මල්ලි උඹ ඕනෑ දෙයක් මගෙන් කර ගනින් කියලා එයා කීවා - රජිත හිරාන්



රජිත...''රයිඩර්'' ඔයා අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය තිරගත වුණා...?


ඔව්. රයිඩර් කියන්නේ මගේ පළමු අධ්‍යක්ෂණය වගේම පළමු තිර පිටපතයි. මෙම චිත්‍රපටය 2021 සහ 2022 වසරවල්වලදී රූගත කිරීම් කෙරැවා. ඒ නිසා මේ චිත්‍රපටය 2023 අවුරැද්දේ තිරගත කිරීම් කරන්නට ලැබීම ගොඩක් සතුටක්. ඒ වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවට ස්තූති කරනවා.



'රයිඩර්'' තිර පිටපත් රචකයත් රජිතමයි. මේ නිර්මාණයේ තේමාව ගැන සඳහන් කළොත්?


මෙම චිත්‍රපටයේ තිර පිටපත වගේම ගීතයේ පද රචනා කළෙත් මමමයි. රයිඩර් චිත්‍රපටය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වටා ගෙතුණ කතා තේමාවක්. මෙහිදී දේශපාලන වශයෙන් ඔහුට එල්ලවන බලපෑම්, වගේම සමාජ ප්‍රශ්නත් එක්ක ගැටෙන විදිහ ගැන කියවෙන කතාවක්. එක්තරා සිදුවීමක් සමඟ ඔහුව ශිෂ්‍ය තහනමකට ලක්වෙනවා. ඒ තහනම හරහා ඔහුගේ අනාගතය තීරණය වන විදිහ හා ඒ හා ගෙතුණ කතාවක් ලෙසින් රයිඩර් හඳුන්වන්න පුළුවන්. මෙය ආදරයට බර කතාවක්. ඔහුගේ පෙම්වතියක් ඉන්නවා. ඒ ආදර කතාව වගේම සිහනව, කුතුහලය, භීතිය එකතුවුණ සිනමා පටයක් ලෙසින් ''රයිඩර්'' හඳුන්වන්න පුළුවන්.


Q ''රයිඩර්'' චිත්‍රපටයේ චරිත වෙනුවෙන් රංගන ශිල්පි ශිල්පිනියන් තෝරා ගනිද්දී ඒ තෝරා ගැනීම සිදුකළේ කොහොමද?


රයිඩර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රොෂාන් රණවන තෝරාගත්තා. මේ වකවානුවේ රොෂාන් රණවන කියන්නේ ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්නා රංගන ශිල්පියෙක්. රොෂාන් සිනමා පටයේ ඉඳිද්දී පොඩි අමුතු ලස්සනක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කාලේ විජය කුමාරණතුංග ඉන්නවා වගේ මේ කාලේ රොෂාන් රණවන ඉඳිද්දී අමුතු ලස්සනක් තියෙනව කියල මට දැනෙනවා. ප්‍රේමවන්තයෙක් ලෙසින් ඔහුට ආදරය කරන ගොඩක් පිරිසක් ඉන්නවා. එයා ප්‍රියමනාප, මිනිසුන් අතරේ ප්‍රසාදය දිනාගත්ත නළුවෙක්. ඒ වගේම මේ සිනමා පටයට අනුජ් රණසිංහත් සම්බන්ධ වුණා. අනුජ් මේ දිනවල විදෙස්ගත වෙලයි ඉන්නේ. ඔහුත් ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. කාලයක් තිස්සේ පෙම්වතා ලෙසින් සිනමාවේ සිටි ප්‍රතිභාපූර්ණ කලාකරැවෙක් වුණ සනත් ගුණතිලක මහතාත් මේ නිර්මාණයට එකතු වුණා. ඔහු හරහා ඔහුට ආදරය කරන පිරිසක් ඉන්නවා. සනත් ගුණතිලක, විජය කුමාරණතුංග, ජීවන් කුමාරතුංග කියන්නේ සිනමාවේ වෙනමම වීරයෝ. ඒ වට්ටෝරැව අදටත් අපි දකින්න ආසයි. සනත් අයියගෙන් මම හැමදාම දකින්න ආසාකරන රූපයක් තිබුණා. සනත් අයියා රැවුල කපලා ඉන්නවාට වඩා මගේ චිත්‍රපටයේ ආයෙත් ඒ මම දකින්න ආසා කරන රැවුල වවපු රූපය සිනමාවට එකතු කරන්න ආස කළා. ඒ නිසා ''රයිඩර්'' චිත්‍රපටයේ වෙනස්ම රූපයකින් වෙනස්ම චරිතයක් ඔහු කරනවා. ඊට අමතරව චිලී, රයන්, සරත් කුලාංග ඇතුළු බොහෝ දක්ෂ රංගන ශිල්පි  ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා. ඒ අතරේ මමත් මෙහි චරිතයක් රඟපානවා.


Q සනත් ගුණතිලක කියන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ආධුනිකයෙක් ලෙසින් රජිත සිනමාවට සම්බන්ධ වෙද්දීත් සනත් ගුණතිලක සිනමාවේ දැවැන්තයෙක්. එවැනි කලාකරැවන් අධ්‍යක්ෂණය කිරීමට ලැබීම ගැන රජිතට හිතෙන්නේ මොකක්ද?


''සොමි බෝයිස්'' චිත්‍රපටයෙන් මම ආධුනිකයෙක් විදිහට සිනමාවට එකතු වෙද්දී සනත් අයියා සිනමාවේ දැවැන්තයෙක්. සිනමාවේ වීරයෙක්. එතැන් සිට සනත් අයියා එක්ක වරින්වර චිත්‍රපටවල රඟපාන්න ලැබුණ අත්දැකීම් තිබෙනවා. ඒ හරහා සනත් අයියට මේ චිත්‍රපටයට ආරාධනා කරද්දී ''මල්ලි උඹට ඕන දෙයක් මගෙන් කර ගනින්'' කියලා කිව්වා. ''අයියේ... මගේ ඔළුවෙ තියෙන විදිහට කොණ්ඩෙයි, රැවුලයි පොඩි කට් එකක් ගහනවා'' කියලා කිව්වා. ''උඹ මාව ගත්තට පස්සේ මම උඹට අයිතියි. උඹට ඕන විදිහට මාව වෙනස් කරගනින්.'' කියලා කිව්වා. රූගත කිරීම් පටන් අරගෙන හැමදාම උදේට මට කතා කරලා සුභ පතනවා. ඒ වගේම සැරෙන් සැරේට ''මල්ලී උඹට දැන් මේ මේ තැන් මතකද කියලා'' චිත්‍රපටයේ තැනින් තැන ගැන අහනවා. චිත්‍රපටයේ පිටපතක් තිබුණට අධ්‍යක්ෂවරයාගේ ඔළුවේ කතාව රුඳිලා තියෙනවද කියලා ඔහු හැම වෙලේම මට කතා කරලා අහනවා. ඒ වගේ බොහෝ ගුරැහරැකම් සනත් අයියා මට ලබලා දුන්නා. මගේ පළමු චිත්‍රපටය වුණ ''සොමි බෝයිස්'' චිත්‍රපටයේ එයත් එක්ක රඟපාද්දී තිබුණ බය හුව අධ්‍යක්ෂණය කරද්දීත් මගේ හිතේ තිබුණා. ලංකාවේ ඉන්නා දැවැන්තම නළුවා ඔහුයි. හැබැයි මගේ අධ්‍යක්ෂණයේදී ඔහුගෙන් මට උපරිමයෙන්ම සහයෝගය ලැබුණා.


පුංචි තිරයෙන් ''පිංපොං'' ලෙසින් රංගනයට එකතුවුණ රජිත අද සිනමා අධ්‍යක්ෂවරයෙක්. මොකද හිතෙන්නේ...?


මගේ පළමු නම ස්වර්ණවාහිනියේ යද්දී සඳහන් වෙලා තිබුණේ ''හඳුන්වාදෙන නළු රජිත හිරාන්'' කියලයි. ඒක මට අදටත් හොඳටම මතකයි. මම ඒක බලලා අසීමිත ආදරයක් වින්දා. ඒ සතුට අප්‍රමාණයි. එතැන් සිට අවුරැදු විසිතුනක් මේ කලාව ඇතුළේ මම නිර්මාණවලට දායක වුණා. ඒවාව මගේ නම ලියවුණා. ඒ කාලය තුළ චිත්‍රපට අසූවක්, ටෙලිනාට්‍ය එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක රඟපාලා තිබෙනවා. අවසානයේදී මගේ ජයග්‍රහණය කරා මම යනවා. අද මම සිනමා තිරයේ ''කතාව දෙබස්, අධ්‍යක්ෂණය රජිත හිරාන්'' කියලා ලියනවා. හැබැයි ඒ කොටස යටින් මම ''ලිට්ල් සුපර් ස්ටාර් රජිත හිරාන්'' කියලත් ලියල තිබෙනවා. අධ්‍යක්ෂවරයෙක්ට කලින් මම නළුවෙක්. චිත්‍රපට, ටෙලිනාට්‍යවල රඟපාපු, මිනිසුන්ව හිනාගස්සපු ඒ නළුවාට ගෞරවයක් විදිහට තමයි මම එහෙම සඳහන් කළේ. අවුරැදු විසි තුනක් තිස්සේ මට අත්දැකීම් ලබලා දුන්නු, සතුට, දුක එක්ක මාව ඉහළට ඔසවා තියපු ඒ මා තුළ සිටිනා නළුවාට මම ගෞරවය කළ යුතුමයි. ඉතින් ''රයිඩර්'' නරඹන්නට මම සැමටම ආරාධනා කරනවා.


I දිශානි ජයමාලි




Previous Post Next Post