ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවෙන් අපේ පවුලටම ලැබුණු සම්මානයක්

 



රූකාන්ත – චන්ද්‍රලේඛා යනු ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණය කළ තරු යුවළකි. ඔවුන් පිළිබඳව නොදන්නා, ඔවුන්ගේ ගීතයක් අසා නැති, මුමුණා නැති කෙනෙක් නැති තරම් ය. ඔවුන් බිහිකළ පිරිස මෙන්ම ඔවුන්ගේ අඩිපාරේ ගිය පිරිස ද බොහෝය. ඔවුන් දැමූ ශක්තිමත් අඩිතාලම මත ගොඩනැඟුණු ඊළඟ සංගීත පරම්පරාව ද අද සම්මාන පිට සම්මාන ලබමින් දෙස් විදෙස් ඇගැයීමට පාත්‍රවීම ලාංකේය අපට ආඩම්බරය ගෙන දෙන්නකි. ඔස්ට්‍රේලියානූ වික්ටෝරියා පාර්ලිමේන්තුව පසුගිය දා රූකාන්ත – චන්ද්‍රලේඛා පවුලම සම්මානයෙන් ඇගැයීමට පාත්‍ර කළේ ඔවුන් කලාව උදෙසා මෙන්ම ඔස්ට්‍රේලියාව වෙත දැකවූ දායකත්වය සැලකිල්ලට ලක්කරමිනි. එවන් ගෞරවයක් ලද පළමු ශ්‍රී ලාංකේය පවුල වීමේ නිහතමානීත්වය පෙරදැරිව චන්ද්‍රලේඛා පෙරේරා  අප හා කතාබහට එක් වූවාය.


ශ්‍රී ලාංකේය සංගීත කලාව තුළ අනන්‍යතාවක් ගොඩනඟාගත් ඔබ දෙපළට පසුගිය දා ඔස්ට්‍රේලියානූ පාර්ලිමේන්තුවෙන් විශේෂ සම්මානයක් හිමිවුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒක ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවෙන් අපේ පවුලටම ලැබුණු සම්මානයක්. ඔවුන් මුල ඉඳන්ම අපිව ජජ් කරලා තිබුණා. අපි ඔස්ට්‍රේලියාවත් එක්ක කලා කටයුතුවලට සම්බන්ධ වෙන වාර ගණනත් සැලකිල්ලට ගෙන තිබුණා. ගොඩක් සැරයක් අපි ශ්‍රී ලංකන් කොමියුනිටි එකත් එක්ක වැඩ කරනව දැකලා ඒක අගය කිරීමක් විදිහට තමයි මේ සම්මානය අපේ පවුලට ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ. 7 Zone Entertainment කියන ඔස්ට්‍රේලියානු කම්පැනි එක හරහා තමයි ඔවුන් අපිව සම්බන්ධ කරගත්තේ. පසුගිය දා ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු අපේ ෂෝ එක සංවිධානය කළෙත් ඔවුන්. ඒ සඳහා මූලික වෙලා වැඩකටයුතු කළේ අපේ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්. ඒක ලොකු සෙනඟක් සම්බන්ධ වුණු අති දැවැන්ත ෂෝ එකක්. ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ප්‍රසංග පවත්වන හෝල් එකක පැවැත්වුණෙත්. ඒ වගේ දැවැන්ත ශ්‍රී ලංකා ප්‍රසංගයක් පැවැත්වුණු පළමු අවස්ථාවත් ඒක. ඒ දිහාත් බලලා මේ සම්මානය අපේ පවුලට හිමිවිය යුතුයි කියලා ඔවුන් තීරණය කරල තිබුණා. අමෙරිකාවෙ සිටිද්දි වුණත් අපි නිතරම ඔස්ට්‍රේලියාවට ආවා ගියා. ඒ වගේ රටකින් එවන් ඇගැයීමක් ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.


අමෙරිකාවෙත් ඔබ ගොඩක් කාලයක් හිටියා නේද?


ඔව්. අපි අමෙරිකාවේ අවුරුදු 15ක් හිටියා. එහේ හිටියත් අපි සංගීතයෙන් ඈත් වුණේ නෑ. දිගටම සංගීත කටයුතුවල නිරත වුණා. මෙහෙන් ගිය ගොඩක් අය එහේ පදිංචි වෙලා ඉන්නවා. රූකාන්ත එයාලත් එක්ක එකතු වෙලා බෑන්ඩ් එකක් හදාගෙන එහේ ප්ලේ කළා. යුරෝපයෙත් ප්ලේ කළා.


දැන් ලංකාවට ඇවිල්ලත් කාලයක් වුණානේ. කොහොමද ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනා?


ඔව්. ලංකාවට ඇවිල්ලත් දැන් අවුරුදු 5ක් විතර වුණා. එදා ලැබුණු ඒ ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් වෙලා නෑ. මේ තරම් කල් ගිහිල්ලත් අදටත් ඒ වගේ ආදරයක් ලැබීම ලොකු සතුටක්. ඒ ආදරෙත් එක්ක මෙච්චර කාලයක් අපි ලංකාවෙ හිටියෙ නෑ කියලා මට දැනුණෙවත් නෑ. ප්‍රේක්ෂකයො අපට කවදාවත් ඒ හැඟීම දැනෙන්න ඉඩ දුන්නෙත් නෑ. ඒ නිසා අවුරුදු 15ක් ගිහිල්ලත් ආයෙම මුල ඉඳන් පටන් ගත්ත කියල හැඟුණෙවත් නෑ. එදා ඉඳලම හිටිය වගේ මට දැනුණේ. සංගීත ප්‍රසංගවලටත් ගොඩක් ආරාධනා ලැබෙනවා. මම නම් ගොඩක් ඈත ඒවට සහභාගි වෙනවා අඩුයි. රූකාන්ත නම් ගොඩක් ඒවට සහභාගි වෙනවා. මේ දවස්වලත් ඔහු ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ. මේ අවුරුදු 5ට රූ සඳ රෑ ප්‍රසංගයත් දෙවතාවක් පැවැත්වුණා.


රූ සඳ රෑ ප්‍රසංගය ගැන නම් කතා කළ යුතුමයි. මේ වෙද්දි ප්‍රසංග කීයක් විතර කරල තියේද?


ඇත්තම කිව්වොත් කවුන්ට් කරල නම් නෑ. මං හිතන්නේ 300කට වඩා කරලා ඇති. ගොඩක්ම කළේ පිටරටවල. ප්‍රසංගය පටන් ගත්ත දවසෙ ඉඳන්ම පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. කවදාවත් සෙනඟ අඩුවක් වුණේ නෑ. අදටත් එහෙමයි. මුලින්ම රූකාන්තයි මමයි විතරයි සම්බන්ධ වුණේ. ඒත් මේ වෙද්දි අපේ දරුවනුත් එකතුවෙලා ඉන්නවා.


රයිනි, වින්ඩි වගේම සණුකත් මේ වෙද්දි රූ සඳ රෑ ප්‍රසංගයේ සාමාජිකයන් බවට පත්වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඒ ගැන නම් ගොඩක් සතුටුයි. කලින් අපි දෙන්නගෙ ප්‍රසංගය දැන් අපේ පවුලේ ප්‍රසංගයක් බවට පත්වෙලා. අපේ ප්‍රසංගය ඉදිරියටත් කරගෙන යන්න එක්කෙනෙක් නෙවෙයි දැන් තුන් දෙනෙක්ම ඉන්නවා. රයිනි, වින්ඩි වගේම සණුක පුතත් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔහුත් හරිම දක්ෂ දරුවෙක්. එයාල ඒක හොඳින් කරගෙන යන එක ගැන ගොඩක් සතුටුයි. අපි නැතත් එයාල ඒක ඉස්සරහට කරගෙන යාවි කියන බලාපොරොත්තුව දැන් තියෙනවා. ලංකාවේ වගේම විදෙස් රටවලිනුත් ගොඩක් ආරාධනා ලැබෙනවා.


රයිනි වින්ඩි කියන්නෙත් රසික ආදරය ඉහළින්ම දිනාගත් ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ දෙන්න ගැන මොකද හිතෙන්නේ?


රයිනියි වින්ඩියි බැලුවොත් දෙන්න දෙවිදිහක්. සමානකම් නැතුවමත් නොවෙයි. ඔවුන් ඔවුන්ටම ආවේණික පාරවල් හදාගෙන ඉදිරියට යනවා. දෙන්නම තමන්ගෙම කියල නිර්මාණ කරගෙන යන එක සතුටක්. වින්ඩි රයිනිට වඩා නිහඬව ගමනක් යනවා. දෙන්නම සංගිතයට දක්ෂයි. අනවශ්‍ය දේවල් නොකර එයාලට සුදුසු දේවල් කරගෙන යන එක ගැන සතුටුයි.


ඔබේ දියණියන් තිදෙනාටම ඔබේ හඬ ඇවිත් කියල කිව්වොත්?


මගේ හඬම තියෙනවා කියල නම් කියන්න බෑ. ඒත් හඬේ සමානකම් තියෙනවා. තුන් දෙනා ගත්තොත් තුන් විදිහක්. මට දැනෙන විදිහට ශ්‍යාමිගෙ හඬ ගොඩක් දුරට මගේ හඬට සමානකම වැඩියි කියලයි මට හිතෙන්නේ. රයිනිටයි වින්ඩිටයි රූකාන්තගෙ හඬේ ටිකකුත් තියෙනවා කියල හිතනවා.


ඔබේම ගීත කීයක් විතර මේ වෙද්දි ගායනා කරල තියෙනවද ?


එහෙම කවුන්ට් කරල නම් නෑ. 350/400 වගේ ඇති කියල හිතෙනවා.


රූකාන්ත චන්ද්‍රලේඛා කියන්නේ එදා ඉඳන්ම එකටම ගිය දෙදෙනෙක්. කොහොමද මේ ගැළපීම සිදුවුණේ?


ඇත්තටම මෙහෙම වෙයි කියලා හිතලා අපි කරගත්ත දෙයක් නම් නෙවෙයි. අපි දෙවියන් වහන්සේ ගොඩක්ම අදහනවා. උන් වහන්සේ ආශීර්වාදය දීල ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුව අපේ ලොකුකමක්වත් දක්ෂකමක්වත් නිසා නෙවෙයි එහෙම ගැළපීමක් ඇති වෙලා තියෙන්නේ. දැනට අවුරුදු 35ක් අපි හරිම සහයෝගයෙන් ලස්සනට ජීවත් වෙනවා. එදා ඉඳන්ම ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


චන්ද්‍රලේඛා පෙරේරා කියන චරිතය හැමෝම හඳුනගත්තේ තමන්ටම ආවේණික විශේෂ කටහඬක් තියෙන ගායිකාවක් විදිහට. ඒ සුවිශේෂී ගායිකාව නිළියක් වෙන්නෙ කොහොමද කියල කිව්වොත්?


ඒක නම් මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. අපි තරුණ සේවා සභාවේ ඉද්දි අපේ සංගීත වැඩසටහන් ඔක්කොම කළේ ටෙලිසිනේ එකෙන්. ටෙලෙසීන් එකේ ඩිරෙක්ටර් ඩී.බී. නිහාල් සිංහ ඔහුගේ රේඛා කියන ටෙලි නිර්මාණයට මාව තෝර ගත්තා. ඊට පස්සේ ඔහුගේම නදී ගීතය කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ කරගත්තා. ඊටත් පස්සේ චන්ද්‍රරත්න මාපිටිගමගේ සොල්මන් පාය ටෙලි නිර්මාණයටත් රංගනයෙන් දායක වුණා. ටෙලි නිර්මාණ තුනටම ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වුණේ. විදිහට තමයි මං රංගනයට සම්බන්ධ වුණේ. එහෙම නැතුව කවදාවත් මං රඟපෑම හොයාගෙන ගිහින් ලබාගත්ත දෙයක් නෙවෙයි. ඉබේම මට ලැබුණු දෙයක්.


රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයා ඔබව පිළිගත්තා. ඇයි ඉතින් රංගනයට සමුදුන්නේ?


බබාල ලැබුණට පස්සේ මට රංගනයට දෙන්න කාල වේලාවක් හොයාගන්න අමාරු වුණා. මමයි රූකාන්තයි දෙන්නම සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. මේ කාලෙ වගේ නෙවෙයි මුල් කාලෙ එක දවසට 2/3 වැටෙනවා. ගිහින් එද්දි එළිවෙලා. බබාලව බලාගත්තෙත් අපේ අම්මා. ඒ ඇවිල්ලත් සමහර දාට නැවත රෙකෝඩින්වලටත් යන්න වෙනවා. බබාල එක්ක ඉන්නවත් වෙලාවක් නැතුව යනවා. දවල්ට වුණත් ටික වෙලාවයි ඉන්න ලැබෙන්නේ. රෑට නැවත ප්‍රසංග. රංගන ක්ෂේත්‍රයට ආව අලුත හරිම කාර්යබහුලයි. ඒ නිසාම මට හිතුණා රඟපාන එක ටිකක් අමාරුයි කියලා. තවත් ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් බබාලගෙ වැඩ නිසා ඒක එහෙමම මඟහැරුණා.


ගායනය ද රංගනය ද වඩාත් හොඳ කියල ඇහුවොත්?


ගායනයට තමයි වැඩි මනාපය. රංගනය නරකයි කියනවා නෙවෙයි. ඒත් රංගනයට වැඩි කාලයක් කැප කරන්න වෙනවා.


දැන් ඉතින් වෙලාව තියෙන එකේ රංගනයට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවද?


දැන් ඉතින් මේ වයසට ගැළපෙන චරිතයක් වෙන්න ඕන. එහෙම අවස්ථාවක් ලැබුණොත් හිතලා බලනවා.


ඔබ දෙදෙනාගේම ගීත අද තරුණ පරම්පරාව අතරේ නිතර ගැයෙනවා. විශේෂයෙන්ම රියැලිටි වැඩසටහන්වල ඔබ දෙපළගේ ගීතයක් නොගැයෙන අවස්ථාවක් නැති තරම්. ඒ ගැන මොකද හිතෙන්නේ?


රියැලිටි කලාවෙනුත් හොඳ දක්ෂයන් බිහිවෙනවා. දැනටත් කිහිප දෙනෙක් ඉන්නවා. ඒත් මං දැකලා තියෙනවා දක්ෂයන් අතරමඟදී කැපෙනවා. එහෙම කලින් කැපුණු කෙනා පස්සේ ගොඩක් ජනප්‍රිය වෙනවා. ඕනෙම දේක හොඳ නරක දෙපැත්තම තියෙනවා.


චන්ද්‍රලේඛා පෙරේරාගේ හඬට ආදරේ නොකරන කෙනෙක් ඉන්නවද කියන එකත් සැකයි. ඒත් දැන් දැන් ඒ හඬින් ප්‍රයෝජන ගන්නවා අඩුයි කියලා හිතෙන්නේ නැද්ද?


ඉස්සර ඉඳන්ම ගොඩක් දෙනාගේ ඉල්ලීමක් තියෙනවා මගේ තනි ප්‍රසංගයක් කරන්න කියලා. මගේ ගීතවලට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා.


මේ අලුත් අයත් කරන එකේ ඇයි ඔයා එහෙම දෙයක් කරන්නෙ නැත්තෙ කියල අහන පිරිස වැඩියි. අපේ රූ සඳ රෑ ප්‍රසංගය නිසා මෙතෙක් කාලෙකට මට මගේම එකක් කරන්න ඕන කියන අදහස ආවේ නෑ. ඕනකමක් තිබුණෙත් නෑ. ඒත් පස්සේ මට හිතුණා මගේ සින්දු අහන්න ආස අයත් ඇතිනේ. ඒ අය වෙනුවෙන් මම මොකක් හරි කරන්න ඕන කියලා. ඔන්න මගේ ආදරණීය රසිකයන්ට සතුටුදායක ආරංචියක් තියෙනවා. ලබන දෙසැම්බර් 07 වැනිදා නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී මගේ පළමුවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වෙනවා.


එහෙම නම් මේ වෙද්දි ඔබේ පළවෙනි ඒක පුද්ගල ගීත ප්‍රසංගයට සූදානම් වෙනවා ඇති?


ඔව්. ප්‍රසංගයේ නමත් චන්ද්‍රලේඛා. මගේ ජනප්‍රිය වුණු ගීත අතරින් ගීත 25ක් තෝරාගෙන හොඳ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සංගීතය රූකාන්ත ගුණතිලකගේ. තවත් ශිල්පීන් 20/25ක පිරිසකගේ සහභාගීත්වයෙන් ලොකු ඔචෙස්ට්‍රා එකක් ප්ලේ කරනවා. මගේ ගීතවලට ප්‍රියකරන රසිකයන්ට ඒ දිනය අමතක නොවන දිනයක් වේවි කියලා හිතනවා.



Previous Post Next Post