මම නිහඬ චරිතයක් කියලම කියන්නත් බෑ - සචින්ත්‍යා අරුන්දතී

 


සිරස නාළිකාවේ විකාශය වන මායාවී ටෙලි නිර්මාණය මේ දිනවල සමාජ මාධ්‍යවල ද සංසරණය වෙමින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබන ටෙලි නිර්මාණයකි. ප්‍රේක්ෂක සිත්හි දහසක් ප්‍රශ්න මතුකරමින් දිග හැරෙන මන්දෝදරීගේ භූමිකාව මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. පසුගිය දා චමදරී ලෙසින් ප්‍රේක්ෂක ඔබේ හදවතේ ලැගුම් ගත්තේ ද මන්දෝදරීට පණ පොවන ඇයයි. 2022 සිරස වසන්ත කුමරිය ලෙසින් අබිසෙස් ලබමින් රංගනයට පිවිසි ඇය සචින්ත්‍යා අරුන්දතීය.


මන්දෝදරී කියන්නේ සචින්ත්‍යාගේ රංගනයේ වෙනස්ම පැතිකඩක් ස්පර්ශ කරන භූමිකාවක් නේද?


ඔව්. මන්දෝදරී ඉන්නේ මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය සිරස නාළිකාවේ විකාශය වන මායාවී ටෙලි නිර්මාණයේ. ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නේ ලලිත් වසන්ත නිෂ්පාදකවරයාගෙන් සහ තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියගෙන්. මීට කලින් මං සම්බන්ධ වුණු කියාදෙන්න ආදරේ තරම් තිර පිටපතත් මහේෂ් අයියාගේ. මන්දෝදරී චමදරීට වඩා වෙනස් චරිතයක් නිසා ඔවුන්ට පොඩි සැකයක් ඇතිවෙලා තිබුණා මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. මුලින්ම යුවනිගෙ කැරැක්ටර් එකට කාස්ට් වෙලා තිබිලා පස්සේ මන්දෝදරීට තෝර ගත්තා.


මන්දෝදරී නිසා මේ දිනවල ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහනවා කියලත් ආරංචියි?


මන්දෝදරී කියන්නේ මවුපියන් නැතුව හැදෙන ළමයෙක්. ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය ගැන තාමත් හරියටම ප්‍රේක්ෂකයාට නිරාවරණය වෙලා නෑ. දැනට විකාශය වුණු කොටස්වලින් ප්‍රේක්ෂකයා ඇය දිහා පැති කිහිපයකින් බලනවා. සමහරු බණිනවා. තව සමහරු හොඳ කියනවා. වැඩිපුරම ලැබෙන්නෙ බැණුම්. ඉදිරියේ දී තත්ත්වය වෙනස් වේවි. මේ වෙද්දි තව නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනවා. ඊට අමතරව සිනමාපටයකටත් සම්බන්ධ වුණා.


සචින්ත්‍යා අරුන්දතී කියන චරිතය ප්‍රේක්ෂකයා හඳුනාගන්නේ චමදරී නිසා නේද?


ඔව්. මාව ප්‍රේක්ෂකයා අතරට අරන් ගියේ චමදරී. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය අවසන් වෙලත් අදටත් මට ගොඩක් දෙනා කතා කරන්නේ චමදරී කියලා. ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකගෙන්. ඒ ඔහුගේ වීණාවී රංගන පාසල හරහා ලැබුණු අවස්ථාවක්. සිරස වසන්ත කුමරිය වීමත් එක්කම මං ධනුෂ්ක රත්නායකගේ වීණාවී රංගන පාසලට ඇතුළත් වුණේ රංගනය ගැන වැඩිදුර හැදෑරීමේ අදහසින්. කියාදෙන්න ආදරේ තරම් චමදරී වගේම ඔහුගේ මන්දාරම් කතාවේ මල්ෂා, බයෝ සීසන් 4 හි පාරමී ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒත් චමදරී තමයි වැඩියෙන්ම ප්‍රතිචාර ලැබූ අදටත් ප්‍රතිචාර ලබන චරිතය.


ඒ කියන්නේ චමදරී සචින්ත්‍යාගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක්?


චමදරී විතරක් නෙවෙයි, කියාදෙන්න ආදරේ තරම් මුළු කණ්ඩායමම මට අමතක නොවන අත්දැකීමක්. එතරම් ළෙන්ගතු, ආදරණීය පිරිසක් මීට කලින් මට හමුවෙලා නෑ. කවුරුත් කවදාවත්ම ෂූටින් වදයක් කරදරයක් කියලා හිතුවෙ නෑ. හැමෝම හරිම ආසාවෙන් විනෝදෙන් සහභාගී වුණේ. අපි එක පවුලක් වගේ වුණා. අධ්‍යක්ෂවරයා, තිර පිටපත් රචකයා ඇතුළු කණ්ඩායම නිසා තමයි මට ප්‍රේක්ෂකයන්ගෙන් ඒ තරම් ආදරයක් ලැබුණේ. ඒ වගේම තමයි රෙදි මෝල වත්තෙ ජනතාව කිසිදාක අමතක වෙන්නෙ නෑ. පුදුමාකාර ආදරයක් අපට දුන්නා. අපි හිටියෙ නෝන අක්කගෙ ගෙදර. ඇයත් හරිම හොඳ කෙනෙක්. අපි සමුගන්න දවසේ එයාලා ඇඬුවා අපිව දාල යනවද කියලා. එදා හරිම සංවේදී අමතක නොවන දවසක් වුණා.


ඔබේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැති ඇති?


මගේ ගම නුවර. මම ඉගෙන ගත්තේ නුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ. පාසලේදී ඩ්‍රාමා විෂයක් විදිහට කළ නිසා පාසල් වේදිකාව මට හුරුපුරුදු තැනක් වුණා. මේ වෙද්දි මං ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්. මම ඩිග්‍රිය සඳහා තෝරගත්තේ ෆැෂන් ඩිසයිනින්. මගේ අම්මා ගුරුවරියක්. අප්පච්චි පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක්. එකම මල්ලී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක්.


සචින්ත්‍යා පාඩුවේ ඉන්න නිහඬ චරිතයක් කියන්නේ ඇත්තද?


මුලින්ම හමුවෙන ඕනෙම කෙනෙක් හිතන්නෙ මං හරිම නිහඬ කෙනෙක් කියලා. ඒත් කෙනෙක් එක්ක කතාබහ කරල යාළු වෙද්දි මං ගොඩක් කතා කරනවා. ඒ නිසා මම නිහඬ චරිතයක් කියලම කියන්නත් බෑ.


ආකර්ෂණීය රූසපුවකට හිමිකම් කියන ඔබ ආදරවන්තියක් නොවෙන්නත් බෑ නේද?


දැනට නම් මං ආදරවන්තියක් නෙවෙයි. ආදරයේ එක අත්දැකීමක් ලබල තියෙනවා. ඊට පස්සේ නම් ආදරයකට යොමු වුණේ නෑ. ක්ෂේත්‍රයේ කෙනෙකුට වඩා මගේ කලා කටයුතුවලට සහාය දෙන ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුට මං කැමතියි. රංගනය ගැන තවදුරටත් හදාරලා රංගන හැකියාව දියුණු කරගෙන හොඳ නිර්මාණවලට දායක වෙලා සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්නත් මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


නාමලී ගමගේ



Previous Post Next Post