මට ඇඟ හදාගන්න ඕනෑ - සුරාජ් මාපා

  


සුරාජ්.... මේ දිනවල ජීවිතේ කොහොමද?


ජීවිතේ හොඳින්. මේ දිනවල නොවැම්බර් මාසෙ සහ දෙසැම්බර් මාසෙ පවත්වන නර්තන වැඩකටයුතුවලට සූදානම් වෙනවා. වසර අවසානයේදී විවිධ නාලිකාවල පවත්වන නර්තන ප්‍රසංගවලට සූදානම් වෙනවා. ඊට අමතරව ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ''සුසුම් රස්තියාදුව'' ටෙලිනාට්‍යයේ රූගත කිරීම් තවම අවසන් කරලා නැහැ. ඒ නිසා ඒ වෙනුවෙනුත් වෙලාව වෙන්කරලයි තියෙන්නේ. මගේ ව්‍යාපාර කටයුතුත් මේ අතරේ කරගෙන යනවා. ඊට අමතරව පිටපත් රචකයෙක් එක්ක ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමිනුත් ඉන්නවා.


Qසුරාජ්... කොණ්ඩය  වවලා ටිකක් වෙනස් වුණේ ''සුසුම් රස්තියාදුව''ටද...?


නැහැ. ටෙලිනාට්‍ය දෙක තුනකට මම කොණ්ඩය වැව්වා. ''දාංගලේ, සුසුම් රස්තියාදුව'' වගේ නාට්‍යවලට මම කොණ්ඩය වැව්වා. ඉතින් කොවිඩ් කාලේදී කොණ්ඩය තවත් වැවුණා. ඊටපස්සේ ආයෙත් ''නොනිමි'' ටෙලිනාට්‍යයට කොණ්ඩය කැපුවා.


Q මේ දිනවල ''සුසුම් රස්තියාදුවට'' ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒක ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. ඔහු ඉතා හොඳ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරද්දී මම ඔහුගේ නාට්‍ය තුන හතරකම වැඩකරලා තිබුණා. ඔහු අධ්‍යක්ෂණය කරන නිර්මාණ තුළින් මම ඔහුගේ දක්ෂතාවය දැක්කා. මේ නාට්‍යයට ආරාධනාව ලැබුණාම මම ඉතාම කැමැත්තෙන් ඒ නිර්මාණයට සම්බන්ධ වුණා. මේක අරුණ ප්‍රේමරත්නගේ පිටපතක්. ඒ පිටපතත් ඉතාම හොඳ පිටපතක්. ඒ කතාවට මම කැමැති වුණා. අද සමාජයේ මුඩුක්කුවල, වතු ආශ්‍රයෙන් කරනා නිර්මාණ ප්‍රමාණය වැඩියි. නමුත් සුසුම් රස්තියාදුව ටිකක් වෙනස් නිර්මාණයක්. මුදල් තිබෙන, ඉහළ පැලැන්තියේ පවුල් පසුබිම්වල තිබෙන ප්‍රශ්න නිර්මාණ හරහා කතාකරන නාට්‍ය මේ දිනවල අඩුයි. ඒ වගේ නාට්‍යයක් නැවතත් ප්‍රේක්ෂකයින් වෙතට ගෙන ඒම ගැන මම පළමුවරට සතුටුවුණා. ඒ වගේම මේ නිර්මාණයට සම්බන්ධ වුණ කලාකරුවන්, කලාකාරියන් ගැන මම ගොඩක් සතුටුවුණා. ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පි ශිල්පිනියන් බොහොමයක් සම්බන්ධ වුණා. විශේෂයෙන් චාන්දනී අක්කා (චාන්දනී සෙනෙවිරත්න) විශ්වජිත් අයියා (විශ්වජිත් ගුණසේකර) ඉතා දක්ෂයින් වගේම ටෙලිනාට්‍යවලට අඩුවෙන් සම්බන්ධ වෙන අයයි. ඔවුන් මේ නාට්‍යයට සම්බන්ධව සිටීමත් මගේ ලොකු සතුටක් වුණා.


Q සුරාජ් රඟපාන නාලකගේ චරිතයත් හරි විශේෂයි...?


ඔව්. මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න මේ චරිතයත් බලපෑවා. නාලකගේ චරිතය මම ගොඩාක් කැමැති චරිතයක්. ඊට පෙර මම ඒවගේ චරිතයකට රංගනයෙන් දායකවෙලා තිබුණේ නැහැ. නාලක සංගීතවේදියෙක්. ඔහු මුදල් තිබෙන ඇමැතිවරයකුගේ පුතෙක්. ඒ වගේම ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු කෙනෙක්. ඉතින් සංගීතයට තිබෙන ඔහුගේ කැමැත්ත වගේම ඔහුගේ නිර්මාණවලට සමාජයෙන් නිසි ඇගයීමක් නොලැබුණු විට ඔහුට ඇතිවන පීඩනය හරි අපූරුවට පිටපතේ ලියවිලා තිබුණා. ඔහු ආදරය කරන කෙනා එක්ක ජීවත්වෙන විදිහ, ඒ ආදරය රැකගන්නට විඳින වෙහෙස වැනි හේතුත් එක්ක නාලක හරි ප්‍රබල චරිතයක් වුණා... ඊට පෙර නාලක වැනි චරිතයක් මම කරලා තිබුණේ නැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙකුගේ ස්වරූපය, ඒ හැසිරීම් වෙනස්. එහිදී අධ්‍යක්ෂවරයා විසින් නිර්මාණය ඔහුට අවශ්‍යම විදිහටම කරගන්නට ඕනවුණා. අපිට අපේ චරිතයට බොහෝ දේවල් එකතු කරන්නට ඔහු නිදහස ලබලා දුන්නා. ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ ඇත්තටම මට මුණගැහුණ හොඳ අධ්‍යක්ෂවරයෙක්.


 අද වෙද්දී සුරාජ් ව්‍යාපාර කිහිපයකම නිරත වෙන ව්‍යාපාරිකයෙක්?


ඔව්... අද වෙද්දී මම ඇඟලුම් කර්මාන්තයේ නියැලෙමින් ව්‍යාපාර කිහිපයකම නිරත වෙනවා. ඒ අතරින් මගේම ෂර්ට් එකක් ‘VeeR’ නමින් පවත්වාගෙන යනවා. ඊට අමතරව Elsa නමින් තවත් වෙළඳ නාමයක් යටතේ ඇඳුම් නිර්මාණය කරනවා. නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා. ඊට අමතරව නුවර ගෙදරත් මම සංචාරකයින්ට ලබාදෙන හෝටලයක් පවත්වාගෙන යනවා. ඒ වැඩකටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුලයි.


 සුරාජ්... ව්‍යාපාරයට අතගැහීමත් එක්ක කලා කටයුතුවලින් ඈත්වීමක් වුණාද?


මේ දිනවල රූපවාහිනී නාලිකා බොහෝමයකම විකාශනය වෙන්නේ නාලිකාවලින්ම කරන මෙගා නාට්‍යයි. ඒ නාට්‍යවලට සම්බන්ධ වෙන්න මම ඒ තරම් කැමැත්තක් නැහැ. එහෙම වුණාම දිගටම ඒ නාට්‍යවල විතරයි අපිට වැඩකරන්න වෙන්නේ. ඒ වගේම ඒවයේ ප්‍රමිතිය වුණත් අඩුයි. සමහර නාට්‍යවල පිටපත ඒ දවසේ උදේට තමයි කලාකරුවන්ට ලැබෙන්නේ. චරිතවලට වෙන්නේ මොනවාද කියලවත් දන්නේ නැහැ. කලාව කියන්නේ ඒක නෙමෙයි. මුදල් ලැබෙන වෙන ක්‍රම තිබෙද්දී වෙනත් වෘත්තියක් කරන්නට හැකියාව තිබෙද්දී තමයි අපි මේ කලාවට එන්නේ. ඒකෙන් ලැබෙන තෘප්තිය තමයි අපිට වටින්නේ. අපි හැමෝටම ජීවත්වෙන්න අමාරුයි. නමහර නාට්‍යවල මුල් කොටස් පහළොවටම අපිව එක්කර ගන්නවා. ඒක නාලිකාවකින් තෝරගත්තට පස්සේ අපිට නොකියාම ඒ චරිතවලින් අපිව ඉවත් කරනවා. කතාව ගියාට ප්‍රධාන චරිත ටික අයින් කරනවා. ඉතින් ඒවගේ කාලයක කලාවෙන්ම ජීවත්වෙන්න අමාරුයි. මේ වෙනුවෙන් කුමන හෝ විසඳුමක් ලබාගත යුතු වෙනවා. මෙයින් මිනිසුන් පවා ටෙලිනාට්‍යවලින් ඈත් වෙනවා.


 සුරාජ්ගේ අලුත් නිර්මාණ අධ්‍යක්ෂණය කවදා විතර දකින්නට ලැබේවිද?


මේ වෙද්දී එහි පිටපත ලියාගෙන යනවා. ඒකේ පිටපත් අදහස මගෙයි. කලාකරුවන් වශයෙන් ප්‍රේක්ෂකයින්ට පණිවිඩයක් ලබාදෙන්න, දැනුමක් දෙන්න මට ඕනේ. ඒ සම්බන්ධයෙන් අලුත් දෙයක් දෙන්න උත්සාහ කරනවා. කලාව කියන්නේ මේ ප්‍රේක්ෂකයන්ට, සමාජයට අලුත් දෙයක් හිතන්න, ඉගෙන ගන්න දෙන්න පුළුවන් දෙයක් කියලයි මම හිතන්නේ. මේ සම්බන්ධයෙන් මේ පිටපත ලියවෙනවා. ඉදිරියේදී එහි අධ්‍යක්ෂණයටත් අත තබාවි.

 සුරාජ්ගේ ඇඟ ඇතුළේ හිටපු නර්තන ශිල්පියාට මොකද වුණේ..?


නර්තන කටයුතුත් කරගෙන යනවා.මේ දවස්වල ඉගෙන ගන්නවා. වැඩිපුරම කාලයක් ව්‍යායාම් වෙනුවෙන් යොදවනවා. ඇඟ හදාගන්න ඕනේ. ඒ නිසා නර්තනය සහ ව්‍යායාම වෙනුවෙන් කාලය යොදවනවා. නර්තන ප්‍රසංගයක් ලබන වසරේ පවත්වන්නටත් බලාපොරොත්තු වෙනවා.


සුරාජ්ගේ විවාහයක් ළඟදීම සිදුවෙයිද...?


විවාහය කවදා හරි දවසක සිදුවෙනවා බලන්න මම බලාගෙන ඉන්නවා. කාලය විසින් හැමදේම හොඳම විදිහට විසඳෙයි කියලා මම විශ්වාස කරනවා. අපි හිතන්නේ නැති විදිහට හැමදේම මෙච්චර දුරක් ආව නම්, ඒ හැමදේමට අපි මූණ දුන්නා නම් විවාහයත් ඒ විදිහටම සිද්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.





Previous Post Next Post