මගේ සතුට තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි ඒ දෙන්නා ළඟයි- කළණි දොඩන්තැන්න



මේ දිනවල පුංචි තිරයෙන් කළණිව දකින්න ලැබෙනවා. හැබැයි කළණි ලංකාවේ නැහැ කියලයි ආරංචිය.


 ඇත්තටම කළණි ඉන්නෙ කොහෙද?


මම මේ දිනවල එංගලන්තයේ ඉන්නෙ. තුමිඳු (තුමිඳු දොඩන්තැන්න) එයාගේ පශ්චාත් උපාධියට සූදානම් වෙනවා. ඒ University of London වලයි. ඉතින් මේ දිනවල අපි එංගලන්තයේ තමයි ජීවත් වෙන්නෙ. මුලින්ම තුමිඳු තමයි එංගලන්තයට ගියේ. ඊටපස්සෙ මමත් ගිය අවුරුද්දේ දෙසැම්බර්වල අපූර්ව අපේ පුතත් එක්ක එංගලන්තයට ආවා.


මේ දිනවල ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරන 'ජීවිතයේ එක් දවසක්' ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මේ නිර්මාණය රූගත කිරීම් කළේ කොයි කාලෙද?


මේ නිර්මාණය මම ලංකාවේ ඉඳිද්දි තමයි රූගත කිරීම් කළේ. ඒ ගිය වසරෙදි. මේ නිර්මාණය ගම්පහ ප්‍රදේශයේ තමයි රූගත කිරීම් කළේ. ඇත්තටම මේ වෙද්දි විකාශය වන 'ජීවිතයේ එක් දවසක්' නිර්මාණයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ නිර්මාණය හරිම කැමැත්තෙන් කරපු නිර්මාණයක්. ලලිත් රත්නායක කියන්නෙ ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මම රඟපෑව වත්සලා කියන චරිතය සාර්ථක වුණා නම් ඒ වෙනුවෙන් ලලිත් අයියා, බිමල් අයියා, නයනතාරා නංගි, සුමින්ද අයියා, පුබුදු අයියා වගේම නදීෂා නංගිගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය කළ සජිත වීරප්පෙරුමටත් ස්තූති කරන්න ඕනෑ. මේක ඇත්තටම 'ටීම් වර්ක්' එකක්. නිර්මාණයේ මම හැම කොටසක්ම YouTube එකෙන් බලනවා. ඇත්තටම අපි සම්බන්ධ වුණු නිර්මාණයක් කවුරුන් හෝ අගය කරද්දි ලොකු සතුටක් දැනෙනවා. සමහරු මට ඒ අයගේ පෞද්ගලික අදහස් පවා කියලා එවනවා. ඒ හැමදෙයක්ම මට නිහතමානී සතුටක් ලබා දුන්නා. එංගලන්තයේ ජීවත්වෙන බොහෝ ලාංකිකයන් YouTube හරහා මේ නිර්මාණය බලනවා. ඔවුන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලංකාවේ මම මේ මොහොතේ ජීවත් නොවුණත් මේ ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දැනෙනවා.


කළණි එංගලන්තයට යන්නෙ ජීවිතේ වටිනාම චරිත දෙකත් එක්කයි. ඒ තුමිඳු සහ අපූර්ව. නමුත් ලංකාවේ සිට එංගලන්තයට ගිය අලුත ඒ පරිසරයට හුරු වුණේ කොහොමද?


මම ලංකාවට ගොඩක් ආදරෙයි. තුමිඳුගේ පශ්චාත් උපාධිය නිසා තමයි මම එංගලන්තයට අපූර්ව එක්ක ආවේ. තුමිඳු ඉගෙන ගන්න හරි ආසයි. ඉතින් එයාගේ අධ්‍යාපන කටයුතුවලට බිරිඳක් විදිහට, පවුලක් විදිහට මම සහයෝගය දක්වන්න ඕනෑ. ඒ නිසා තමයි අපූර්වත් අරගෙන මමත් එංගලන්තයට ආවේ. මුල් කාලයේ එංගලන්තයේ හැමදේම අපිට අලුත්. මේක අපි දන්න පරිසරය නෙවෙයි. දේශගුණයේ සිට හැමදේම අපිට අලුත් වුණා. හැබැයි එංගලන්තයේදිත් මට ශ්‍රී ලාංකික හොඳ මිනිසුන්ව මුණගැහුණා. ඒ අය අපිට හරිම ආදරෙන් සැලකුවා. මේ කාලගුණයේ තියෙන විවිධත්වයට මම පුදුම විදිහට ආසා කළා. කොහොමටත් මම චිත්‍ර ඇඳපු කෙනෙක්. ඒ නිසා මේ රටේ තියෙන සොබාදහමට මම ආදරේ කළා. ලංකාවේ වගේම මේ රටෙත් පරිසරය හරිම ලස්සනයි. මේ පරිසරයේ තියෙන සුන්දරත්වය මම හරියට විඳිනවා. මේ රටේ ඉන්න ලාංකිකයන් අපිට හොඳට පිළිගත්තා. ඒ අයගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. ඒ අතරේ මට හොඳ රුකියාවක් ලැබුණා. මේ වෙද්දි මම VMD Solictors and Consultans ආයතනයේ සේවය කරනවා. ඒක නීතිය සම්බන්ධ ආයතනයක්. මේක අපිට අලුත් රටක්. හැබැයි තුමිඳුයි අපූර්වයි මමයි පවුලක් විදිහට එකට ඉන්නවා. මගේ ජීවිතේ වටිනාම දෙන්නා අද මා ළඟ ඉන්නවා. මගේ සතුට තියෙන්නෙ ඒ දෙන්නා ළඟයි.


දැන් අපූර්ව පාසල් යනවා ඇති?


ඔව්. දැන් අපූර්වට වයස අවුරුදු හයයි. එයා එංගලන්තයේ පාසලකට යනවා. එයා හොඳට එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කොහොමත් එයා අපිටත් කලින්ම මේ පරිසරයට හුරු වුණා. එයාගේ වයසත් එක්ක ඒ හුරුවීමට ගොඩක් පහසු වුණා. දැන් එයා එක වසරේ ඉගෙනුම ලබනවා. පුතාගේ වැඩ කටයුතුවලටත් තුමිඳුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ලංකාවේ මට මඟහැරුණු තැන් ගොඩක් තියෙනවා. මම මගේ අම්මා තාත්තා, සහෝදරයන්ට හරි ලැදි කෙනෙක්. ඒ අය වගේම තුමිඳුගේ අම්මා තාත්තත් මට ගොඩක් මතක් වෙනවා. ඉතින් එංගලන්තයේ ඉඳන් මම පුළුවන් උපරිමයෙන්ම ඒ ආදරය ඒ අයට ලබා දෙනවා.


ඔබ සම්බන්ධ වුණු තවත් නිර්මාණ තියෙනවද?


ඔව්. එංගලන්තයට ආවට පස්සේ මම ආයෙමත් පොඩි නිවාඩුවකට රූගත කිරීමකට ලංකාවට ආවා. ඒ 'අමුතු දොස්තර' කියන ටෙලිනාට්‍ය. ඒ ටෙලිනාට්‍ය කෝරළගේ සමන්ගේ අධ්‍යක්ෂණයක්. මේ වෙද්දි ඒක සංස්කරණය වෙමින් පවතිනවා. ඒ ගමනට අපි තුන්දෙනාම ලංකාවට ආවා. හැබැයි අපූර්වගේ පාසලත් තුමිඳුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් පටන් ගන්න නිසා ඒ දෙන්නා මටත් පෙර ආයෙමත් එංගලන්තයට ආවා. මම ටෙලිනාට්‍ය රූගත කිරීම් අවසන් කරලා එංගලන්තයට ආවා. මම කැමති, හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ලංකාවට ගිහින් ඒවාට සම්බන්ධ වෙන්න කියලා තුමිඳු මට නිදහස ලබා දීලයි තියෙන්නෙ. 


මෑතකදී ආයෙමත් තුමිඳු, කළණි, අපූර්ව ලංකාවට එන්නෙ නැද්ද?


ළඟදි තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ දිනවල කතා කරමින් යන්නෙ. එහෙම වුණොත් සමහරවිට දෙසැම්බර් මාසෙදි ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.


කළණිට එංගලන්තයේ කලා කටයුතුවලට ආරාධනා ලැබුණෙ නැද්ද?


ලැබුණා. මම එංගලන්තයේ නිෂ්පාදන කටයුත්තකට සම්බන්ධ වුණා. ඒක කෙටි චිත්‍රපටයක්. මේ වෙද්දි එහි සංස්කරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. තවත් නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. ඒක චිත්‍රපටයක්. ඉදිරියේදි බොහෝ දුරට ඒකෙ රූගත කිරීම් ආරම්භ වේවි. එංගලන්තයේ හිටියත් හැමදාමත් අපි ලංකාවට ආදරෙයි. ඒ ආදරේ වෙනසක් නෑ.


 දිශානි





Previous Post Next Post