උපන් දිනය දා මනමාල හැන්දෑව සමරන කීර්ති පැස්කුවල්



හන්තාන ගීතයෙන් තම සංගීත දිවිය ඇරඹූ ඔහු නිදහස සොයා ගිය සංගීතඥයෙකි. ගිතාරුව වයමින් දස දහස් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු හෙළ සංගීත ක්ෂේත්‍රයෙහි ලයාන්විතයාය. එපමණක් නොව ඔහු උත්තරීතර මානුෂීය ගුණ දන්නා උත්තම මිනිසෙකි. අද එක් වන්නේ ප්‍රවීණ ගායක සහ සංගීතවේදී කීර්ති පැස්කුවල්.


 මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල මම මගේ සුපුරුදු වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒ වගේම නව නිර්මාණ කිහිපයකුත් සිදු කරගෙන යනවා. ඒ වගේම මගේ පන්තිවල වැඩ කටයුතුත් සිදු කරගෙන යනවා. ගායනය සහ වාදනය මගෙන් ඉගෙන ගන්නා දරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔවුන් ඔන්ලයින් ක්‍රමය හරහාත් මගේ අධ්‍යාපන ආයතනයට පැමිණිලාත් මගෙන් සංගීතය හදාරනවා. විදේශිකයන් වගේම ලාංකිකයනුත් එයට ඇතුළත්. විශේෂම දෙය තමයි මේ දිනවල මගේ මනමාල හැන්දෑව ජන්ම දිනය නිමිතිකොටගෙන පැවැත්වෙන මනමාල හැන්දෑව සංගීත ප්‍රසංගයට ලැහැස්ති වෙන එක.


මනමාල හැන්දෑව ප්‍රසංගය පිළිබඳව කතා කරමු?


ජනවාරි 28 වැනිදා නෙලුම් පොකුණ රඟහලේ හවස 6:45ට ආරම්භ වෙනවා. මගේ උපන්දිනය නිමිති කොට ගෙන තමයි මෙය පැවැත්වෙන්නේ. නමුත් මගේ උපන්දිනය තිබෙන්නේ ජනවාරි 29 වැනිදා. මේ දිනය විශේෂ දිනයක යොදා ගත යුතු නිසා තමයි ජනවාරි 28 දින මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගයේ සංගීතමය දායකත්වය සපයන්නේ මහින්ද බණ්ඩාර. ඒ වගේම කැලුම් ශ්‍රී මාල් එය කතනයෙන් ආලෝකවත් කරනවා. ඒ වගේම චන්න සහ උපුලි විජේවර්ධන කලා ආයතනයේ නර්තනයෙන් මෙම ප්‍රසංගය ඒකාලෝක වෙනවා. යුග ගායනයෙන් ධම්මිකා බණ්ඩාර, චරිතා ප්‍රියදර්ශනී, චන්ද්‍රලේඛා පෙරේරා එක් වෙනවා වගේම මගේ ආදරණීය දියණිය චාරුණි පැස්කුවෙල් එක් වෙනවා. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ කොටස් හතරකට. ඒ කොටස් හතර තුළ ආදරණීය රසිකයන්ට විවිධත්වයක් විඳින්නට ඉඩ දෙමින් තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.


ඔබ බොහෝ සේ සමාජ සුබ සාධනය වෙනුවෙන් කැප වෙන කලාකරුවෙක්. ඒ පිළිබඳව කතා කරනවා නම්?


මේ ප්‍රසංගයේ අරමුණත් සුබ සාධනය වෙනුවෙන් කැපවෙන එක. යහපත් සද් ක්‍රියාවන් ඉටු කරන්න මම ඉතා ළැදි පුද්ගලයෙක්. පසුගිය කාලය පුරා පැවැත් වූ ප්‍රසංග සියල්ලෙන්ම මම සුබ සාධන කටයුතුවලට දායකත්වය සැපැයූවා. මෙවරත් මගේ අරමුණ එයයි. ආරෝග්‍යශාලා හතරකට සී. පී. ආර්. කියන යන්ත්‍රය ලබාදීම වෙනුවෙන් තමයි මම මේ ප්‍රසංගය පවත්වන්නේ. කෙනෙක් ජීවිතයත් මරණයත් සටන් කරන අවස්ථාවක් තමයි හෘදයාබාධ කියන්නෙ. එවැනි හෘදය ආබාධ රෝගියෙක්ගේ හදිසි අවස්ථාවකදී මේ උපකරණ ඉතා වැදගත් වෙනවා. මෙයින් රෝගීන් බොහෝ ප්‍රමාණයකගේ ජීවිත අපිට බේරා ගත හැකි වෙනවා. කොළඹ, කුරුණෑගල, නුවර, අනුරාධපුර කියන ආරෝග්‍යශාලා හතරට මම මේ උපකරණ ලබා දෙනවා. මෙවැනි උපකරණයක් ලක්ෂ හැත්තෑවක් පමණ වෙනවා. මට එය ගෙන්වීම සඳහා රජයේ වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා. වෛද්‍ය දිනුක විජේගුණවර්ධන මඟ පෙන්වීම යටතේ තමයි මම මේ උපකරණය ලබාදීමට කටයුතු කරන්නෙ. මෙය අපේ රටට ඉතා අත්‍යවශ්‍යයි කියා මම සිතනවා.


සත්සර පාරමිතා වැඩසටහන ගැන කියනවා නම්?


වයලීන් දහසක් දුවා දරුවන් වෙනුවෙන් ලබාදීම තමයි සත්සර පාරමිතා වැඩසටහනේ අරමුණ වන්නේ. මම  මේ වැඩසටහන ආරම්භ කළෙත් මගේ උපන් දිනයක් නිමිතිකොට ගෙන. ඒ වසර දෙකකට කලින්. නමුත් මට එය සම්පූර්ණ කරන්න බැරි වුණා. වයලීන් 650යි මට ලබාදීමට හැකි වුණේ. පසුගිය කාලයේ රටේ සංගීත භාණ්ඩ ගෙන්වීමේ යම් කිසි වාරණයක් පැවැතුණා. නමුත් දැන් මට ඒ දෙය යළිත් ආරම්භ කරන්න පුළුවන්. මම නැවතත් මුදල් සොයා ගෙන වයස අවුරුදු 10ට අඩු දරුවන්ට වයලීන ලබාදීමේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. මෙය මම පාසල්වල සිටින විදුහල්පතිවරුන්ගේ අනුමැතිය මත තමයි ලබා දෙන්නේ. කෙසේ හෝ මගේ ප්‍රාර්ථනවා මම ඉටු කරනවා කියා මතක් කරන්න ඕන.


ඔබේ ආදරණීය දියණිය මනමාල හැන්දෑවට ගායිකාවක් ලෙස එක් වෙනවා. පියෙක් ලෙස ඔබට දැනෙන හැඟීම මොන වගේද?


මගේ තුන්වැනි දියණිය චාරුණී තමයි මාත් එක්ක මනමාල හැන්දෑවට ගී ගයන්න එක් වෙන්නේ. ඇය ලන්ඩනයෙන් ආධ්‍යාපනය ලබලා තමයි අද නීතිඥවරියක් ලෙස කටයුතු කරන්නේ. ඇයට විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න කියලා අදහසක් නැහැ. නමුත් මාත් සමඟ ප්‍රසංග වේදිකාවල ගායනය සඳහා අෑ ඉදිරියටත් එක් වේවි. නමුත් ඇයට ඉතා දක්ෂ ලෙස ගායනය කිරීමේ හැකියාවක් තිබෙනවා.


ඔබ දශක ගණනාවක් පුරා මේ ක්ෂේත්‍රයේ රැඳී සිටි කෙනෙක් ලෙස ආපස්සට හැරී බලනවිට ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


මට සමාජය වෙනුවෙන් තවත් බොහෝ දේ කිරීමේ වුවමනාව තිබෙනවා. මම මේ ඉන්නෙ අතරමැද තැනක. මට තව බොහෝ දේවල් කරන්න හැකියාව තිබෙනවා සහ අවස්ථාව තිබෙනවා. මං මගේ රටේ දරුවන් වෙනුවෙන් විශාල ලෙස කැපවෙන්න බලාපොරොත්තු වෙනවා වගේම කැපවෙමින් සිටිනවා. ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් තව තවත් බොහෝ දේ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමාජයේ පීඩා විඳින අසරණ මිනිසුන් වෙනුවෙනුත් මම බොහෝ දේ සිදු කරන්න අපේක්ෂාවෙන් සිටිනවා.


ඔබ කලාකරුවන් වෙනුවෙනුත් විශාල කැපකිරීමක් කළ කලාකරුවෙක්. ඒ පිළිබඳව මතක් කරනවා නම්?


මම 2019දී ශ්‍රී ලාංකික සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සහ නිර්මාණකරුවන්ගේ සංගමය ආරම්භ කළා. 200කට වැඩි සංගීතඥයන් පිරිසක් එහි සාමාජිකත්වය දරනවා. එහි සභාපතිත්වය දරන්නේ සරත් ද අල්විස් මහතා. ඒ වගේම මම ශ්‍රී ලංකා ගී පද රචකයන්ගේ සංගමයත් ආරම්භ කළා. නිලාර් එන්. කාසිම් මහතා තමයි එහි සභාපතිත්වය දරන්නේ. එම සංගම් දෙකෙන්ම බොහෝ සුබ සාධක කටයුතු සිදු කරනවා. මම ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කලාකරුවන්ට විශ්‍රාමික සැලැස්මක් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. ඒ වගේම මම ඔස්කා සංගමයේ සභාපතිත්වය දරනවා. එයින් ලාංකික කලාකරුවන්ට තමන්ගේ ගීතවල නිර්මාණමය අයිතිය නැත්නම් කොපිරයිට් එක ලබාදීමට කටයුතු සැලසෙනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post