නොහිතපු විධියට කට්ටිය මේ චරිතයට කැමැතියි- අශාන් ධනංජය

 


නුවර අහස යට මන්දාරමේ ආරම්භ වූ ආදර කතාවක පෙම්වතා වූ ඔහුගේ රුව මේ දිනවල රූපවාහිනිය නරඹන, සමාජ මාධ්‍ය භාවිත කරන කාටත් බොහොම හුරු පුරුදුයි. රංගනයට එක් වී ගතවී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් වුවත් ඔහු මේ වන විටත් තමා සතු හැකියාව ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙන්නුම් කිරීමට සමත්ව සිටිනවා. මන්දාරම් කතාවේ අරුන් විහඟ බණ්ඩාරගේ යොවුන් වියට පණ පොවන ඔහු නමින් අශාන් ධනංජය විජේසූරිය.


මුලින්ම ඔබ ගැන තොරතුරු ටිකක් කියලා ඉමු?


මගේ නම අශාන් ධනංජය විජේසූරිය. මගේ ගම නුවර. මගේ පවුලේ අම්මයි, අප්පච්චියි, මල්ලියි, අත්තම්මයි, මායි ඉන්නේ. මම මේ වෙද්දි ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් එක් වෙලා තිබෙනවා. මේ දිනවල මම රංගනයෙන් දායක වූ මන්දාරම් කතාවේ ටෙලි නාට්‍ය විකාශය වෙනවා.


අරුන් විහඟ බණ්ඩාරට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඔව් ඇත්තටම ගොඩක් පොසිටිව් විධියේ ප්‍රතිචාර බොහෝමයක් ලැබෙනවා. නොසිතපු විධියට බොහෝ පිරිසක් ඒ චරිතයට කැමැති වෙලා තිබෙනවා මේ වෙද්දි. ඒකත් එක්කම මම මේ දිනවල රංගනය සම්බන්ධයෙන් වැඩි දුර හැදෑරීම් කරන්න පෙලඹිලා සිටිනවා.


ඔබේ හැදෑරීම් ගැනත් කතා කරමු එහෙනම්?


මම මේ වෙද්දි ධනුෂ්ක රත්නායක අයියගේ වීණාවී රංගන පාසලට සම්බන්ධ වෙලා රංගනය පිළිබඳව හැදෑරීම් කරනවා. ප්‍රසන්න මහගමගේ, ප්‍රියන්ත ලලිත් වගේ ගුරුවරු එහි ඉගැන්වීම් කටයුතු කරනවා.


වීණාවී රංගන පාසල හරහාද ඔබ රංගනයට එකතු වෙන්නේ?


මම රංගනය කියන විෂය හදාරන්න පටන් ගෙන දැනට වසර දෙකක් පමණ වෙනවා. ඒත් එක්කම වීණාවී ඇකඩමි එකට සම්බන්ධ වීමෙන් පසුව තමයි මන්දාරම් කතාවේ අරුන්ගේ චරිතය හිමිවුණේ.


රංගනයට සම්බන්ධ වීමද කුඩා කල ඔබේ සිහිනය වුණේ?


පොඩි කාලයේ ඉඳලම මේ ක්ෂේත්‍රය ගැන ආසාවක් තිබුණා. ඒක නළුවෙක් වෙන්නම තිබුණු ආසාවක් නෙවෙයි. සමස්ත ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ම තිබුණු ආසාවක්. ඒකත් එක්ක වැඩිදුර ඒ ගැන සොයා බැලීම හා අධ්‍යාපනය ලැබීම හරහා තමයි මම රංගනයට එකතු වෙන්නේ.


මන්දාරම් කතාවට පෙර ඔබේ රංගන ඇත්දැකීම් ගැනත් මතක් කරමු?


ඇත්තටම මගේ පළමු නාට්‍ය නිර්මාණය වෙන්නේ රනිල් කුලසිංහ අධ්‍යක්ෂවරයා යටතේ. ඔහුගේ භූමි කියන ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණා. නමුත් ඒ නාට්‍ය තවම විකාශය වුණේ නැහැ. ඒ වගේම මම තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයාගේ ශක්ති, එහෙමත් නැත්නම් සිඳූ දෙවන කොටසේ සි¾දුගේ චරිතයට රංගන දායකත්වය ලබා දුන්නා. ඉන් අනතුරුව තමයි මන්දාරම් කතාවේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ.


ඔබේ රංගනය සම්බන්ධයෙන් එම චරිතයේම වැඩිහිටි වියට රංගනයෙන් එක්වෙන ගයාන් වික්‍රමතිලකගේ ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම මම බලාපොත්තු වුණාටත් වඩා ගයාන් වික්‍රමතිලක අයියගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. නවකයෙක් විධියට මට එතරම් ලොකු සහයෝගයක් ඔහුගෙන් ලැබෙයි කියලා අපේක්ෂා කළේ නැහැ. මම ඔහුගේ යොවුන් වියේ චරිතයට තමයි රංගනයෙන් එක්වෙන්නේ. එතැනදී මට ඔහුගෙන් ගත යුතු බොහෝමයක් දේවල් තිබෙනවා. ගයාන් වික්‍රමතිලක අයියා සමඟින් වැඩ කරන්න බොහොම පහසුයි.


නවක රංගන ශිල්පියෙක් විධියට ඔබට ක්ෂේත්‍රය ඇතුළේ මුහුණ දෙන්න වුණු අභියෝග මොනවාද?


මම දකින දෙයක් තමයි නළුවෙක් විධියට මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්. නමුත් රැඳෙන්න අමාරුයි. රැ‍ෙ¾දන්න නම් අපි ගොඩක් දේවල් ඉගෙනගත යුතුයි. ඒ වගේම අපි අපිවම ඉම්පෘෘ කරගත යුතුයි. එහෙම නොකළොත් මේ ක්‍ෂේත්‍රයේ රැ‍ෙ¾දන්න බැහැ. කොහොමහරි රැ¾දුනත් මේ ක්ෂේත්‍රයට වැදගත් යමක් කරන්න බැහැ. ඒක නිසා සාර්ථක රංගන ශිල්පියෙක් විධියට ක්ෂේත්‍රය තුළ රැඳීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගන්න එක තමයි ලොකුම අභියෝගය.


මන්දාරම් කතාවට ප්‍රවීණයන් බොහෝමයක් එකතු වී සිටිනවා. ඔවුන්ගෙන් ලැබෙන සහාය මොන වගේද?


ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මාර විධියට වටිනවා. මගේ පවුලේ අය සමඟ සිදුවන සිදුවීම් රූගත කරද්දී, මගේ අම්මට සහ අක්කලාට රඟපාන ඒ ශිල්පිනියන් ඔවුන්ගේ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්නවා.  ඔවුන් මට අවශ්‍ය දේවල් කියලා දෙනවා. ඒ දේවල් සමඟින් ඔවුන් සමඟ රංගනය බොහොම පහසුයි. ඒ නිසාම මම අලුත් කියන බය හෝ චකිතය මට ගොඩක් වෙලාවට දැනෙන්නේ නැහැ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔවුන්ගෙන්.


ඔබට මේ වෙද්දී වෙනත් නිර්මාණවලටත් ආරාධනා ලැබිලා ඇති?


ඔව්. ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් ඒවායේ රූගත කිරීම් තවම ආරම්භ වුණේ නැහැ.


නවක ශිල්පියෙක් විධියට මේ ක්ෂේත්‍රයේ ඇතුළේ ඔබට හීන බොහෝමයක් ඇති?


මගේ බලාපොරොත්තුව රංගන ශිල්පියෙක් විධියට ඉදිරියට යන ගමන් කෙසේ හෝ මේ ක්ෂේත්‍රයට ධනාත්මක වෙනසක් කරන්න. ඒක මම කරන්නේ නළුවෙක් විධියටමද කියලා කියන්න අපහසුයි. නළුවෙක් විධියට හෝ අධ්‍යක්ෂවරයෙක් විධියට හොඳ වෙනසක් කරන්න කැමතියි.


සමාජ මාධ්‍යන් ඇතුළේ මේ දිනවල ඔබ බොහොම ජනප්‍රියයි?


ෆේස් බුක්, ටික් ටොක් වගේ ඒවට යද්දී, අපේ මන්දාරම් කතාවේ වීඩියෝ හැමතැනම ශෙයාර් වෙලා තිබෙනවා දකිද්දී බොහොම සතුටුයි. ඇත්තටම මේක මම බලාපොරොත්තු නොවුණු දෙයක්. මේ වගේ දෙයක් මම මීට කලින් අත්විඳලා නැහැ. ඇත්තටම ඒ ගැන තිබෙන්නේ ලොකු සතුටක්.


තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කියලම කතාව අවසන් කරමු?


තරුණියන්ගෙන් කියලා විශේෂයක් නැහැ. සමස්තයක් වශයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර හිමිවෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post