බොලිවුඩයේ සුපිරි තරුව කිංග් ඛාන් දැන් Expiredද?




ගෙවෙමින් පවතින 2023 වර්ෂය ලෝක සිනමාව තුළ රෝමාන්තික රජු ලෙස කිරුළු පලන් ශාරුක් ඛාන් හට ඔහුගෙන් ගිලිහෙමින් පැවැති වාසනාව නැවත වතාවක් ළඟාකර දුන් වර්ෂයක් ලෙස හැඳින්වීමට හැකියි. වසර කිහිපයක් පුරාවට ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වූ නිසා බොහෝ සිනමා විචාරකයන්ගේ මතය වූයේ ශාරුක් යුගය අවසන් වූ බවයි. නමුත් ඒ සියලු මතයන් බිඳහෙළමින් වසරේ මුල් කාර්තුවේදි ‘පතාන්’ සමඟින් අතිවිශිෂ්ට ආරම්භයක් ගත් ඔහු නැවත වරක් බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියානු සිනමාව තුළම සිටින රජු තමා බව ඔප්පු කිරීමට සමත් වූවා. පතාන්ට පසුව අතිසාර්ථක ලෙස ‘ජවාන්’ චිත්‍රපටයද සමස්ත ඉන්දියානු සිනමා කර්මාන්තයට අභියෝගයක් වෙමින් තිරගත වූ අතර එම චිත්‍රපට දෙකම බොලිවුඩය තුළ එදා මෙදා තුර වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ලැයිස්තුවට එක් වූවා. ඒ අනුව ශාරුක් ඛාන් තමා විසින්ම වසර ආරම්භයේ තැබූ වාර්තාව අභිභවා යන්නේ ජවාන් චිත්‍රපටය මඟින්  ඉන්දියානු රුපියල් කෝටි එක්දහස් දෙසීයකට ආසන්න ආදායම් උපයා ගැනීමත් සමඟයි.

පතාන් හා ජවාන්හි අතිසාර්ථකත්වය එසේ සනිටුහන් වෙද්දී මේ වන විට ප්‍රේක්ෂක අවධානය යොමුව ඇත්තේ වසර අවසානයේ පුපුරා යෑමට නියමිත ‘ඩන්කි’ චිත්‍රපටය දෙසටයි. ‘ඩන්කි’ දෙදහස් විසිතුන වසරේ නිකුත් වන ශාරුක් ඛාන්ගේ අවසන් චිත්‍රපටය වන අතර එය එළැඹෙන විසිඑක් වැනිදා නිකුත් වීමට නියමිතයි.

එසේ ගත් කල ශාරුක් ඛාන්ගේ සිනමා ගමන තුළ හමුවූ අතිසාර්ථකම වසරක් ලෙස මෙම වසර හැඳින්විය හැකි අතර අනෙක් අතට පියෙක් වශයෙන් පසුගිය වසරවල ඔහු මුහුණ දුන් බාධක සියල්ල ජය ගනිමින් තම දරුවන් වෙනුවෙන් ආඩම්බර වීමට ඉඩකඩ සැලසුණු වසරක් ලෙසද මෙම වසර හැඳින්විය හැකියි. ඒ ඔහුගේ දියණිය වූ සුහානා ඛාන්ගේ සිනමා ආගමනය සිදු වීම හේතුවෙනුයි. සුහානා ඛාන් The Archies චිත්‍රපටය හරහා මේ වන විට සිනමාට පිවිස ඇති අතර එහි ඇගේ රංගනයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ අනුව සිය දිවියේ පනස්අටවන සැතපුම් කණුව පසු කරමින් සිටින මේ සුපිරි තරුව තම දිස්නයෙන් තවත් බොහෝ කාලයක් යන තුරු ලෝකය බැබළවීමට හැකියාවක් ඇත්තකු බව මේ වන විටත් ඔප්පු කොට අවසන්.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post