කරනවා. චිත්‍රපට, කාටුන්, විදේශ රටවල නාට්‍ය වැඩසටහන් හතළිහක් පමණ හඬකැවීම් කරලා තිබෙනවා. ඒ නිසා මම රංගනයට පසුව ඩබින් කරන්න ගොඩක් කැමැතියි. ඒ වගේම මම චිත්‍ර අඳින්නත් කැමැතියි. පාසලේ විෂය බාහිර වැඩකටයුතු කරන්නත් මම බොහොම කැමැතියි. මම පිහිනන්නත් ගොඩක් කැමැතියි. නමුත් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන ලබා දිය යුතු නිසා මට පාසල් පිහිනුම් කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදු වුණා.


පුතාගේ රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


ඇත්තටම මගේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය පිළිබඳව නම් කියලා නිම කරන්න බැහැ. මගේ පවුලේ සෑම කෙනෙක්ටම මගේ රංගන කටයුතු නිසා යම් යම් කැපකිරීම් කරන්නට සිදුවෙලා තිබෙනවා. මගේ අයියා  සාමාන්‍ය පෙළ  විභාගයට මුහුණ දෙන කාලයේ මම ෂූටින් වැඩකටයුතුවලට ගෙදරින් ගොඩක් අෑතට යන්න සිදු වුණා. අයියා තනියම ගෙදර ඉඳලා විභාගයට මුහුණ දුන්නා.  මගේ ෂූටිං වැඩකටයුතු නිසා අම්මාට අයියා ගාවට යන්න වුණේ නැහැ. මගේ අයියා ගොඩක් පව්. මගේ අම්මා, තාත්තා, අයියා මගේ රංගන කටයුතු වෙනුවෙන් ලොකු කැපකිරීම් කරනවා.


පුතාට තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?


මට නිර්මාණ කිහිපයකින්ම ආරාධනා ලැබිලා තිබෙනවා. තවත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. නමුත් මට මේ නිර්මාණ සියල්ලගේම වැඩකටයුතු කරන්න අපහසුතාවක් තිබෙනවා. මගේ අධ්‍යාපන වැඩකටයුතුවලට මුල්තැන ලබාදිය යුතු නිසා ඒ නිර්මාණවලට සහභාගි වීම කෙටි කලකට නතර කළා.


පුතාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම ගොඩක් කැමැතියි අහිංසක මිනිසුන්ට උදවු කරන්න. ඒ නිසා නීතිඥ කෙනකු වන්නට බලාපොරොත්තු වෙනවා. නීතිඥවරයෙක් වෙලා අසාධාරණයට ලක්වන මිනිසුන්ට උදවු කරනවා. ඒ අතර මගේ කලා කටයුතුත් මට හැකි ආකාරයට කරගෙන යනවා.


කුසල්ට මේ ගමනේදී උදවු කළ අය කවුද?


මට වයස අවුරුදු හයේ ඉඳලා මේ දක්වා පැමිණි ගමන්මඟේදී උදවු කරපු බොහෝ දෙනෙක් සිටිනවා. ප්‍රසාදි නැන්දා, ප්‍රගීත් විජේසූරිය සර්, දිල්රුක්ෂි නැන්දා, ශානි නැන්දා, මධූ අක්කා, තනූජාවි අක්කා, කසුන් මාමා, ප්‍රභාත් මාමා, ගයාන් මහවලගේ මාමා, සුදත් තිලකසිරි මාමා, ශි්‍රයන්ත මාමා, බුද්ධික ලොකුකැටිය සර් වැනි කියූ නොකියූ සියලුම දෙනාට බොහොම ස්තුතියි. මගේ රංගන කටයුතුවලට වගේම ඩබින් වැඩකටයුතු වෙනුවෙන්ද මට බොහෝ දෙනෙක් උදවු උපකාර කළා. ඒ සෑම දෙනකුටම බොහෝම ස්තුතිවන්ත වනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post