දශක හයකට නො අඩු කාලයක් වේදිකාව සිනමාව, පුංචිතිරය යන ත්‍රිත්ව මාධ්‍යය ජයගත් ප්‍රවීණ රූපණවේදියා වන හේමසිරි ලියනගේ කලාකරුවා කලා ක්ෂේත්‍ර වෙනුවෙන් සිදු කරන ලැබූ සේවාව ඇගයීම සඳහා ‘හේමාවලෝකන රඟබිම ලියනගේ පුරාවෘතය’ සිනමා උළෙල හා නාට්‍ය කෘති ත්‍රිත්වය එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 16 වැනිදා පස්වරු 5.00ට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙම උළෙලට සමගාමීව හේමසිරි ලියනගේ මහතා රංගනයෙන් දායක වූ උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටය පෙරවරු 10.30ට ද ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සංසාරණ්‍යයේ දඩයක්කාරයා චිත්‍රපටය පස්වරු 1.30ට ද අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ චන්ද කින්නරී චිත්‍රපටය පස්වරු 7.00ට ද නොමිලයේ නැරඹීමට මහජනතාවට අවකාශ උදා කර ඇත. මෙදින සවස 5.00 ට හේමසිරි ලියනගේ කලාකරුවාගේ නිර්මාණ දිවිය ඇගැයීමේ උත්සවයක් තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙන අතර, එහිදී එතුමන් විසින් 60,70 දශකයේ රචනා කොට නිෂ්පාදනය කළ නාඩගම් හෙවත් සුදුඇතා ආවාට පස්සේ, චුලෝදර මහෝදර, නරියා සහ කේජු නාට්‍යවල පිටපත් කෘති ත්‍රිත්වයක් එක්වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමද සිදු කෙරේ.
කොහොමද මේ දවස්වල කලා කටයුතු එහෙම ?
විශේෂයි කියල එහෙම නෑ. ටෙලිනාට්‍ය චිත්‍රපට නම් කෙරුණේම නැති තරම්. මා වෙනුවෙන් ලබන 16 වැනිදා පවත්වන උත්සවයේදී එළිදැක්වීමට නියමිත මම රචනා කොට නිෂ්පාදනය කළ නාඩගම් හෙවත් සුදුඇතා ආවට පස්සේ (1968) චුලෝදර මහෝදර (1970) 1975 ජාතික නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍ය නිෂ්පාදනය ඇතුළු සම්මාන රැසක් හිමිකරගත් නරියා සහ කේජු නාට්‍ය පිටපත් ත්‍රිත්වය එක වෙළුමක් ලෙස එළිදක්වන්න සූදානමක් තියෙනවා. ඒවායේ වැඩකටයුතු වල මේ දවස්වල වැඩි වශයෙන් යෙදිල ඉන්නවා. මෙතෙක් කාලයකට මම මගේ නාට්‍ය පිටපත් එළිදැක්වීමක් කරල තිබුණේ නෑ.
ඔබේ සුදු ඇතා නාට්‍ය මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළ නාට්‍ය නිර්මාණයක් වුණා නොවේද?
මේක මම පාසල් නාට්‍ය තරඟයට ඉදිරිපත් කරපු නාට්‍යයක්. මෙරට දේශපාලන නාට්‍යයක් කියල ලොකු හාහූවක් ගිය නාට්‍යයක්. මගේ මේ නාට්‍යය නිසා නාට්‍ය උත්සවයත් එවක නතර කළා. මම නාට්‍ය තුළින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ. ඒකට කේන්ති ගියා. මට ලොකු ලෙඩකුත් ඇද්දා. අවුරුදු හතරක් මේ නාට්‍යය ඉදිරිපත් කරන්න තහනම් කළා. ඒ තරම් අපරාධයක් මම කරල තිබුණේ. ආණ්ඩු වෙනස් වුණාට පස්සේ මම කතා බස් කරල තහනම ඉවත් කර ගත්තා. හැබැයි මම රටේ හැමතැනම නාට්‍යය පෙන්නුවා. නාට්‍ය තරගය අවසානයේදී තමයි මගේ නාට්‍යය තහනම් කළේ. එවක අධ්‍යාපන ඇමැති ඊරියගොල්ලත් නාට්‍යය බලලා ළමයින්ටත් සුබ පතලා මටත් සුබ පතලා ගිහින් පසුවදා උදේ මට ලෙඩේ ඇද්දා.
කලා කෙත ඔබ අස්වද්දන්න පටන් ගත්තේ නාට්‍යකරුවකු ලෙසින් නොවේද?
1960 ගණන්වල නාට්‍යකරුවකු ලෙසින් තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. මම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩිපුර කළේ රඟපෑමට වඩා නාට්‍ය රචනා කරමින් නිෂ්පාදනය කිරීම. කොටින්ම කිව්වොත් නළුවන්, නිළියන් පුහුණු කරලා වේදිකාවට ගෙන ඒම. නමුත් මගේ නරියා සහ කේජු නාට්‍යයේ මමත් චරිතයක් රඟපෑවා. ඒක තමයි මගේ නාට්‍ය නිෂ්පාදනයක මම රඟපෑ මුල්ම අවස්ථාව. තෝරාගෙන සිටිය නළුවා අන්තිම දවස වනතුරුත් නොපැමිණීම නිසා මම ඒ චරිතය කළා.
නරියා සහ කේජු නාට්‍යයේ ඔබේ රංඟනය සඳහාත් සුවිශේෂී වටිනාකමක් එක්වනව නොවේද?
රාජ්‍ය නාට්‍ය උලෙළේ මගේ නාට්‍යය හොඳම නාට්‍යය හැටියට සම්මාන ලබනව වගේම ඒ නාට්‍යයේ මගේ රංගනය හොඳම නළුවා හැටියට නම් කරනවා. ඒත් මට සම්මානය නොදී නාට්‍ය තුනක රඟපාපු නළුවකුට සම්මානය දුන්නා. අපිට කලින් කියල තිබුණේ නෑ නාට්‍ය තුනක, හතරක රඟපාල තියෙන්න ඕනේ හොඳම නළුවා සම්මානය ගන්න කියලා. මට තුනක් නෑ කියලා හොඳම නළුවා සම්මානය ලැබුණේ නෑ. ඒ සම්මානය හම්බ වුණේ නාට්‍ය තුනක් රඟපාල තිබුණු ජයසේකර අපෝන්සුට.
හේමසිරි ලියනගේ කියනවා තමන් හැබිචෝල් නළුවෙක් කියලා. ඇයි ඒ?
මට නාට්‍ය නිෂ්පාදනයේ මුල ඉඳලම ආවේ කරදර. මගේ නාට්‍ය තහනම් කළා. මට ලැබෙන්න තියෙන සම්මානය තව කෙනකුට දුන්නා. මම නාට්‍යය කළා තමයි. හැබැයි මම හැබිචෝල් නාට්‍යකරුවෙක් වුණා. නරියා සහ කේජු නාට්‍යයේ පිටපත දැම්මහම සීඅයිඩී එකෙන් ආවා මාව හොයාගෙන. මගේ නාට්‍ය පෙන්වන්න බෑ කිව්වා. මම රැඟුම් පාලක මණ්ඩලයට ගිහින් කෑගහල කෑගහල අවසර ගත්තා. හැබැයි මට නාට්‍යය පෙන්වන්න දුන්නේ පොලිසිය සහ හමුදාවේ නිලධාරින්ට මුලින් නාට්‍යය පෙන්නලා පසුව නාට්‍ය තරගයට පෙන්වන්න කියලා. ඒකයි මට ආව ප්‍රශ්න. කරදර නිසාම තමයි මම මටම නමක් දාගත්තේ. මම හැබිචෝල් පොරක්, හැබිචෝල් නාට්‍යකරුවෙක් කියලා. එහෙම නාට්‍ය පෙන්නලා තමයි මම හොඳම නළුවට නිර්දේශ වුණේ. ඒත් මට සම්මානය නොදී පහළට දාලා තුනක රඟපාලා තිබුණොත් සම්මානය දෙනව කියලා වෙන කෙනකුට දුන්නේ. අදටත් මට මහා ප්‍රහේලිකාවක් මාව මේවිදියට ලුහුබැඳගෙන ආව පිල්ලිය මොකක්ද කියලා. මම නාට්‍ය දෙකතුනයි කරල තියෙන්නේ. ඒත් හැමදාම මගේ පස්සෙන් පිල්ලි ආවා.
නරියා කේජු නාට්‍යය හැරුණු විට ඔබ රඟපෑ වෙන නාට්‍යය නිර්මාණත් තිබුණාද?
මම මුලින්ම ලුම්බිණි රඟහලේ ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවේ රෝහණ බැද්දගේ මහත්මයාගේ බළල් ශාස්ත්‍රය නාට්‍යයේ. ඊට පස්සේ ජයලත් මනෝරත්නගේ මහගිරිදඹ නාට්‍යයේ. මම ඒ ඇරෙන්න අනුන්ගේ නාට්‍යයේ රඟපෑවේ නෑ. මම කොළඹ ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය නම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. කොළඹින් දුර බැහැර නිසා වෙන්න ඇති මට ඒ අවස්ථා මඟ හැරිලා ගියේ. මගේ වැඩකින් තමයි මම හැමතිස්සේම එළියට ආවේ. මනෝ මගේ මිත්‍රයා නිසා මහගිරිදඹ රඟපෑවා. මම රටේ කතාබහට ලක්ව ආන්දෝලාත්මක චරිතයක් වුණේ නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් හැටියට මිසක් රංග ශිල්පියෙක් ලෙස නොවේ.
හේමසිරි ලියනගේ නමැති කෘතහස්ත කලාකරුවා අපේ රටට කලාකරුවන් රැසක් උත්පාදනය කළ පුද්ගලයෙක් කිව්වොත් මම නිවැරැදිද?
ඔව්. එහෙම දේකුත් මම කළා තමයි. මම සුදු ඇතා නාට්‍ය කරන කොට ධර්මසිරි බණ්ඩාරනායක උසස් පෙළ කරන මගේ පාසල් ශිෂ්‍යයෙක්. ඔහු තමයි ක්ෂේත්‍රයේ ඉහළට ගිය මගේ එක් ගෝලයෙක්. ලාල් කුලරත්න, ඩග්ලස් සිරිවර්ධන, තරංග රුක්මල්වල, සෝමපාල පතිරගේ එහෙම මම කලාවට හඳුන්වා දුන් අය අතර, තවත් මගේ ගෝලයෝ කීප දෙනෙක්. පසු කාලීනව ජනක් පේ‍්‍රමලාල් මට හමුවුණ තවත් මගේ ගෝලයෙක්. විජය නන්දසිරි, දේවිකා මිහිරාණි, ශි‍්‍රයාණි පෙරේරා, ශි‍්‍රයා කළුබෝවිල, නීල් අලස්, චන්ද්‍රා කළුආරච්චි වගේ බොහෝ පිරිසක් මගේ නාට්‍යවල මුලදි රඟපෑවා. මුලින්ම විජය නන්දසිරි හාපුරා කියා සම්මාන ලබන්නේ මගේ නරියා කේජු නාට්‍යය රංගනය උදෙසා.
ඔබ අද රටේ ප්‍රවීණතම කලාකරුවන් පිරිසකගේ ගුරුවරයා වන්නේ කොහොමද?
මම හොරණ විද්‍යාරතන විද්‍යාලයේ ඉගෙනගත් ශිෂ්‍යයෙක්. ඒ වගේම මම ඒ පාසලේ පසුකාලීනව ගුරුවරයෙක් ලෙස සේවය කළා. විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරයා වුණේ මම. එතකොට මගේ පාසලේ මගේ ශිෂ්‍යයො වුණේ ඔවුන්. මොණරාගල, බිබිල ප්‍රදේශවලත් මම පාසල්වල ඉගැන්වුවා. ඒත් මට එහේ ශිෂ්‍ය පරපුරක් හදන්න බැරිවුණා. කලාව වෙනුවෙන් බිබිල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩ කරන කාලයේ මම ළමයි සමඟ ලොකු නාට්‍ය උත්සවයක් කළා. මගේ විෂය වුණේ ආර්ථික විද්‍යාව, කලාව කියන දේ මගේ පෞද්ගලික දෙයක්. ඉතින් මම ගිය ගිය තැන ළමයි එකතු කරගෙන නාට්‍යය කළා.
හේමසිරි ලියනගේ නම් වූ කෘතහස්ත කලාකරුවාගේ රංඟනයේ හැරවුම් ලක්ෂ්‍යය පුංචි තිරයේ අඹ යාළුවෝ නොවේද?
මම ඒ දේ බැහැර කරන්නේ නෑ. අඹයාළුවෝ කළ සුදත් දේවපි‍්‍රය මගේ චිත්‍රාගේ පේ‍්‍රමකතා නාට්‍යය නිර්මාණයේ රඟපෑවා සොල්දාදුවෙක්ගේ චරිතයක්. මේ නාට්‍යය කරන කාලයේ සුදත් දේවපි‍්‍රය පුංචි කොල්ලෙක්. මම ළඟට ධර්මසිරි බණ්ඩාරනායක එව්වා මේ කොල්ලට මොනවහරි චරිතයක් දෙන්න කියලා. මම සුදත්ව දැනගෙන සිටියෙත් නැති නිසා නාට්‍යය යේ තිබුණ පොඩි චරිතයක් මම ඔහුට දුන්නා. අදටත් සුදත්ට ඒ නාට්‍යයේ තිබුණු ගීත, දෙබස්, වචන හොඳට මතකයි. මාත් එක්ක නාට්‍යයේ ඉන්න අතරේ ඔහු මගෙන් මඟ හැරිලා ගිහින් රූපවාහිනියට ගියා. කාලයක් ඉන්න අතරේ දවසක් අඹ යාලුවෝ පිටපත අරන් ඔහු මා හමුවට ආවා අයියේ මෙහෙම පිටපතක් තියෙනවා අපි ටෙලි නාට්‍යයක් කරමුද කියලා. මම කිව්වා මල්ලි මම ඕවා දන්නේ නෑ මම නාට්‍ය කරන් ඉන්න පුද්ගලයෙක්. මට ඔය කැමරාවලට රඟපාලා පුරුද්දක් නෑ කියලා. කවුරුහරි අරන් කරන්න කියලා ඒ සුදත් දේවපි‍්‍රය ගේ පෙරැත්ත නිසා මම අඹයාළුවෝ රඟපෑවා. ඒ නාට්‍යයේ නිමල්ගේ තාත්තා විදියට ගල්බණ්ඩාගේ චරිතය මම හිතනවා සුදත් මට හදල දුන්නෙ ලොකු අවස්ථාවක්. මම නොදන්නවා වුණාට මම රඟපෑම දන්නා නිසා මම රඟපෑවා. සුදත් පින්තූරය ගත්තා. ඒත් මමවත් නොසිතූ ලෙස නළුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙන්න මට එළියට එන්න එය අත්වැලක් වුණා. ඒකට මම සුදත්ට ස්තූතිවන්ත වෙනවා. පසුවත් මාව සුදත් ඔහුගේ නිර්මාණ කීපයකට සම්බන්ධ කර ගත්තා.
එක්තරා අවධියක ඔබ අධ්‍යක්ෂණය කළ ශිෂ්‍යයන් පසු කලෙක ඔබව අධ්‍යක්ෂණය කළා නොවේද?
එහෙමත් වුණා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්. මගේ ශිෂ්‍යයෝ ගිය දුර ගැන මට තියෙන්නේ අප්‍රමාණ සතුටක්. මට ටෙලිවිෂන් එකට රඟපාන්න කවුරුත් කතා කළේ මම මීට කලින් රඟපාපුවා දැකල. මම නාට්‍යකරුවෙක් එකක, දෙකක විතරයි නාට්‍යවල රඟපාල තිබුණේ. මගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනයේ මම රඟපෑ චරිතයෙන්ම මම හොඳම නළුවා වෙනවා. ඒත් මට සම්මානය දෙන්නෙ නැති එක ඇත්ත. මම නාට්‍ය කීපයක රඟපෑ චරිතවල ඡායාවක් හරි දැකලා තිබුණ කෙනෙක් මේ චරිතය මේ මිනිහ හොඳට කරයි කියල විශ්වාස කරල තමයි මාව චරිතවලට ගත්තේ. ඒ ඇරෙන්න වෙන හැදුණුම්කමකට නොවෙයි.
අඹ යාළුවෝ ටෙලිනාට්‍යය කැමරාවට ඔබේ රූපය හසුවෙන්න කලින් ඔබ සිනමා කැමරාවට කලින්ම හසුවුණා නේද?
මුලින්ම චිත්‍රපටයකට දායක වුණේ ගාමිණි හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ දූදරුවෝ සිනමා පටයට සුගත් වටගෙදර තමයි චිත්‍රපටයේ පිටපත ලිව්වේ. මේ චිත්‍රපටයට මාව යෝජනා කරල තියෙන්නේ සුගත් වටගෙදර. මොකද මාව ඒ වෙන කම් කවුරුවත් චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු දැනන් හිටියේ නෑ. අසූව දශකයේ තමයි මම සිනමාවට වගේම රූපවාහිනී මාධ්‍යයටත් යොමු වන්නේ. ආමි මහත්තයා කියන චරිතය තමයි මම රඟපෑවේ. මගේ දුවලට රඟපෑවේ ශි‍්‍රයාණි අමරසේන, ශිරානි නුගේරා මගේ පුතාට සිටියේ ශ්‍රීනාත් බස්නායක. ආමි මහත්තයාගේ කැරැට්ටරය තිබුණේ මම ආමි එකෙන් විශ්‍රාම ගිහින් රාජාංගණය ප්‍රදේශයට ගොස් දරු පවුලත් එක්ක වාසය කරන ගොවිතැන් කටයුතු කරන කලිසම් අදින ඉංගී‍්‍රසි කතා කරන පුද්ගලයකුගේ චරිතයක්.
මුල්ම චිත්‍රපට රංගනයෙන්ම ඔබ සම්මානනීය චිත්‍රපට නළුවෙක් බවට පත් වුණා.
ඒකට උත්තරය මම මෙහෙම දෙන්නම්. කතාවකුත් එක්ක. අපිව ඒ කාලයේ චිත්‍රපටයක රඟපෑව කියලා කවුරුවත් දන්නෙත් නෑ. මොකද මම ප්‍රසිද්ධ වෙලා සිටියෙත් නෑ. චිත්‍රපට නළුවෙක් කියලා අපි චිත්‍රපටයේ රඟපෑවා. ගෙදරට ඇවිත් හිටියා. කාගෙවත් පස්සේ ගියෙත් නෑ. දවසක් මහ රෑ මගේ ගෙදර දොරට තට්ටු කරලා චිත්‍රපට සංස්ථාවෙන් ඇවිත් කිව්වා හෙට ජනාධිපති සම්මාන උලෙළ තියෙනවා නොවරදවාම එන්න ඔබට සම්මානයක් තියෙනව කියලා. 1986 ජනාධිපති සම්මානය මට මුලින්ම හම්බ වෙන්නේ දූ දරුවෝ චිත්‍රපටයේ ආමි මහත්තයා චරිතය වෙනුවෙන්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ උත්සවයට මමත් බස්එකේ නැගල ගිහින් සහභාගි වුණා. එහිදී මගේ නම කිව්වහම මම ගිහින් සම්මානය ගත්තා. වේදිකාවේ පුටු තියල තිබුණා. සම්මානය අරන් ඇවිත් ඒකෙ වාඩි වෙන්න තිබුණේ. මම වාඩිවුණා. දෙවැනිවරට තවත් අයෙකුට සම්මානයක් දුන්නා. එයා ඒ සම්මානය අරන් ආවහම මට කිව්වා අනිත් පුටුවට යන්න කියලා. ඊට පස්සේ තවත් අයෙක් සම්මානය අරන් ආවහම මට හිටපු තැනින් නැඟිටලා ඊළඟ පුටුවට යන්න කිව්වා. ඔහොම පුටු හතරක් පහක් එන එන කෙනාට ඉඩ දීලා මම පස්සට පස්සට ගියා. පුටුව පුටුව මාරුවෙමින් මම බැලුවා වැඩේ හරියන්නේ නෑ. මගේ යාළුවෙකුත් හිටියා මම ඇහුවා මේ මොකද මචන් වෙන්නේ කියලා. ඔහොම තමයි ඉවසන් හිටපන් කිව්වා. මම බැලුවා වැඩේ හරියන්නේ නෑ. මම සම්මානයත් අරන් නැගිටලා ඇවිත් පාරෙ බස්හෝල්ට් එකේ හිටගත්තා ගෙදර එන්න. ඒ වෙලාවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මම බස් හෝල්ට් එකේ ඉන්නවා දැකලා මොකද හේමසිරි කියල ඇහුවා. මම කිව්වා. උන්ගෙන් බේරෙන්න බෑ පුටුවෙන් පුටුව මට මාරුවෙන්න කියනවා. මම දමල ගහල ආවා ගෙදර යන්න කියලා. ක්ෂේත්‍රයේ අය අපව දන්නෙත් නෑ. අලුතින් ආපු අය ගණන්ගන්නෙත් නෑ. එහෙම ඉතිහාසයක් තමයි මට තියෙන්නේ. අර මම කලින් කිව්ව හැබිචෝල් වුණ විදිය ගැන කියන්න.
පසුකාලීනව ඔබ දෙස් විදෙස් සම්මානනීය නළුවෙක් බවට පත් වෙනවා නොවේද?
මගේ මුල්ම රංගනයෙන් මම වේදිකාවේ හොඳම නළුවා වෙලත් මට සම්මාන නැතුව යනවා. සිනමාවේ මගේ මුල්ම රංගනයට ජනාධිපති සම්මානය ලැබිලා පුටු මාරුවකට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කොහොම වෙතත් පසුකාලීනව මට සරසවිය, ජනාධිපති, ඕසී අයි සී, සුමති සම්මාන වගේම විදෙස් සම්මානනීය ඇගයුම් පවා ලැබෙනවා.
සම්මාන උලෙළවලත් ඔබට දෙයාකාරයක සැලකිලි පවා ලැබුණා?
ධර්මසිරි බණ්ඩාරනායකගේ බවදුක චිත්‍රපටයේ මගේ රංගනය උදෙසා ඕසී අයි සී සම්මානය මට ලැබුණා. හොඳම රංගනය වෙනුවෙන්. නමුත් සරසවිය සම්මාන උලෙළේ ඒ චිත්‍රපටයේ ඒ චරිතයට මට ලැබුණා කුසලතා සම්මානයක්. සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා නිර්දේශිත නාමාවලියේ මගේ රූපරාමු සමඟ හොඳම නිර්දේශිත නාමාවලිය කියනකොට සියලු පේ‍්‍රක්ෂකාගාරයේ ඇස් මගේ දෙසට යොමු වෙලා තිබුණේ. නමුත් ප්‍රකාශය වීමත් සමඟ කියවුණේ රවින්ද්‍ර රන්දෙණියගේ නම.
ඔබ මෙරට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසකගේ නිර්මාණ වෙනුවෙන් දායක වන අතරේ වැඩිමනක් ඔබේ රංග වපසරිය ඔබ විහිදා පාන්නේ අපේ රටේ පෙරළිකාර රැඩිකල් වාදී සිනමාකරුවන්ගේ සිනමා කෘති ඔස්සේ. ඒකට හේතුවක් තියෙනවද?
මම හිතන්නේ ඒක මගේ පැත්තෙන් නොවේ උත්තරයක් දිය යුත්තේ කියලා. අධ්‍යක්ෂකවරුන් පැත්තෙන් තමයි ඒකට පිළිතුරක් ලැබිය යුත්තේ කියලා. සාම්ප්‍රදායික අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගත්තේ නැති තරම්. එවක චිත්‍රපටකරුවෝ කියලා ඒකාධිකාරියක් තිබුණා. අපිව ඒවට ගැනෙන්නේම නෑ. ඒ කුලකයේ අපි නෑ. චිත්‍රපට අයිති කරගත්තු නළු නිළියෝ, අධ්‍යක්ෂකවරු හිටියා. ඒවට අපිට ඇතුළු වෙන්නත් බෑ. නමුත් පස්සේ මේ ක්ෂේත්‍රයට ආපු අධ්‍යක්ෂකවරු අර කුලකය දිහා බැලුවේ නෑ. වැඩගන්න පුළුවන් කෙනා ලවා වැඩේ ගත්තා. ඒ නිසා මාවත් තේරුණා එයාලගේ ලැයිස්තුවට. මම නිදහස්ව රඟපාන කෙනෙක්. රඟපෑම අධ්‍යයනය කර තිබෙන කෙනෙක්. රඟපෑම කියන දේ එක්තරා අන්දමක විද්‍යාවක් විදිහටත් කලාවක් විදිහටත් මම රඟපෑම දිහා බැලුවා පැත්තක ඉඳලා. එහෙමයි මම රඟපෑම දකින්නේ. ඒක දකින්න ඇති අලුත් අධ්‍යක්ෂවරු පරණ බොහෝ චිත්‍රපට ගත්තහම අපට පෙන්නේ රඟපානව නොවෙයිනේ චරිත දඟලනවා වගෙයි නේ. මම අපහාස කරනවා නොවේ කාටවත්. අපි දකින දියුණු රංගන විධි ඒ නිර්මාණවල දකින්න නෑ. බොහෝ අධ්‍යක්ෂවරු තමන්ගේ කුලකයේ අය නැටෙව්වා පමණයි වුණේ. පසුකාලීනව තරුණයෝ අතරට මේක ගියාම තමයි චිත්‍රපටවලටත්, නාට්‍යවලටත් අපට ආරාධනා ලැබුණේ.
හේමසිරි ලියනගේ රංග භූමි සොයා අධ්‍යක්ෂවරු පසුපස ගිය කෙනෙක්ද?
ඔබේ හීනයක් තිබුණද රංගන දායකත්වය වැඩි කරගන්න?
මම කවදාවත් නාට්‍යකරුවෝ , ටෙලිනාට්‍ය කරුවෝ, චිත්‍රපටකරුවෝ පස්සේ ගිහිල්ලා චරිත ඉල්ලලා නැහැ. මම කා එක්කවත් සංධානගත වෙලත් නැහැ. චරිත කවදාවත් ඉල්ලන්නෙත් නෑ. අධ්‍යක්ෂකවරු කැමති නම් මගෙන් වැඩක් ගන්න මට කතා කරන්න. ඒවායේ ගිහින් මම වැඩ කරනවා. කොටින්ම කිව්වොත් මම දන්න හඳුනන අය ළඟටවත් මම මගේ දරුවෙක්වත් අරන් ගිහින් නෑ අනේ මගේ පුතාටත් පොඩි දෙයක් දෙන්න කියලා. මගේ පුතාලා එයාලගේ දක්ෂතා අනුව ඉගෙන ගෙන එයාලට ඕන ගමන ගියා. මම දරුවෝ අරන් එක එකා පස්සේ ගියේ නෑ. දරුවන්ට කෑල්ලක් දෙන්න කියලා. මම අවුරුදු තිහ හතළිහක් තුළ රඟපාල තියෙන්නේ නිර්මාණ කීයද? මම ජොබ් එකකට රඟපෑම කරල නෑ. රඟපෑම කියන දේ ජොබ් එකක්ම නොවෙයි.
ඇත්තද මේ හේමසිරි ගණන් දන්නේ නෑ කියන්නේ?
මෙහෙමයි දැන් නළුවෝ කියනවා මම අච්චරක රඟපෑවා මෙච්චරක හිටියා කියලා. නමුත් මේ මම දන්නේ නෑ අද වෙනකම් කොච්චර ප්‍රමාණයක රඟපෑවද කියලා. මම වැඩේ කළා ගෙදර ආවා නළුවෙක්. මම කළ දේ පිළිබඳ සන්තෝෂයක් භුක්ති විඳිනවා. ඒක ඉතිහාසයේ තියේවි. මම සංඛ්‍යා ලේඛන ඉතිහාසය එකතු කරල මගේ නාට්‍යය කීයක්ද කියලවත් බලලවත් නෑ. මගේ ලොකු පුතා සෞම්‍ය තමයි මේ ටිකත් මේ එකතු කරගෙන තියෙන්නේ. කලාව කරමින් ලිය ලිය රෙකෝඩ් තියමින් කලාව කරන්න බෑ. එහෙම කලාවක් මම ළඟ නෑ. මම දන්නෙත් නෑ මගේ නිර්මාණ කොච්චරද කියලා. චිත්‍රපට ටෙලිනාට්‍යය සංඛ්‍යාත්මකව මමවත් දන්නෙ නෑ සමහර නිර්මාණ මතකයෙන් නම් වශයෙන් කියන්න පුළුවන්. මගේ වැඩ මම ම ආපසු කුරුටුගෑමේ අවශ්‍යතාවයක් නැහැ නේද?
ඔබ දෙයක් කළා කියල හිත රැඳි නිර්මාණ මොනවද?
මම ටික නේ රඟපෑවේ. ඒ ඒ මම රඟපෑ හැම චරිතයටම මම හරි හෘදයාංගමයි. සමහර විට එකක් දෙකක් නැති වෙන්න පුළුවන්. මම ජොබ් එකකට රඟපාන්නේ නෑ. හෘදයාංගමව තමයි මම රඟපාන්නේ. ඒ නිසා හැම චරිතයක්ම මට වටිනවා. ඒක මේ විදිහට කිව්වොත් මගේ ළමයින්ට වගේම මම රඟපෑ චරිතවලටත් ආදරෙයි. මගේ ළමයින්ගෙ යම් අඩුපාඩු දකිනවා. ඒත් උන් ඔක්කොම මගේ ළමයිනේ. එකිනෙකා එකිනෙකාට වෙනස්. මම කළ චරිතත් එහෙමයි. මට ෂුවර් මගෙ ළමයින්ටත් වඩා ඔය චරිත. මම ඒවට ආදරය නොකර මොනව කරන්නද? එක චරිතයකට කොටු වෙන්නේ නෑ. ඒ සියල්ල මගේ දරුවෝ. නම් වශයෙන් මට එකක් දෙකක් කියන්න පුළුවන්. අඹ යාළුවෝ - ගල් බණ්ඩා, බවදුක - ඒබරං ඔය වගේ චරිත මට වින්දනයක් දීපු චරිත. මම රඟපානව කියන්නේ විඳිමින් ඒ දේ කරනවා කියන එක. ඒක මගේ ජොබ් එක නොවේ. මම ඒ චරිතය වින්දනය කරපු හැටි තමයි ඒ නිර්මාණවල චරිතවලින් දකින්නේ. හොඳ චරිතයක් ලැබුණොත් මම මාර විදිහට වින්දනය කරනවා. මට එතනදී සල්ලි වැදගත් නෑ. සල්ලිත් මට ඕන තමයි. මම තරුවක් නොවෙයි හැබැයි මම නළුවෙක්.
ඇත්තද මේ ඔබ හොඳ චරිත ලැබුණොත් අමුතු තැනක රිහසල් කරනවා කියන්නේ?
මෙහෙමයි. මට හොඳ පිටපතක චරිතයක් ලැබුණොත් මගේ නෝනට හොරෙන් මම බාත්රූම් එකේ චරිතෙ කරලත් බලනවා. තාමත් මම එහෙම තමයි. කොහොමද මම ඒක කරන්නේ කියලා. නැත්නම් මම එළිපහලියේ එහෙම දෙයක් කළොත් මෙයාලා හිතයි මට පිස්සුද කියලා. මොනව හරි පොඩි දෙයක් අරන් තමයි රඟපාන්න යන්න ඕනේ.
චිත්‍රපටවල රඟපාන්න ගිහිල් හොඳ හොඳ පනිශ්මන්ට් එහෙමත් කන්න ඇති?
මොකද නැත්තේ මම සිරි කුලරත්නගේ නිළියකට පෙම් කළෙමි චිත්‍රපටයේ රඟපෑවා. ෂෝ එකක සල්ලි එකතු කරන කෙනෙකුගේ චරිතයක්. ජෝ. අබේවික්‍රමයන් මම මුලින්ම කතාබස් කර හඳුනාගන්නෙත් ඔය නිර්මාණයේදී . මට ඒ චිත්‍රපටයේ සල්ලි ගණන් කරන චරිතය කරන්න තිබුණේ. පාන් පෝරණුවක බිත්තියකට හේත්තු වෙලා. පෝරණුවේ රස්නයට මට ඉන්න බෑ. ඒ කාලයේ අපිව චිත්‍රපටවල කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. මම කිව්වා මෙතන ඉන්න බෑ රස්නෙයි කියලා. ඇඟට නොදැනී ඔවුන් කිව්වේ ඔහොම තමයි චිත්‍රපට ඔන්න ඔහෙ කෑ නොගහා ඉන්නව කියලා. කොහොම හරි පිට පිච්චි පිච්චි මම චරිතය කළා. ඔය වගේ නොයෙක් සිද්ධි නැතුවා නොවේ. යකෝ මුගේ ඇස් දෙක බලන හැටි විතරක් කියන දෙබස් ඛණ්ඩය ජෝ අයියා කියමින් තමයි මාත් සමඟ රංගනයට එක් වුණේ. මේ චිත්‍රපටයේ රංගනයෙන් පසු අපි සුහඳ මිතුරන් වුණා.
හේමසිරි ලියනගේ තෙවරක් භික්ෂුවක් වුණා නොවේද?
චන්න පෙරේරාගේ චිත්‍රපටයකත් මට මතක නැති ටෙලිනාට්‍යයකත් මම භික්ෂුවක් වුණා. නැවතත් මම භික්ෂුවක් වුණේ ප්‍රසන්න ජයකොඩිගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා චිත්‍රපටයේ. සිවුරක් පොරව ගත් හාමුදුරුකෙනෙක් වෙන්න නොවෙයි මට ඕනෑ කළේ. හාමුදුරුවො ඇතුලේ ඉන්න කෙනා එක්ක ගනුදෙනුවක් කරන්න තමයි මට භික්ෂුවගේ කැරැට්ටරයෙන් ඕන කළේ. රඟපාන්න දෙයක් තියෙන භික්ෂුවක් වෙන්න මම කැමතියි. හැබැයි සිවුරු දරන නිකම්ම භික්ෂුවක් වෙන්න මම කැමති නැහැ.
දිගු රංගන චාරිකාවක් තුළ අදත් නොලැබුණ චරිත තියෙනවද?
මට එහෙම කියන්න බෑ. අදටත් නොලැබුණු චරිත ඇති. හැබැයි මොකක්ද කියන්න බෑ. සමහරු නම් පොලිස්කාරයකුගේ චරිත දොස්තරගේ චරිත කරන්න කැමතියි කියනවා. මම කියන්නේ කලාව තුළ එහෙම චරිත නෑ. චරිතෙ ඇතුළෙ දෙයක් තියෙන්න ඕන. උණ බලලා නළාව තිබ්බට වැඩක් නෑ වෘත්තියට ප්‍රශ්නයක් නෑ. හැබැයි නළුවකුට ප්‍රශ්නයක්. ඒක තුළ මොකෙක් හරි ඉන්න ඕන.
හේමසිරි ලියනගේ අද වන විට තරුණ පරම්පරාව සමඟ ගනුදෙනුකරන තරුණ නළු නිළියන් සමඟ රංගනයේ නියැළෙන පුද්ගලයෙක්. මොකද හිතෙන්නේ ඔවුන් ගැන. ඒ වගේ අද තැනෙන නිර්මාණ ගැනත් මොකද හිතෙන්නේ.?
මම මේ ඉන්න හැටියට නළුවෙක් නොවේ. අපි කවුද නළුවො දිහා බැලුවහම. මම ඉන්න විදිහ යන විදිහ මේක අපි ඔය වගේ අගයන්න තරම් වටින පුද්ගලයොද කියල ප්‍රශ්නයක් තියෙනවා. සමනලී ෆොන්සේකා තමයි මගේ උත්සවයටත් මුල්වෙලා තියෙන්නේ. මගේ සෞම්‍ය පුතත් ඉන්නවා. තව කවුරු ඉන්නවද කියල නම් මම දන්නේ නෑ. ළමයි නිසා ඔවුන්ගේ වුවමනාවට මම මෙයට සහභාගි වෙනවා. මගේ ලොකු කැමැත්තක් නෑ. මම ඉන්න විදිහ දැක්කහම සමනලීට හිතුණද දන්නෙ නෑ අනේ තාත්තා පව් කියලා. එහෙම හිතුණ නිසාද දන්නේ නෑ මෙහෙම දෙයක් කරන්න හිතුවෙ.
කලාකරුවෙක් වීම පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
ඔව්. මම කලාව නිසාම තමයි මේ හැම දෙයක්ම ලැබුවේ. මගේ දරු පවුල ගොඩනැඟුනේ කලාවේ සෙවණින්.
ඔබේ රංගන දිවියේ ගුරුවරුන් කවුද?
කවුරුත්ම නෑ. ඒ ගුරුවරයා මම ම තමයි. ඇත්තෙන්ම කියනවානම් රංගනය පිළිබඳව මට ගුරුවරයෙක් නෑ. මම දහවන ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලයෙත් රඟපෑවා. ගමේ තියටර්වල. රඟපානවා කියන්නේ වෙනත් චරිතයකට යනවා කියන දේ. පොඩි කාලයේ ඉදලා මට දැනිලා තිබුණා. මම මම හැටියට පෙනී සිටින එක නෙමේ රඟපානවා කියන්නේ වෙනත් චරිතයකට යාම තමයි කියන සිතුවිල්ල මා තුළ තිබුණා. පොත පත කියවීම තුළ මම ඒ ගැන තහවුරු කර ගත්තා. මගේ මහප්පාගේ පුතෙක් හිටියා විජයසේන ලියනගේ කියලා. ඔහු නිර්මාණය කළ රන්මලී නාට්‍යයේ රඟපාමින් තමයි මම සමාජය ඉස්සරහට ආවේ. ඒකෙ ගෑනු ළමයි හය දෙනෙක් විතර රඟපෑවා. හැබැයි රන්මලී කියන තරුණ කෙල්ලගේ චරිතය රඟපෑවේ මම. ඒ නාට්‍යය ගමෙන් පිටත් පෙන්නුවා. මගේ අම්මා හැඬුවා මම මේ නාට්‍යයේ මඟුල් පෝරුවේ ඉන්නවා දැකලා. ඩේවිඩ් ධර්මකීර්ති එකවතාවක් මේ නාට්‍යය බලන්න ඇවිත් මාව දැකලා කිව්වෙ නැතැයි එහාට වෙයන් කෙල්ලේ කියලා. ඒ පාර මගේ අයියා ඔහුට කිව්වා මේ ගෑනු ළමයෙක් නොවෙයි මේ මගේ මල්ලි කියලා. මේ නාට්‍යයේ පිරිමි ළමයාට මා සමඟ රඟපෑවේ දයාපාල ජයනෙත්ති. මගේ සුදු ඇතා වේදිකා ගත වුණාට පස්සෙ තමයි මම කලාව ගැන, නාට්‍ය ගැන සොයා බලන්න පටන් ගත්තේ. ඒකට හේතුව ඒ නාට්‍ය ගැන විචාරක පේ‍්‍රක්ෂක අවධානයක් ඒ වෙන කොට යොමුවීම තුළ මාව මේ සඳහා ලොකු පෙලඹවීමක් ඇති කළා. මොකුත් නොදැන මට ලොකු ගමනක් යන්න බෑ කියලා හිතුණ නිසා තමයි මේ පිළිබඳව ස්වයංව අධ්‍යයනයක් කරන්න පෙලඹුණේ. අදටත් මම ටෙලිනාට්‍යයක්, චිත්‍රපටයක් බලන අතරේ මම බලන්නේ නළුවො රඟපාන විදිහ මිසක් ඒකෙ කතාව දෙස නොවේ. මට අවශ්‍ය කරන එකම දේ වන්නේ ඔවුන්ගේ රංඟනය විතරයි.
කොහොමද පවුලේ තොරතුරු?
මගේ බිරිය කුසුමා ලියනගේ. ඇය තමයි මගේ මේ සාර්ථක ගමනේ ශක්තිය. ඇය මගේ වගකීම් නොපිරිහෙලා ඉටු නොකරන්න මට මේ වගේ ගමනක් එන්න කොහෙත්ම ලැබෙන්නේ නෑ. මගේ දරුවන්ට හොඳින් උගන්වා මාත් සමඟ මෙතුවක් කල් මගේ සමීපතමයා වීම මට ලොකු ආඩම්බරයක්. මගේ ලොකු පුතා සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. දෙවැනි පුතා සමන් සුගන්ධ චිත්‍ර ශිල්පියෙක්. තුන්වන පුතා ආලෝක සුවන්ත එංගලන්තයේ ශල්‍ය වෛද්‍යවරයෙක්. බාල පුතා ඉන්ද්‍රචාප ලියනගේ ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා කටයුතුවල යෙදී සිටිනවා.