මම අඬනවාට ප්‍රේක්ෂකයෝ කැමැති නෑ-අමන්දා ජයරත්න



මේ දිනවල විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ සුදු මැණිකේ කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. නීල පබළු ටෙලි නාට්‍යයෙන් සහ තෝඩු ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වූ  අමන්දා ජයරත්න දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපිකාවක්ද වනවා. ඇය මෙවර අදහස් එක් කළේ මෙලෙසින්. 


කොහොමද මේ දිනවල ගෙවන ජීවිතේ?


මේ දිනවල කරගෙන යමින් සිටින වැඩකටයුතුත් කරගෙන ෂේප් එකේ ඉන්නවා.


අලුත් නිර්මාණ එහෙම භාරගත්තේ නැද්ද?


නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් ඒවායේ තිබුණු යම් යම් ගැටලු නිසා ඒ නිර්මාණ ටිකක් පස්සට දාන්න සිදු වුණා. නමුත් මේ වසරේදී  මම රංගනයෙන් දායකවන අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට නරඹන්නට හැකි වේවි.


කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම කිව්වොත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි. රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලි නාට්‍යයේ මගේ චරිතය ප්‍රේක්ෂකයන් මොන ආකාරයට භාරගනියිද කියලා කලින් තිබුණේ බියක්. නමුත් දැන් මට තේරෙනවා බාල මහලු භේදයක් නොමැතිව ප්‍රේක්ෂකයන් මගේ චරිතයට බොහොම ආදරය කරනවා කියලා. මම රංගනයේදී අඬනවාට ඇතැම් ප්‍රේක්ෂකයෝ කැමැති නැහැ. චරිතයකට වුණත් අඬනවාට අපි කැමැති නැහැ කියලා අහම්බෙන් මුණගැසෙන බොහෝ ප්‍රේක්ෂකයන් පවා මගේ ළඟට ඇවිත් පවසනවා. ඉතින් මට ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒ ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙන ආදරේට මමත් බොහොම ආදරෙයි.


සුදුමැණිකේ කොහොමද ප්‍රේක්ෂකයන්ට මේ තරම් දැනෙන චරිතයක් වුණේ?


සුදු මැණිකේ චරිතය ගොඩනැඟෙන්නේ නිවන්ත ප්‍රසාද් අධ්‍යක්ෂවරයා සහ අරුණ ජයවර්ධන නම් දක්ෂ පිටපත් රචකයා අතින්. සුදු මැණිකේ කියන චරිතයට මම රංගනයෙන් දායක වුණාට මේ චරිතය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයාගෙන් ලැබෙන සහයෝගය නිසා. මේ ටෙලි නාට්‍ය ආරම්භයේ පටන් මේ මොහොත දක්වාම සෑම චරිතයකටම අධ්‍යක්ෂවරයාගෙන් මනා සහයෝගයක් ලැබෙනවා. ඒ පිළිබඳව මේ මොහොතේ පැවැසිය යුතුමයි. මම සිතනවා චරිතය රඟදක්වන මගේ අදහස් සහ අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන අදහස් නිසා සුදු මැණිකේ කියන චරිතය ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියයි කියලා. ඒ වගේම මගේ චරිතය මේ විදිහට ජනප්‍රිය වන්න උදවු කරපු සෑම කෙනකුටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා.


ඔබ දැන් නිරූපණ ක්‍ෂේත්‍රය අතහැරලාද?


නැහැ. මම තවමත් නිරූපණ ක්‍ෂේත්‍රය අතහැරලා නැහැ. මම කරන්නේ මනාලියන්ගේ නිරූපණයන් පමණයි. ඉතින් නිරූපණ වැඩකටයුතු සහ රංගන වැඩකටයුතු සමබරව  කරගෙන යනවා.


පුංචි තිරයේ දස්කම් පාන ඔබට රිදී තිරයට ආරාධනා ලැබිලා නැද්ද?


රිදී තිරයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඒවාගේ තිබුණු පොඩි පොඩි ගැටලු කිහිපයක් නිසා ලැබුණු  අවස්ථාව මඟහැරියා. එක් නිර්මාණයක් තවම සාකච්ඡා මට්ටමේ තිබෙනවා. ඉතින් බලමු. මේ වසරේදී හෝ ලබන වසරේදී රිදී තිරයට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා.


ලැබුණු අවස්ථාව මඟහැරෙන එක නවක රංගන ශිල්පිනියක් ලෙස ඔබට පාඩුවක් නෙවෙයිද?


ඇත්තටම නවක කලාකරුවන්ට මෙහෙම අවස්ථා මඟහැර ගන්න එක හොඳ නැහැ. නමුත් මම හැමදාම හිතුවේ කවදා හෝ දවසක ෆිල්ම් එකක් කරනවා නම් මම කරන්න කැමැති විදිහේ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා කියන දේ. ඉතින් මමත් කැමැති ෆිල්ම් එකකදී වෙනස්ම චරිතයකින් එන්න.


ඔබට රංගනයේදී සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?


මගේ රංගන කටයුතුවලදී සිදුවුණු අමතක නොවන සිදුවීමක් තමයි එක් ටෙලි නාට්‍යයක අවසානයේදී මිනී පෙට්ටියක නිදාගන්නට සිදුවීම. මගේ රංගන ජීවිතයේදී දැනට ලැබුණු චැලෙන්ජ් එක සහ අමතක නොවන සිදුවීම තමයි ඒක.


ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය තේරීම පිළිබඳව  නවක රංගන ශිල්පිනියක් ලෙස ඔබ මොකද හිතන්නේ?


ජනප්‍රියම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය තේරීමේදී ප්‍රේක්ෂකයන් මනාපය පළ කරන්නේ තමන් වඩාත් කැමැතිම පුද්ගලයාට. ඉතින් සම්මාන ලැබීම පිළිබඳව  මම නම් දකින්නේ සුදුසු කෙනාට සම්මාන ලැබිය යුතුයි කියන එක.


රංගන ශිල්පිනියකට ජනප්‍රියත්වය කෙතරම් වැදගත්ද?


මම නම් දකින්නේ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ජනප්‍රිය විය යුත්තේ තමන් කරන චරිතත් එක්ක. බොහෝවිට කලාකරුවන් ප්‍රේක්ෂකයන් අතරට යන්නේ තමන් කරන චරිතය නිසා.


අමන්දා රංගනයට එන්නේ කොහොමද?


මම ගොඩක් පුංචි කාලයේදී වෙළඳදැන්වීම්වලට රංගනයෙන් දායක වුණා. නමුත් මම පසුව රංගනයෙන් අෑත් වුණා. මම නැවත රංගනයට එන්නේ මට වයස අවුරුදු 17දී. මගේ පළමුවන නිෂ්පාදකවරයා වන්නේ ලලිත් වසන්ත සර්. ලලිත් සර් තමයි මාව නැවත ෆීල්ඩ් එකට ගේන්නේ. මගේ පළමු අධ්‍යක්ෂවරයා වන්නේ ස¾දුන් අයියා. ඉතින් ඒ හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වනවා. ඒ වගේම මම මෙතෙක් වැඩ කළ සෑම නිෂ්පාදකවරුන්ට මෙන්ම අධ්‍යක්ෂවරුන්ටත් බොහොම ස්තුතිවන්ත වනවා.


ඔබේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත් කතා කළොත්?


මේ වන විට ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන් මගේ උපාධිය සම්පූර්ණ කරලා අවසන්. ඒ වගේම ඉගෙන ගත්ත දේවල්වලින් ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තිබෙනවා. නමුත් ඒ සඳහා මේ කාලය නම් සුදුසු නැහැ. කලා ක්‍ෂේත්‍රයෙන් මගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව පැවැසුවොත් මම කැමැතියි සිනමාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම හොඳ ටෙලි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වෙන්නත් අදහසක් තිබෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post