සාරංගගේ නම කියවෙනකොට මට උන් හිටි තැන් අමතක වුණා-දිනක්ෂි ප්‍රියසාද්



ඇය කලාවේ අක්මුල් සොයා යෑම ආරම්භ කළේ දෙහැවිරිදි කුඩා දැරියක්ව සිටියදීය. පසුකාලීනව පුංචි පැංචි වැඩසටහන හරහාද මෙරට ළමා පරපුරේ හදවත දිනාගනිමින් තම දක්ෂතා පෙන්වන්නට සමත් වූ මෙම සුරූපිනිය මේ වන විට රංගනය, නර්තනය, නිවේදනය මෙන්ම ගායනය වැනි විවිධාකාර භූමිකා හරහා, කලාවේ සැම අස්සක් මුල්ලක් නෑරම සීරුවෙන් තම පිය සටහන් තබමින් සිටියි. ජීවිතය හමුවේ ඉදිරියට ආ අභියෝග සියල්ලම පාහේ ජය ගනිමින් මේ වන විට මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයක් හා රසික ප්‍රසාදයක් දිනාගනිමින්  සාර්ථකත්වයේ මාවත දිගේ ඉදිරියට ඇදෙන ඇය නමින් දිනක්ෂි ප්‍රියසාද්ය.


අලුත් තොරතුරු කියලම පටන් ගමු?


මේ දවස්වල වාසව බදුගේ අධ්‍යක්‍ෂවරයාගේ ‘විසල් ආදරේ’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වෙනවා. ඊට අමතරව අලුත් වැඩකටයුතු කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒත් එක්කම  ‘ඇගේ කතාව’ නමැති රූපවාහිනි වැඩසටහනට දායක වෙනවා.


තමන්ගේ අතින්ම ආදරණීය සැමියාට සම්මානයක් පිරිනමන්න හැකිවුණා. ඒ හැඟීම මොන වගේද?


මමත් ඒ වගේ සිටුවේෂන් එකකට මුහුණ දුන්නේ පළමුවැනි වතාවට. මමයි එයයි දෙන්නම බලාපොරොත්තු වුණේ නැහැ සම්මානය ලැබෙයි කියලා. සාරංගගේ නම කියද්දී මට ඉන්නේ කොහෙද කියලත් අමතක වුණා. මම එක පාරටම කෑ ගැහුවා. සාරංග ගත්තොත් හැමදේටම දක්ෂ, තමන් සම්බන්ධ වෙන  සියල්ලටම සියයට දාහක් තමන්ගේ කැපවීම ලබා දෙන කෙනෙක්. මම හිතන්නේ ඔහුගේ සාර්ථකත්වයටත් හේතුව ඒක. ඉතින් ඒ කැපවීමට ඇගයීමක් විධියට සම්මානය ලැබීම ඇත්තටම සතුටුයි. ඒක එස්.එම්.එස්.වලින්ද ලැබුණේ, ජූරියකින්ද  ලැබුණේ කියන එක අදාළ නැහැ. ඇගයීමම වටිනා දෙයක්.


එදා ඔබේ සහෝදරියත් සම්මානයට පාත්‍ර වුණා?


මම ශනූගේ දක්ෂතාවන් දැකලා තිබෙනව පොඩි කාලේ ඉඳන්ම. එයා සියල්ලටම දක්ෂයි. අලුත් පරම්පරාව හරිම යාවත්කාලීනයි. අපි දේවල් දකිනවට වඩා කලින් ඒ දේවල් දකින්න මොකක්‍ෙදා් ඥානයක් ඔවුන්ට තිබෙනවා. ඇත්තටම ශනුද්‍රි ඒ සම්මානය ගැන බලාපොරොත්තු තබාගෙන නොසිටියට අපි විශ්වාස කළා එය ඇයට හිමි විය යුතුයි කියලා. ඇය එහෙම කිසිම දෙයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගෙන සිටින කෙනෙක්වත් ඒවා නොලැබුණා කියල දුක් වෙන කෙනෙක්වත් නෙවෙයි. ඇයට ඒ සම්මානය හිමිවීම ගැන මම සහ සාරංග, අපි සියල්ලන්ම බොහොම සතුටට පත් වුණා.


පෙර වගේ නිතරම නිර්මාණ හරහා දකින්නට නැහැ, ඇයි ඒ?


විශේෂම හේතුව මෑතකදී අපේ දුව ලැබීම. ඒකත් එක්ක නිර්මාණ කටයුතුවලට දායක වුණේ හරිම අඩුවෙන්. අවුරුද්දක් විතර යනකම්ම මම නිර්මාණ කටයුතුවලට දායක වුණේම නැහැ. දැන් තමයි පොඩ්ඩක් වැඩ කරන්නේ. ඒ හැරුණුවිට විශේෂ හේතුවක් නැහැ. කාලය කළමනාකරණය කරගන්න හැකියාව තිබෙනවා නම් නිර්මාණවලට දායක වෙනවා. මේ ටිකේදි චුට්ටක් කාර්යබහුල වෙලා ඉන්නවා. නමුත් ඒ කාලේ වගේ දැන් නම් නිතරම වැඩ කෙරෙන්නේ නැහැ. මොකද මේ වෙද්දී වගකීම් වැඩි නිසා.


එක වහලක් යට වෙබ් සීරීස් එකේ ඔබේ රංගනයට අති විශාල රසික ප්‍රසාදයක් හිමි වුණා?


මෑත කාලයේදී මම ආසාවෙන් වැඩ කරපු නිර්මාණයක් තමයි එක වහලක් යට කියන්නේ. ඒක මෙතෙක් කල් මගෙන් ප්‍රේක්ෂකයන් දැකලා නොතිබුණු චරිතයක්. ඒක කරනවද නැද්ද කියලා හිත හිත ඉද්දි සාරංග තමයි මාව උනන්දු කළේ ඒක කරන්න කියලා. මොකද එයා දකින්න ඇති ඒක කළොත් මට හොඳයි කියන දේ. එයාගේ උනන්දුවත් එක්ක තමයි මම ඒ වැඩේ භාර ගත්තේ. අලුත් මල්ලිලා ටිකක් එකතු වෙලා තමයි ඒ වැඩේ කළේ. අධ්‍යක්‍ෂණය සහ රචනය අනුෂ්ක රසාංජන. මම රඟපෑවේ ප්‍රසන්න මල්ලි සමඟ. ඔහුත් මේ දවස්වල ක්‍ෂේත්‍රයේ බොහොම ජනප්‍රියයි. නිර්මාණය ඇතුළෙදී එයාලගෙන් ලොකු සපොර්ට් එකක් ලැබුණා. විශේෂයෙන්ම  මෙතෙක් කල් කරපු නිර්මාණ අතරින් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් හොඳ ප්‍රතිචාර ලැබුණා සහ තවමත් ලැබෙමින් පවතිනවා.


රසිකයෝ ඔබේ හැකියාවන් හ¾දුනාගෙන සිටින අවධියක නිර්මාණවලට දායක වීම සීමා කිරීම අවාසියක් නෙවෙයිද?


සීමිත නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙනවා කියන දේ මම පනවාගෙන සිටින සීමාවක් නෙවෙයි. හොඳ වැඩක් ආවොත් භාර ගන්නවා. මගේ පෞද්ගලික ජීවිතයේ තිබෙන කාර්යබහුලත්වය නිසා වැඩවලට බැහැ කියන තත්ත්වයක නෙවෙයි මම ඉන්නේ. හොඳ වැඩක් නම් මම අනිවාර්යෙන්ම භාර ගන්නවා. එහෙම නැතිව මම වැඩවලට සම්බන්ධ වීම සීමා කරලා නැහැ. කවුරුහරි හොඳ නිර්මාණයකට කතා කළොත් දෙපාරක් නොසිතා භාර ගන්න අවස්ථා තිබෙනවා.


කුඩා කාලයේ සිටම කලාවට යොමු වුණු අයෙක් විධියට ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කරමු?


මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය. මම ක්ෂේත්‍රයට එන්නේ දෙදහස් නවය වසරේදී. ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටය තිරගත වෙද්දී ඒ අතරතුර අවුරුදු පහක වගේ කාලයේදී මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැඟී එන නිළිය, ජනප්‍රියම නිළිය වැනි සම්මාන දිනාගෙන තිබුණත් චිත්‍රපට නිළියක් ලෙසින් එතරම් එළියට ඇවිත් තිබුණේ නැහැ. දෙදහස් දාහතර වර්ෂයේදී තමයි මම චන්ද්‍රන් රත්නම් මහත්මයාගේ මේ වගේ ආදරයක් චිත්‍රපටය සමඟ එක් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය සමඟ මම නොසිතපු විධියට ඊළඟ අවුරුදු දෙක, තුන අතරතුර සෑම චිත්‍රපට සම්මාන උළෙලකදී වගේම ඇගයීමට පාත්‍ර වුණා. නැඟී එන නිළිය, මතු බලාපොරොත්තු තබා ගත හැකි නිළිය වැනි විවිධාකාර සම්මානයන් හරහා ඇගයීමට ලක්වුණා. ඉතින් මගේ රංගනයේ හැරවුම් ලක්‍ෂ්‍යය විධියට එය හ¾දුන්වන්න පුළුවන්.


‘අලු පාට දේදුනු’හි ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මේ දවස්වල විකාශය වන මගේ එකම ටෙලි නාට්‍යය අලු පාට දේදුනු. ඇත්තටම එයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතය නිසාම බැනුම් අහන්නත් වෙනවා. මම ඒ හැමදේම සමසිතින් භාර ගන්නවා.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු?


තේජා ඉද්දමල්ගොඩ මහත්මයා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් රූගත කිරීම් අවසන් කළා. ඒ චිත්‍රපටය බොහෝදුරට ලබන වසරේ තිරගත වෙයි. ඒත් එක්කම හසුන් සමීර අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් කළා. එහි තව රූගත කිරීම් සිදු කරන්න තිබෙනවා. ඒකත් බොහොම ඉක්මනින් විකාශය වෙයි.


සාරණ්‍යාගේ හුරතල් එක්ක ගෙවෙන ජීවිතය ගැනත් පොඩ්ඩක් කියමු?


සාරණ්‍යා නම් දැන් දඟ මල්ලක්. හැබැයි එයා වැඩියෙන් ආදරේ තාත්තට. මම පැය විසි හතරම, දවස් තුන්සිය හැට පහම එයත් එක්ක හිටියත් කොයිවෙලෙත් එයාට ඕනි තාත්තම තමයි. මේ එයාගේ  හුරතල් කාලේ. අපි කතා කරන වචන ඔක්කොම අල්ලගන්නවා. එයා ළඟ ඉද්දි අපි කතාකරන්නෙත් හරිම පරිස්සමට. කොහොමත් දවසේ වෙන හැමදේම තාත්ති ගෙදර ආපු ගමන් එයා තාත්තිට කියනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post