ජැක්සන් සර් නැහැයි කියලා මම හිතන්නෙ නැහැ-රුවන් පෙරේරා



ඔහු මෙරට කලාව තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පියෙකි. එමෙන්ම දක්ෂකම අභිභවා ගිය ජනප්‍රියත්වයක්ද හිමි ඔහු කිහිප වතාවක්ම ඒ බව සම්මාන හරහාම ඔප්පු කොට ඇත. පාසල් වේදිකාවෙන් ආරම්භ වූ ඔහුගේ ගමන මේ වන විට සිනමාව තෙක් විහිදී තිබේ. මේ දිනවල සංසාරිනීහි වර්ණගේ චරිතය හේතුවෙන් කා අතරත් ජනප්‍රිය මේ  තරුණ සම්මානනීය රංගන ශිල්පියා නමින් රුවන් පෙරේරාය. 


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දවස්වල සංසාරිනී ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම  මේ දවස්වල වැඩිපුරම මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩ තමයි කරන්නේ. මම ජැක්සන් සර්ට දීපු රාජ භෝජනේ කෑම එකින් එක මගේ යූ ටියුබ් නාළිකාව හරහා හදලා පෙන්වනවා. ඒ නිසා ඒ වැඩවලට නිතරම ගමේ යනවා. ඊට අමතරව ජයසේකර අපෝන්සු මහත්මයාගේ වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරනවා මේ දිනවල.


සංසාරිනී හි ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මේ වෙනකම් මම ගොඩක් සම්බන්ධ වුණේ මැර චරිතවලට. ඒ නිසා මටත් සංසාරිනී චරිතය මගේ අනිත් චරිතවලට වඩා හාත්පසින් වෙනස්. ඩිංකා, කැකුලා, කොස්තා වගේ මගේ ටෙලි නාට්‍ය චරිත ගොඩක් ජනප්‍රිය වුණානේ. නමුත් සංසාරිනීහි වර්ණ කියන්නේ ඒ චරිතවලට වඩා වෙනස්. ඒකට ලැබෙන ප්‍රතිචාර අනිත් ටෙලි නාට්‍යවලටත් වඩා තිබෙනවා. මුලින් වර්ණට ඕඩියන්ස් එක එතරම් කැමැති වුණේ නැහැ. නමුත් දැන් වර්ණ නැතුව නාට්‍ය බලන්නේ නැති තරමට පත්වෙලා. පුදුම විධියට ප්‍රේක්ෂකයෝ ඒ චරිතය වැලඳ ගත්තා.


දක්ෂ චරිතාංග නළුවෙක් ලෙස එළියට එන්න වේදිකාවෙන් ලද පන්නරයත් මතක් කරමු?


වේදිකාවෙන් තමයි ආරම්භය ගත්තේ. පාසල් වේදිකාවෙන් අනතුරුව මීට අවුරුදු ගණනකට කලින් ජාතික මට්ටමින් හුණුවටයේ කතාව, දෙයියෝ සාක්කි වගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඊට පස්සේ වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉන් අනතුරුව දැන් තමයි ජයසේකර අපෝන්සු මහත්මයාගේ ඩෝං කියලා වේදිකා නාට්‍යයත් සමඟ එකතු වෙලා සිටින්නේ. වේදිකාව තමයි කලා ක්ෂේත්‍රයට එන බහුතරයකගේ පළමුවැනි පියවර. එයින් ලැබෙන පන්නරය හරහා තමයි ජාතික මට්ටමේ වැඩවලට පසුබිම නිර්මාණය වෙන්නේ. මම වේදිකා නාට්‍ය කර කර ඉඳලා ජැක්සන් ඇන්තනී සර් එක්ක දෙදහස් හයේ පමණ අබා කරන්න යනවා. එතැනදී මම ඔහුට රංගනය ඉගෙන ගන්න ආසයි කිව්වම ඔහු මාව අනෝජා වීරසිංහ මහත්මියගේ අභින රංගන පාඨමාලාවට යොමු කළා. ඒක තමයි මගේ පළමුවැනි රංගන පාසල. එතැනට එන්නත් හේතුව වුණේ වේදිකාව තමයි. මොකද වේදිකාව නිසා ඇතිවුණු ආසාව තමයි රංගනය වැඩිදුර හදාරන්න මාව යොමු කළේ.


වේදිකාවෙන් අනතුරුව ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට යොමු වුණු ආකාරය ගැනත් කතා කරමු?


මගේ පළමුවැනි ටෙලි නාට්‍ය සුරේෂ් අබේසේකර මහත්මයාගේ අසුරාවේශය. ඒකෙන් තමයි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. එතැනින් අනතුරුව මේ වෙද්දි ටෙලි නාට්‍ය පනහක පමණ වැඩ කරලා තිබෙනවා.


ප්‍රේක්ෂකයන්ගෙන් චෝදනාවක් තිබෙනවා ගුණාත්මක ටෙලි නිර්මාණ බිහිවන ප්‍රමාණය අඩුයි කියලා. මේ ගැන ඔබේ අදහස?


ඔය කතාවේ ඇත්තකුත් තිබෙනවා. මොකද අපි හොඳ වැඩක් කළොත් මිනිස්සු ඒකට එකතු වෙනවා. හොඳම උදාහරණය තමයි හාර කෝටිය ටෙලි නාට්‍ය. ඒක විකාශනය වුණේ දෙදහස් දහසය වර්ෂයේ. කෝටිපතියෝ ටෙලි නාට්‍ය විකාශය වුණේ දෙදහස් දහහත වර්ෂයේ. ඒ වුණාට අදටත් මට ඩිංකා කියලා කතා කරන පිරිසක් ඉන්නවා. ඊට පසුව හොඳම උදාහරණය නාඩගම්කාරයෝ. නාඩගම්කාරයෝ ලංකාවේ හැමෝම බැලුවා. ඒ කියන්නේ අපි හොඳ වැඩක් කළොත් ඒ වටේට මිනිස්සු එකතු වෙනවා. නාඩගම්කාරයෝ යූ ටියුබ් දැම්මම පැය ගාණකින් මිලියන එක පන්නලා වීව්ස් එනවා. ඇතැම් නාට්‍යවලට වීව්ස් විසි දාහයි, තිස් දාහයි, ලක්ෂයයි වගේ. ඕඩියන්ස් එක එවැනි නාට්‍ය බලන්නේ නැහැ කියලා ඔවුන්ට ‍ෙදාස් කියන්න බැහැ. හොඳ දෙයක් කළොත් මිනිස්සු ඒ වටා එකතු වෙනවා. ඒක අපි රඟපාපු නිර්මාණ හරහාම ඔප්පු කරලා තිබෙනවා.


ඔබේ රංගන ජීවිතය ඇතුළේ වැඩිම බලපෑමක් ඇති කළ සිදුවීම ගැන දැනගන්න කැමැතියි.


මම ඇත්තටම රඟපෑවට මම නළුවෙක් කියලා කොතැනකවත් කියපු කෙනෙක් නෙවෙයි. මම නළුවෙක් කියලා කියන්න පටන් ගත්තේ දෙදහස් දහසයේ ජැක්සන් ඇන්තනී සර්ගේ දස්කොන් ටෙලි නාට්‍ය වෙනුවෙන් රයිගම් සහ සුමති සම්මාන උළෙල දෙකේදීම නැඟී එන හොඳම නළුවා වෙනුවෙන් මට සම්මානයක් හිමි වෙනවා. එදා තමයි මම නළුවෙක් කියන එක පිළිගත්තේ. ඒක තමයි මගේ රංගන ජීවිතයට වැඩිම බලපෑමක් කළ හැරවුම් ලක්ෂ්‍යය. ඒ හරහා තමයි මට හාර කෝටිය හිමිවෙන්නේ. හාර කෝටිය නිසා මම ජනප්‍රිය නළුවා වුණා.


ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝව ඔබට බලපාලා තිබෙන්නේ කොයි විධියටද කියන කාරණයත් දැනගන්න කැමැතියි?


මම තාම හිතන්නේ නැහැ ජැක්සන් සර් නැහැ කියලා. මම එහෙම හිතන්න ගියොත් ඇත්තටම මට පිස්සු වැටෙයි. ඒ නිසා සර්ව දකින, මතක් වෙන හැම මොහොතකම සර් ඉන්නවා කියන එක තමයි හිතන්නේ. ඇත්තටම සර් හොස්පිට්ල් හිටපු දවස්වල ඉඳන් මේ වන තුරු අනිවාර්යයෙන්ම මාසෙකට දෙපාරක්වත් හීනෙන් දකිනවා. ඇත්තටම ජැක්සන් සර් කියන්නේ මගේ දෙවැනි පියා. ඔහුගේ කටින්ම කියලා තිබෙනවා මටයි මගේ නෝනටයි දාව නොඉපදුණාට මාත් ඔහුගේ දරුවෙක් කියලා. ඔහුගේ අහිමි වීම, ඒ පාඩුව, ඒ දුක කියන්න වචන නැහැ.


දක්ෂ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්  වෙන්න පුහුණුවක් අවශ්‍යමද?


අනිවාර්යයෙන්ම, රංගන පුහුණු වැඩමුළු සඳහා සහභාගි විය යුතුමයි. හිතේ මොන තරම් උනන්දුව තිබුණත්, කොතරම් ලස්සන, උස මහත වුණත්, කොතරම් සල්ලි තිබුණත් වැඩක් නැහැ රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්නේ නැත්තම්. මොනයම් හෝ ක්‍රමයකින් ක්ෂේත්‍රයට එන්න පුළුවන් නමුත් රැඳෙන්න අමාරුයි. ඇතැම් අයට දෙබස මතකයි රඟපාන්න දන්නේ නැහැ. රංගනය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. අපිත් රංගන පුහුණු වැඩමුළු පවත්වනවා. රංගන පුහුණු වැඩමුළුවලට සහභාගි වුණාම රඟපාන්න පමණක් නෙවෙයි. අපි කොහොමද ක්ෂේත්‍රයේ වැඩිහිටියන්ට ගරු කරන්නේ, තැනකට ගිහින් ඉන්නේ කොහොමද, ෂූටිං එකකට ගියාම විනය පවත්වා ගන්නේ කොහොමද, මේ සියල්ල රංගනයට අදාළයි. දෙබස් කියන එක පමණක් නෙවෙයි රංගනය.


මේ දවස්වල ඔබේ යූ ටියුබ් නාළිකාව හරි ජනප්‍රියයි නේද?


ඇත්තටම මගේ නාළිකාව මාසයක් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත ඒක සබ්ක්‍රයිබස්ලා විසි පන්දහස පසු කළා. ප්‍රේක්ෂකයෝ මගේ නාළිකාව වටා පුදුම විධියට එකතු වෙලා තිබෙනවා. මගේ නාළිකාව හරහා තේරුණු දෙයක් තමයි ඔවුන් සරලකමට, අපේ දේවල්වලට, ගැමි කමට බොහොම කැමැතියි. අපි සරල වෙද්දි තමයි ජීවත් වෙන්න ලේසි. නාළිකාව හරහා කෑමක් හදන විධිය පෙන්නුවත් ඩ්‍රාමා ගතියකින් තමයි ඒක පෙන්වන්නේ. ඉතින් බොහොම සතුටුයි. අපේ ගමේ ලස්සන දකිද්දි සමහරු කමෙන්ට් කරලා තිබෙනවා මම මේ ඉන්නේ දිව්‍ය ලෝකෙකද කියලත්.


ඉදිරියේදී විකාශය වෙන්න, තිරගත වෙන්න  තිබෙන නිර්මාණ ගැනත් මතක් කරමු?


ඉදිරියේදී ජැක්සන් ඇන්තනී සර්ගේ එකගෙයි සොකරි චිත්‍රපටය තිරගත වෙන්න තිබෙනවා. ඊට අමතරව ජෙන්ට්ල්මන් ලව්, ඒ කියන්නේ පිරිමි ආදරයක් කියන එරංග සේනාරත්න මහත්මයාගේ චිත්‍රපටයක් එන්න නියමිතයි. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් ඉදිරියේදි විකාශය වෙන්න තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post