චාමර ආයෙ එනවා ඇවිත් හිටියටත් වඩා හොඳට සින්දු කියනවා -දමිත් අසංක




ඔහු ලාංකික සංගීත ක්ෂේත්‍රයේ තම නාමකාය ඉහළින්ම සලකුණු කළ ගායකයෙකි. රසිකයන්ගේ නොමඳ ආදරයෙන් පිදුම් ලබනා මේ ආදරණීය ගායකයා මේ දිනවල තවත් ගීතයක් නිකුත් කළා. ‘අම්මා’ නම් එම ගීයෙහි පද රචනාව ලියුවේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග. අද  එක්වන්නේ ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පී දමිත් අසංක. 


ඔබේ නවතම ගීතය අම්මා ගැන කතා කරමු?


අංජන පෙරේරා මල්ලි තමයි මේ ගීතය සංගීතවත් කළේ. ඔහු තමයි මට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළේ. මට අංජන මල්ලි කිව්වා ලසිත් මාලිංග මහත්තයා දමිත් අසංක අයියා එක්ක ගීතයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා එයා ඔයාව හොයනවා කියලා. ලසිත් මාලිංග ගීත නිර්මාණය කරන්න යොමු වෙලා කියන ආරංචිය මම ඒ වෙනකොටත් දැනගෙන හිටියා. ඔහු මට ගීත කිහිපයක් එව්වා. මට ලසිත් මාලිංග එවපු ගීතවලට කැමැත්තක් ඇති වුණා. මොකද ඒ ගීත එකක්වත් ප්‍රේම ගීත නොවුණු නිසා. ඒ ගීතවල ගොඩක් කතා වුණේ සමාජ ප්‍රශ්න වගේ දේවල්.


ලසිත් මාලිංගගේ පද රචනාව පිළිබඳ ඔබේ අදහස?


මේ ගීතයේ වැදගත් දෙයක් තිබුණා. වෙන ගීතයක් අපිට ලැබුණාම අපි ඒ ගීතයේ පද එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම වෙනස් කරනවා. නමුත් මේ ගීතයේ එක පදයක්වත් වෙනස් කිරීමට වුවමනා නැති විධියට හරියටම ලියලා ලියලා තිබුණා. ඒකෙන් මට තේරුණා දරුවෙක් අම්මට තිබෙන බැඳීම මොන තරම් ප්‍රබලද කියලා. ලසිත් මාලිංග කියන්නෙ ගීත රචකයෙක් නෙවෙයිනේ, ඔහු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක්ට වුණත් අම්මා පිළිබඳ ඇති වෙන්නෙ අසීමිත ආදරයක්. අම්මා පිළිබඳව අපි හැමෝටම දැනෙන්නේ පොදු කාරණාවක්. මේ ගීතයේ පද රචනාව තුළ අම්මා කෙනෙක් ගැන කියන්න ඕනෑ සියලු දෙය අන්තර්ගත වෙනවා.


මේ ගීතය සංගීතවත් කරන්නෙ අංජන පෙරේරා. ගීතයේ සංගීතය පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?


මේ ගීතයේ තිබෙන භාවාත්මක බව නිසාම මට නිරායාසයෙන්ම තනුවක් ආවා. මම ඒ තනුව ආපු වෙලාවෙම ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා ඒක අංජනට යැව්වා. ඒ තනුව ඉතා ප්‍රබලයි. මට ඒ මොහොතෙ ගායනා කළ තරම් ප්‍රබලව ඊට පස්සෙ ගායනා කර ගන්නත් බැරි වුණා. නමුත් ෆෝන් එකකින් රෙකෝඩ් කරපු ගීතයක් අපිට රසිකයන්ට ලබා දෙන්න බැහැනේ. පසු කාලීනව මම ඒ තනුව ගොඩනඟලා රසිකයන්ට දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සෙ අංජන මල්ලි තමයි මේ ගීතය සංගීතවත් කළේ. ඔහු මට හිතා ගන්නවත් බැරි විධියෙ ආලෝකයක් මේ පද රචනාවට ලබා දීලා තිබුණා. මම හිතපු විධියටම ඔහු වැඩේ කරලා තිබුණා. එහෙම පළමු වැනි පාරම ගොඩ දාපු පුද්ගලයා තමයි අපේ අංජන මල්ලි.


මේ ගීතය අහන විට මෙන්න මේ කෑල්ල වැඩියි හෝ තව කොටසක් එක් වුණා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැහැ නේද? එහෙම නිර්මාණයක් බිහි වෙන්නෙ කලාතුරකින්. මම කියන්නෙ ඒකට හේතුව තමයි අම්මා. මේ වැඩේ එකපාරම වුණා. මම ලසිත් මාලිංගගේ වචනවලට පින් දෙනවා. නමුත් අංජන සහෝදරයා මේ ගීතය මේ විධියට නිර්මාණය නොකළා නම් මේක නිකං වචන ටිකකුයි ගායනයකුයි විතරයි. මේ ගීතය පටිගත කළේ යසස් ශ්‍රී මල්ලිගෙ ස්ටූඩියෝවේ. අපි හතර දෙනාගෙම එකතුවෙන් තමයි මේ ගීය නිර්මාණය වුණේ.


මේ ගීතය ගායනා කරන මොහොතේ අයියගේ අම්මා ගැනත් මතකයට නැඟුණාද?


මම ලෝකය පිළිබඳව අවබෝධ කරගෙන තිබෙන ආකාරයට අනුව මට අම්මව පේන්නේ තවත් අම්මා කෙනෙක් විධියට විතරමයි. මේ ගීතය මගේ අම්මා වෙනුවෙන්ම ගායනා කළා කියලා මම කියන්නෙ නැහැ. මට මේ ගීතය නිර්මාණය කරලා අහන්න ලැබුණු මොහොතේ දැනුණ එක දෙයක් තමයි මම මගේ අම්මට ගෙවන්න තිබුණු ණය ගෙවලා ඉවර කළා කියන දෙය. මට මේ ගීතයේ කිසිම අඩුපාඩුවක් මට දැනුණෙ නැහැ. ඒ නිසාම මම මේ ගීය වෙනුවෙන් දක්වපු දායකත්වයත් නිසා මම හිතනවා මම අම්මට ගෙවන්න තිබුණු ණය ඉවර කළා කියලා. එහෙමයි කියලා මම මගේ අම්මට නොසලකා ඉන්නෙ නැහැ. අම්මලා වෙනුවෙන් ලියැවුණු ගීත රාශියක් තිබෙනවා. නමුත් මේ ගීතයේ නිවීමක් තිබෙනවා. මට ඒ නිවීම තමයි අම්මට දෙන්න ඕනෑ වුණේ. අම්මලා අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන්. අම්මා දුප්පත් වෙන්න හෝ පොහොසත් වෙන්න පුළුවන්. වෙනත් ගැටලු තිබෙන්න පුළුවන්. නමුත් අපි අම්මව නිවන්න උත්සාහ කරන්න ඕනෑ. මම මගේ අම්මව නිවන්න හොඳ උත්සාහයක් ගත්තා සහ මගේ අම්මට නිවීම ලබා දුන්නා කියලා මම හිතනවා.


වර්තමානය වනවිට විවිධ බෝධිසත්වයන් බුදුවරුන් පහළ වෙලා. බුදු දහම පිළිබඳව අවබෝධයක් තිබෙන කලාකරුවෙක් විධියට ඒ පිළිබඳව මොකද හිතෙන්නේ?


බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නෙ ඉතා දුර්ලභ දෙයක්. නමුත් පසේ බුදුවරු රහත්වරු පහළ වෙනවා. මම ඔවුන්ගෙන් දකින දෙයක් තිබෙනවා. මම ඔය පුද්ගලයන් රඟපාන චරිතෙ හොයන්න ගියේ නැහැ. මම ඒ පුද්ගලයන් කියන දේවල් පිළිබඳව හොයන්න ගියෙත් නැහැ. මම බැලුවෙ ඔවුන් හෙව්වේ මොකක්ද කියන එක. ඔවුන් ඉදිරිපත් කරන තර්කවල යම් ගැඹුරක් තිබෙනවා. අපිට ශ්‍රද්ධාව තිබුණට තිබිලා තිබෙන්නෙ ශ්‍රද්ධාව නෙවෙයි වෙන එකක්. අපි කිසි වෙලාවක පුද්ගලයන් අල්ලගෙන වැඩක් නැහැ. මම මේ ළඟදී දැක්කා ඔහු උපුල් ශාන්ත සන්නස්ගලගෙ භික්ෂු පරිඡේදය පොත ගිනි තබනවා. මම පොත පුච්චන එක හොඳයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ. ඔහුගෙ තර්කය වුණේ ගිහියෙක් කොහොමද භික්ෂුන්


පිළිබඳ පොතක් ලියන්නෙ කියලා. මෙච්චර පොත් තිබෙනවා ශාසනය ගැන ලියැවුණු. ත්‍රිපිටකය, ධම්මපදය, උම්මග්ගය නොකිය වූ මිනිස්සු ගුරුවරයෙක් කියන දෙය හිස මුදුනින්ම පිළිගන්නවා. ඕවා නවත්වන්න විකෘති ස්වභාවයෙන් හැසිරෙන භික්ෂුණුත් ඉන්න ඕනෑ. අපි කාටවත් වෛර කරන්න හොඳ නැහැ. අපි ඔවුන් ගෙනෙන තර්කය මොකක්ද කියලා හිතලා බලන්න ඕනෑ. අපි ධර්මය හරි තැනින් අල්ල ගන්න ඕනෑ. ධර්මය ගැන විකෘති ලෙස දකින්න එපා ප්‍රකෘති සිහියෙන් දකින්න. ඒගොල්ලන්ගෙ චරිත ගැන හොයන්නෙ නැතිව පව් පුරව ගන්නෙ නැතිව අපේ ගමන අපි යන්න ඕනෑ.


චාමර වීරසිංහ කියන ඔබේ ආදරණීය මිත්‍රයා පිළිබඳව කල්‍යාණ මිත්‍රයෙක් විධියට මොකක්ද කියන්න තිබෙන්නෙ?


චාමර වීරසිංහ නැවතත් එනවා. ඇවිත් හිටියටත් වඩා හොඳට ඉන්නවා. ගීත ගායනා කරනවා වගේම ගීත නිර්මාණයත් කරනවා. ඒක මම මගේ දැනුමෙන් මගේ බුද්ධියෙන් මිනිසුන්ට කියන කතාවක්. නමුත් ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ දෙය ඒකාන්තයෙන්ම වෙනවා. චාමර ගෙවන්නෙ එයාගේ කරුමක් නෙමෙයි. අනුන් නිර්මාණ කරපු කරුමයක්.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


ඉස්සරහට මම නොකඩවා ප්‍රසංගවලට සහභාගි වෙනවා. මට පුළුවන් හැම මොහොතකම මම ගීතයක් නිර්මාණය කරනවා. මොකද මම අවුරුදු පනහක් හැටක් ජීවත් වුණොත් ඉදිරි කාලය විවේක සුවයෙන් ගත කරන්න හිතාගෙන ඉන්නවා. ඉපදුණු දවසෙ ඉඳන්ම ඉවරයක් නැහැ. මොනව හරි හිතනවා. මේ හිතන එක අපි නවත්වන්න ඕනෑ නේද?


මම කැමැතියි ගොවිතැන් කරන අයට උදවු කරන්න. ඒ වගේම මම ඔවුන් වෙනුවෙන් මගේ මූල්‍යමය දායකත්වය සපයන්නත් කැමැතියි. නමුත් මට ඔවුන්ගෙන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඔවුන් ඒ වැඩේ නිවැරැදිව කරනවාද කියන දෙය මම නිරීක්ෂණය කරනවා. මිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ. මම දැනුත් එහෙම බවබෝග වවනවා. මට හොඳ බීජ ලැබුණොත් මම හිටුවනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post