මට විතරයි තවම පාස්පෝට් බලන්න බැරි වුණේ – නයනතාරා වික්‍රමාරච්චි

 



නයනතාරා වික්‍රමාරච්චි කියන්නෙ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඇය රංගනයෙන් දායක වුණ ‘පාස්පෝට්’ සිනමා නිර්මාණය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනව. නමුත් නයනතාරා මේ දිනවල ලංකාවේ නැහැ. තවම ඇයට මේ සිනමාපටය දැකගන්න ලැබිලත් නැහැ. මොකක්ද හේතුව?. මේ ගැන දැනගන්න, මීවිත අපි නයනතාරා සමග කතාබහක යෙදුණා.

ඔබ රඟපෑ පාස්පෝට් සිනමා නිර්මාණය තිරගත වෙනවා. ඒ වෙනුවෙන් ලංකාවට එන්න අදහසක් නැද්ද?


ඇත්තටම ඉක්මනින් ලංකාවට එන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ. මොකද අලුත් නිර්මාණවලටත් ආරාධනා එනව. නමුත් මේ වැඩකටයුතු නිසා භාරගන්න ලැබුණෙ නැහැ. ඒ නිසා ඉගෙනීම් කටයුතු අවසන් වුණ ගමන් නැවත ලංකාවට එනව.


හදිසියේම විදෙස්ගත වුණේ ඇයි?


ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි අනුපම් කේර් රංගායතනයට මාව තෝරාගෙන තිබුණා. ඉතිං මම විදෙස්ගත වුණේ එම ආයතනයේදී රංගනය ගැන වැඩිදුර හදාරන්න.


චිත්‍රපටය තිරගතවෙනකොට ලංකාවේ ඉන්න තිබුණනම් හොඳයි නේද?


ඇත්තටම මේ වගේ මොහොතක ඉන්න තිබුණනම් ගොඩක් වටිනව. මොකද මෙහි රූගතකිරීම් සිදුකරලත් බොහොම කාලයක් වෙනව. කිහිප වතාවක්ම තිරගත කරන්න උත්සාහ කළත් මේක තමයි අපිට ලැබුණ අවස්ථාව. මට වගේම ධර්මප්‍රිය ඩයස් අයියාටත් මේ අවස්ථාවට සහභාගි වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ ගැන පුංචි දුකක් තියෙනව. මේ වෙලාවෙ අපේ ධර්ශන් ධර්මරාජ් අයියව ආදරෙන් මතක් කරන්න ඕන. ඔහුට ආදරය කරන ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නව. ඔහු අද අපි අතර නැති වුණත් අපි හදවතින්ම ආදරය කරන කලාකරුවෙක්.


පාස්පෝට් සඳහා අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


මට මේ සඳහා ආරාධනා කරන්නෙ පාස්පෝට් සහාය අධ්‍යක්‍ෂවරයා. ක්‍රිස් ඇන්තනී මහතාටත් ස්තූතිවන්ත වෙන්න ඕන ‘නිලා’ ගේ චරිතයට මාව තෝරා ගැනීම වෙනුවෙන්.


ඔබේ රංගනය ගැන මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් කතාවෙනව. එය ඔබට දැනෙන්නෙ කොහොමද?


ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද ලලිත් රත්නායක මහත්මයාගේ ‘ජීවිතේ එක දවසක්’ හි ශාරදා කියන චරිතය හරහා පසුගිය කාලයේ ගොඩක් කතාබහට ලක්වුණා. ශාරදා වගේම නිලා කියන්නෙත් දමිළ යුවතියකගෙ චරිතයක්. මං හිතනව ප්‍රේක්‍ෂකයන් ඒ වෙනසට වැඩිපුර කැමති ඇති කියල.


විදෙස්ගත වෙන්න කලින් භාරගත් නිර්මාණ තියෙනවද?


නැහැ, මම භාරගෙන තිබුණ හැම නිර්මාණයකම වැඩ අවසන් කරල තමයි මේ ගමන ආවෙ.


නිලා වෙනුවෙන් කළ කැපකිරීම් මොන වගේද?


නිලා කියන්නෙ වතුකර දමිළ යුවතියක්නෙ. ඉතින් දමිළ අභාසය, බොඩි ලැන්ග්වේජ් එක, වොයිස් ටෝන් එක වගේ දේවල් හදාගන්න සිද්ධ වුණා. ඒ ලොකේෂන්ස්වලට ගියාට පස්සෙ ඔවුන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම අධ්‍යක්‍ෂවරයාත් ලොකු සහයෝගයක් ලබාදුන්නා චරිතයට හැඩගැහෙන්න.


අමතක නොවන සිදුවීමකුත් වුණා කියල ආරංචියි?


ඔව්, මේක සිද්ධ වුණේ දියලුම දිය ඇල්ල ළඟ. එක සීන් එකෙන් පස්සෙ යන්නෙ සෝන්ග් එකකට. එතනදි මට කෙළින්ම මුණින් අතට වතුරට වැටෙන්න තියෙනව. එදා ඒ කොටස පෙර පුහුණුවීම් පවා සිදු කළා. මොකද ගල් තිබුණොත් ඔළුව වදිනව. ඒ නිසා ඒ බාධකත් ඉවත් කරල, බය නැතිවෙනතුරු ඉඳල තමයි සූදානම් වුණේ. කොහොම හරි අපි හරි ලස්සනට ඒ සීන් එක කළා. හැබැයි අන්තිමේ නහයටත් වතුර ගිහින් හරිම අමාරු වුණා.


නිලාගෙ ආදරය නයනතාරාට දැනුණෙ කොහොමද?


ඒ ආදරයනම් විශේෂයි. අපි ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යවලින්, චිත්‍රපටවලින් දකින්නෙ පිරිමි ළමය ගැහැනු ළමය පස්සෙ යන චරිත. මෙතනදි ඒක වෙනස් වෙනව. ඇයගේ ආදරය ගැන කතාකරනව නම්, නිලා කියන්නෙ හරිම අවංක, අදරය ගොඩක් බලාපොරොත්තුවන, කටකාර චරිතයක්.


ඔබ ‘පාස්පෝට්’ බැලුවද?


ඇත්තටම මට තවම මේ නිර්මාණය බලන්න බැරි වුණා. මං හිතන්නෙ අපේ කණ්ඩායම වගේම ෆීල්ඩ් එකේ හැම ආටිස්ට් කෙනෙක්ම වගේ මේ චිත්‍රපටය බැලුව. මීඩියා ෂෝ එක තියෙන වෙලාවෙත් මම හිටියෙ ඔස්ටේ්‍රලියාවෙ ෂූට් එකක. මං හිතන්නෙ මට විතරයි තවම බලන්න බැරි වුණේ.


ලංකාවෙන් ගිහින් කොච්චර කාලයක් වෙනවද?


මං හිතන්නෙ දැන් මාස හයකට වැඩියි.


මේ ජනප්‍රියත්වය ඔබට දැනෙන්නෙ කොහොමද?


ප්‍රසිද්ධ වෙන්න ඕනම කෙනකුට පුළුවන්. හැබැයි ජනප්‍රියත්වය ලැබෙන්නෙ කලාතුරකින් කෙනකුට. ඉතිං මම හිතනව අද මම ලබන ජනප්‍රියත්වය මගේ පෞද්ගලික ජීවිතයටත්, වෘත්තීයමය ජීවිතයටත් ලොකු ආශිර්වාදයක් කියල.


දමිළ චරිතයක් රඟපෑවෙ පළමුවැනි වතාවට?


ඔව්, මම දමිළ චරිතයක් මුල්ම වතාවට රඟපෑවෙ පාස්පෝට් සිනමාපටයෙ. මෙහි රූගතකිරීම් කරන කාලෙ වන විට ‘ජීවිතේ එක දවසක්’ නිර්මාණයේ ‘ශාරදා’ චරිතය රූගතකරල තිබුණෙ නැහැ.


ජගත් චමිලගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?


ඇත්තටම කියන්න ඕන, ජගත් අයිය කියන්නෙ ඉතාමත් නිහතමානී, වැඩකරන්න ඉතාමත් පහසු හරිම ආදරණීය චරිතයක්. හැම කොටසක්ම අපි හොඳට රිහර්සල්ස් කරල තමයි කළේ. මොනව හරි අඩුපාඩුවක් තිබුණත් ඔහු ඉතාම ආදරෙන් ඒ කියලදීල නිවැරදි කරනව. මේක අපි හරිම ආදරෙන්, ආදරණීයව කරපු නිර්මාණයක්.


ඉදිරියට එන්න තියෙන වැඩ මොනවද?


‘මෙරින් ඩ්‍රයිව්’ චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතව තියෙනව. බොහෝදුරට ලබන අවුරුද්දෙ ඒකත් දැකබලාගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනව.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post