දරුවො පරාජය කරන්න අපිට බෑ-උරේෂා රවිහාරි



කුඩා කාලයේදීම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන මේ දක්ෂ ගායිකාව නමින් උරේෂා රවිහාරි. ළමා ගීත ගායනය තුළින් ඇරඹෙන ඇගේ සංගීත ජීවිතය මේ වන විට විවිධ පරාසයේ ගීත ගායනයන් දක්වා යොමුවී තිබෙනවා. සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ ගායිකාවක්, ගායකයෙක් වන්නට සිහින දකින පුංචි දරුවන්ට මඟ පෙන්වන මේ දක්ෂ ගායිකාව මෙවර ‘හදගැස්ම’ සමඟින් අදහස් බෙදා ගත්තේ මෙලෙසින්.


මේ දිනවල වැඩකටයුතු කොහොමද?


voice kids එකේ වැඩකටයුතුත් එක්ක මේ දිනවල ටිකක් කාර්යබහුලයි.


අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් නැද්ද?


ඇත්තටම කරපු අලුත් ගීතයක් තිබෙනවා. ඒකට මියුසික් වීඩියෝ එකක් කරන්න ප්ලෑන් කරගෙන යනවා. ඊට අමතරව තවත් අලුත් නිර්මාණයක් කරන්න අදහසක් තිබෙනවා. ඒ ගීතයේ පදමාලාව දැනට ලැබිලයි තිබෙන්නේ. ඒ ගීතයේ මූලික වැඩකටයුතු මේ දිනවල කරගෙන යනවා.


වසර අටකට පසුව කළ නිර්මාණයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?


හිතුවටත් වැඩිය ගොඩක් හොඳ ප්‍රතිචාර ඒ ගීතයට ලැබුණා. මොකද මගේ අලුත් ගීතයක් කළේ අවුරුදු අටකට විතර පස්සේ. “දුටුව මුත්” කියන ගීතයට පස්සේ තමයි “ඔබ කොතැනද” ගීතය නිකුත් වුණේ. මේ ගීතය නොබලපු කෙනෙක් නැති තරම්. තවමත් මට මේ ගීතයට ප්‍රතිචාර ලැබෙනවා. ගීතයක් සොයමින් සිටිය කාලයේදී තමයි මට ඒ ගීතය ලැබුණේ. උදාර සමරවීර  සංගීත අධ්‍යක්ෂවරයාට මම කියල තිබුණා අලුත් පද මාලාවක් ලැබුණොත් මට කියන්න කියලා. මට එයත් එක්ක ගීතයක් කිරීමේ අවශ්‍යතාවකුත් තිබුණා. දවසක් මට උදාර මල්ලී කිව්වා අක්කේ මම ගීතයක් එව්වා පොඩ්ඩක් බලන්න කියලා. මට ටිකක් වෙනස් ගීතයක්  ගායනා කරන්න වුවමනාවක් තිබුණා. අපි වැඩිපුර ගායනා කරන්නේ ආදර ගීත සහ විරහ ගීතනේ. ඉතිං ඒ ගීතය දැක්ක ගමන් මට කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ මම උදාරට මල්ලීට කිව්වා මේ ගීතයට මෙලඩියක් දාලා මට එවන්න කියලා. ඒ මෙලඩිය ඇහුවාට පස්සේ මම ගොඩක් ඒ ගීතයට ආස වෙලා  පොඩි ගයිඩ් එකක් කරමු කියලා හිතලා මම ඒ ගීතය ගායනා කළා. ඒත් මේ ගීතය මාස කිහිපයක් ඇදි ඇදී තිබුණා. පස්සේ ශාරුක දුශ්‍යන්ත මල්ලී එක්ක මේ ගීතයට මියුසික් වීඩියෝ එක කළා. ඒ නිසා හොඳ රූප රචනයකුත් මේ ගීතයට ලැබුණා. මේ හැමදේම නිසා ගීතය ජනප්‍රිය වුණා කියලා මම හිතනවා.


අද කාලයේ ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනය අවශ්‍යමද?


මමත් කාලයක් කිව්වා ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනයක් අවශ්‍ය නැහැ කියලා. ගායක ගායිකාවගේ හඬ සහ මෙලඩිය ලස්සන නම්  රූප රචනයක් අවශ්‍ය නැහැ කියලා මමත් පෞද්ගලිකවම කිහිප අවස්ථාවකදීම කියලා තිබෙනවා. නමුත් අද කාලය ගොඩක් වෙනස්. මිනිස්සු ගොඩක් කාර්යබහුලයි. ඒ නිසා ගීත අසන ප්‍රමාණයට වඩා යූ-ටියුබ් එකට ගිහිල්ලා ගීත බලන ප්‍රමාණය තමයි වැඩි වෙලා තිබෙන්නේ. ඒ නිසා අපට ගීතයක් සමාජගත කරන්න නම්  වීඩියෝ එකක් කරලා යූ-ටියුබ් එකේ දාන්න සිදුවෙලා තිබෙනවා. මොකද යූ-ටියුබ් තමා අද කාලේ වැඩිපුරම භාවිත වෙන්නේ. ඒ නිසා මේ කාලේ ගීතයක් සමාජගත කරන්න නම් රූප රචනයක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඇතැම් හොඳ ගීත තිබෙනවා එතරම් සමාජගත නොවුණ.


කොහොමද ඔබ හැමදාම එකවගේ ජනප්‍රියත්වයක ඉන්නේ?


මම ගොඩක් මහන්සි වෙලා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ආපු කෙනෙක්. මම පොඩි කාලෙදි මගේ තාත්තා මාව ගොඩක් ඉදිරියට අරගෙන ආවා. මගේ තාත්තත් මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා මම අවුරුදු අටේදීයි ගීත ගායනා කරන්න පටන් ගන්නේ. මගේ තාත්තා මට දුන්න තල්ලුවත් එක්ක මම එතැනින් නවතින්නේ නැතිව ඉදිරියට ඇවිත්, මම කැප වෙලා, මහන්සි වෙලා, උත්සාහ කරලා  තමයි මම මගේ ගමන මේ යන්නේ. මම ක්ෂේත්‍රයේ එක් තැනකින් නැවතුණා නම් රසිකයන්ට අමතක වෙලා යන්න තිබුණා. නමුත් එහෙම බැහැ. අපේ අලුත් නිර්මාණ රසික රසිකාවියන් අතරට ගෙනියන්න උත්සාහ කරන්න අවශ්‍යයි. අපේ පුහුණුවීම් කවදාවත් නැති කරගන්න බැහැ. අපේ හඬ පවත්වාගෙන යන්න හඬ පුහුණුවීම් කිරීම වැදගත්. ඒ වගේම සංදර්ශනවලට සහභාගී වීමත් කළ යුතුයි. අපි කරන නිර්මාණ ඇතුළේ අපේ ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කරගන්න ඕනේ. මේ වෘත්තියක කරන්න බලාපොරොත්තු වන තෙක් අපේ උනන්දුව, කැපවීම අවශ්‍යයි කියන තැන මම හිටියා.  ඒකට මම ගොඩක් වැඩ කරනවා, මහන්සි වෙනවා.


කලා ක්ෂේත්‍රයේ රැ‍ෙ¾දන්නට කලාකරුවකුගේ පෞරුෂය කෙතරම් දුරට බලපානවාද?


මම හිතන්නේ කලාකරුවකුට කලා ක්ෂේත්‍රයේ රැ‍ෙ¾දන්න ඒක තමයි සියයට අනූවක්ම  බලපාන්නේ.  හොඳ ප්‍රතිරූපයක් හෝ නරක ප්‍රතිරූපයකින් කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් නරක ප්‍රතිරූපයක් මවා ගන්න කෙනකුට වැඩි කාලයක් ජනප්‍රියත්වයේ රැඳී ඉන්න බැහැ. අපි ඇති කරගන්න ප්‍රතිරූපයත් එක්ක අපි වටා පිරිසක් එක් වෙනවා. ඒ අපිව අනුකරණය කරන, අපිව බලන් ඉන්න පිරිසට දිය යුත්තේ හොඳ ආදර්ශයක්. කලාකාරිනියක් ලෙස මගේ ජීවිතයේ මම ජීවත් වුණ ක්‍රමයක් තිබුණා. මගේ ජීවිතයේ මම දාගත්ත සීමා හා ප්‍රතිපත්ති තිබෙනවා. ඒ නිසා මට ගොඩනැඟුණු ගෞරවාන්විත ප්‍රතිරූපයක් සමාජය ඇතුළේ මට තිබෙනවා. ඒකට මම හරි කැමැතියි. මම විශ්වාස කරනවා කාන්තාවක් ලෙස මොන ක්ෂේත්‍රයේ හිටියත්  තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ඉදිරියට ගියොත් තමයි සමාජයෙන් ලැබෙන ගෞරවය, ආදරය ලැබෙන්නේ කියලා. 


voice kids තරගයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්න ලැබීම මොනවගේ අත්දැකීමක්ද?


voice kids තරගයේ කෝච් කෙනෙක් ලෙස කටයුතු කරන්න ලැබීමම භාග්‍යයක් ලෙසයි මම  හිතන්නේ. වොයිස් කියන ජධදජඥපබඥ එකේම කෝච් කෙනෙක් වෙන්න ලැබීමම භාග්‍යයක්. මේක මගේ සංගීත ජීවිතයේ එක්තරා කඩඉමක්. මමත් දරුවෙක් ලෙසයි මේ ක්ෂේත්‍රයට එකතු වුණේ. ඒ බොහොම පොඩි කාලයේදී. මට ලැබුණ අත්දැකීම් මේ දරුවොත් එක්ක ඵඩචපඥ කරගන්න ලැබෙන හොඳ අවස්ථාවක් මේක. ඒ දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවන් ඉදිරියට ගෙනියන්න අපට ලැබෙන හොඳ අවස්ථාවක් voice kids කියන්නේ. මේ නිසා ලංකාවේ කොච්චර දක්ෂ දරුවෝ ඉන්නවාද කියලා දැනගන්න ලැබීමත් සතුටක්. මේ වැඩසටහන ඇතුළේ කෝච් කෙනෙක් වෙන්න ලැබීමම සතුටක්.


voice kids තරගයේ අඬන දරුවන් සනසවන්නේ උරේෂා රවිහාරිද?


දරුවෙක්ව පරාජය කරන්න අපට බැහැ. ඇතැම් වැඩිහිටියන්ට පවා පරාජය දරාගන්න අපහසුයි. පොඩි දරුවන්ගේ හිත් හරිම සංවේදීයි. ඒ හිත් බිඳින්න ඇත්තටම හරිම දුකයි. ඉතින් ඒ දරුවන්ගේ දුකත් එක්ක වේදිකාවෙන් බැහැලා යවන්න අපට බැහැ. ඒ නිසා දරුවන්ගේ මනස බිඳින්නේ නැතිව දුක නැති කරලා තමයි අපි ඔවුන්ව වේදිකාවෙන් යවන්නේ. එවිට කෝච්ලා ලෙස අපේ හිතට හරිම සතුටුයි. දරුවකුගේ ඇසේ ක¾දුළක් දැක්ක ගමන්ම මම වේදිකාවට දුවලා යන්නේ මට හරි දුකයි ඒ දරුවෝ ගැන. මොකද මට තව කෙනකුගේ ක¾දුළක් දකින්න බැහැ. ඉතින් අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ ඒ දරුවන්ගේ මුහුණට සිනහවක් ගේන්න.


ළමා මනසට බලපෑමක් නොවන ආකාරයෙන් විනිශ්චයක් ලබා දෙන්නේ කොහොමද?


දරුවන් මේ තරගයට ඉදිරිපත් වෙන අවස්ථාවේදීම දැනගන්න ඕනේ ජය – පැරදුම සම සිතින් දරාගන්නේ කොහොමද කියලා. ඒක කුඩා කාලයේදීම ඉගෙනගන්න ලැබීමත් හොඳයි කියලා මට එක අතකට හිතෙනවා. දරුවන් ජයග්‍රහණය කරන්නම ඕනේ කියලා ඔවුන්ගේ මනසට දාන්නේ මවුපියෝ. මේ වගේ තරගයකට එනකොට අපිත් පරාජය වෙන්න පුළුවන් කියලා අවබෝධයක් දරුවන්ට තිබිය යුතුයි. ඉතින් මේ වේදිකාවේදී ජය පරාජය දෙකම දරුවන්ට දරාගන්න වෙනවා. මොකද තරගයක් නිසා. දක්ෂ දරුවන් සිටින නිසා ඇත්තටම මේ කාර්යය අපටත් අපහසුයි. ඉතින් මේක තරගයක් නිසා දක්ෂම දරුවව තමයි අපට ඉදිරියට ගෙනියන්න වෙන්නේ. ඉවත්වන දරුවන්ව සෑම විටම දිරිමත් කරලා යවන්න අපි උත්සාහ කරනවා.


වෙනත් අය ඔබේ ගීත ගායනා කරනවාට අකැමැති නැද්ද?


තරගවලට ඉදිරිපත් වෙන දරුවන් බොහෝ දෙනෙක් මගේ ගීත ගායනා කරනවා. ඇත්තටම ඒ වෙලාවට මමත් ප්‍රේක්ෂකයෙක් ලෙස ඒ ගීත රසවිඳිනවා. මම කැමැතියි මගේ ගීත නව පරපුර ගායනා කරනවාට. ඒ වගේ අවස්ථාවලදී නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. නමුත් වෙනත් ප්‍රසංගවලට ඉදිරිපත් වන ඇතැම් පිරිස් මගේ ගීත ගායනා කරලා මුදල් උපයනවාට මම පෞද්ගලිකව කැමැති නැහැ. කවර් සෝන්ග් කළාට, තරගවලට ඉදිරිපත් කළාට කමක් නැහැ. නමුත් එහෙම කරන්න එපා කියලා මම කවදාවත් කියලා නැහැ.


රියැලිටි තරගවලදී බොහෝ තරගකරුවන් පැරණි ගීත තෝරා ගැනීම ගැන මොකද හිතන්නේ?


ඇත්තටම ඒක ගොඩක් හොඳයි. මොකද ඇතැම් ගීත අපට ඇසෙන්නේත් රියැලිටි තරගවලදී පමණයි. නිතර නෑසෙන ඉතාමත් හොඳ පැරණි ගීත රැසක් අපට තිබෙනවා. ඉතින් නව පරපුරේ අය, විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන අය මේ පැරණි ගීත ගායනා කළාට වරදක් නැහැ කියලා මම හිතනවා.




Previous Post Next Post