මම කැමතියි මට අමීර් ඛාන් වගේ කියනවට-ශෂිත ප්‍රශාන්




මේ දිනවල රූපවාහිනී නාලිකාවල විකාශය වන නාට්‍යය අතරින් ස්වර්ණවාහිනියේ විකාශය වන “සිදාදියේ සමනලියෝ” කියන්නේ වෙනස්ම කතාවක් බව ප්‍රේක්ෂක ඔබ සාක්ෂි දරාවි. එහි සිටින සියලුම නළු නිළියන් තමන්ට පැවරිලා තියෙන චරිත ස්වභාවය මැනවින් ප්‍රේක්ෂකයින් අතරට රැගෙන එද්දී, බොහෝ ප්‍රේක්ෂිකාවන්ගේ ආකර්ෂණය දිනාගන්නට සමත් වෙලා තියෙන සිදාදියේ සමනලියෝ හි SI ක්‍රිෂාන්ත සමඟ මෙවර කතාබහ. ඔහු නමින් ශෂිත ප්‍රශාන්. ශෂිත ගැන පළවන මුල්ම පුවත්පත් ලිපියත් මෙය වීම විශේෂත්වයක්.


ශෂිත කොහොමද මේ රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ


මම රඟපාන්න ඕනේ කියන ආසාවෙන් හිටිය කෙනෙක් නෙවෙයි. මගේ මිත්‍රයෙක් ඉන්නවා ප්‍රසාද් එස් වැල්ලවාය. ඔහු සහාය අධ්‍යක්ෂවරයෙක්. එයා තමයි මාව මුලින්ම කොළඹට ගෙන්න ගත්තේ “ආදරේ සුවඳ අරන්” නාට්‍යයේ සුළු චරිතයකට. එතැනින් පස්සේ මට රඟපාන්න ආසාවක් ඇති වුණා. අපේ භාෂාවෙන් කියනවා නම් මට රඟපාන්න ඕනේ කියන උණ හැදුනා. ඒ නිසාම නාට්‍යය කිහිපයකම පොඩි පොඩි චරිත කළා. පස්සේ මට හිතුණා රංගනය ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. මම ගියා සම්පත් ජයවීර සහ ධනංජය සිරිවර්ධන කරන ප්‍රාණ ඇක්ටින් ස්කූල් එකට. එතන මම අවුරුද්දක් විතර ඉගෙන ගත්තා. ඔය කාලේ ඇය, හාරකෝටිය සහ සඳ එළිය කියන නාට්‍යය වල සුළු චරිත කළා. එහෙම ඉන්න අතරේ ලැබුණු වෙනස්ම නිර්මාණයක් “සිදාදියේ සමනලියෝ” කියන්නේ.


ශෂිතගේ පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්


මගේ උපන් ගම වෙන්නේ වැල්ලවාය. මගේ තාත්තා නම් මීට අවුරුදු 17කට පෙර මිය ගියා. දැන් ඉන්නේ අම්මා අක්කා සහ මල්ලි. පාසල් ගියේ මො. රන්ජන් විජේරත්න මහා විද්‍යාලයට.


පාසල් යන කාලේ ආස කළේ කවුරු වෙන්නද?


මම ආසාවෙන් හිටියේ ගායකයෙක් වෙන්න. මම අදටත් වැල්ලවායේ තියෙන සෙෂන් ෆ්ලෑෂ් බෑන්ඩ් එකේ ගායකයෙක් විදියට ඉන්නවා. නිශාන්ත සම්පත් අපේ බෑන්ඩ් එකේ නායකයා. අපේ ටීම් එකේ නව දෙනෙක් ඉන්නවා. මට මුලින්ම නාට්‍යයකට ආරාධනා කළ වෙලාවේ මා එක්ක කොළඹ ඇවිත් කට්ටක් කෑවෙත් අපේ බෑන්ඩ් එකේ ලීඩර් නිශාන්ත සම්පත් මල්ලි.


මේ දිනවල SI ක්‍රිෂාන්තට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම ෂූටින් ඉවර වෙලා මාකුඹුරට ඇවිත් වැල්ලවාය බස් එකේ ගෙදර යන්නේ. ඒ යන මඟ දිගටම හමුවෙන අය මාව හඳුනාගෙන කතා කරනවා. ඉදිරියට මොකද වෙන්නේ කියලා අහනවා. ඒ ගැන සතුටක් තියෙනවා.



තාමත් වැල්ලවායේම ද ඉන්නේ


ඔව්. දිගටම රූපගත කිරීම් තියෙනවා නම් යාළුවන් එක්ක නතර වෙලත් ඉන්නවා. මට වැඩක් ආවම මම ඒ වැඩේ හරියටම කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මම ඉන්නේ වැල්ලවායේ වුණත් මම ඉන්න ඕනේ වෙලාවට ලොකේෂන් එකට ඇවිත් ඉන්නවා.


සිදාදියේ සමනලියෝ හි රඟපාන්න ඇරයුම් ලැබුණේ කොහොමද?


මෙහි මුල් අධ්‍යක්ෂකවරයා වන ධනංජය සිරිවර්ධන සර් මට කතා කළේ. මාව මේ සඳහා යෝජනා කළේ සුසන්ත අයියා සහ මාලින්ද අයියා. මෙතැනදී අපේ කැමරාකරණ ශිල්පී කපිල අයියා ඇතුළු සිදාදියෙ සමනලියො සෙට් එකෙ ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා.


බොහෝ දෙනා කියන්නේ ඔබ අමීර් ඛාන් වගේ කියලා


ඔව් සමහර අය කියනවා මගේ කන් දෙකත් ටිකක් ලොකු නිසා මම අමීර් ඛාන් වගේ කියලා. මම අමීර් ඛාන් වගේ වෙන්න උත්සාහ කරනවා නෙවෙයි. මගේ හිත ඇතුළේ ඉන්නේ අමීර් ඛාන් නිසා මගෙනුත් ඒ විදිය පෙනෙනවා ඇති. මම කැමතියි මට අමීර් ඛාන් වගේ කියනවට. හැබැයි මම ආසයි මටම අනන්‍ය වූ ගමනක් හදාගෙන යන්න.


රංගනය පමණ ද මේ කාලේ කරන්නේ


මම පැල්වත්ත සීනි සමාගමේ රැකියාවක් කරන ගමන් රංගන කටයුතු කරන්නේ. සීනි සමාගමේ කළමනාකරිත්වය මගේ මේ කලා කටයුතුවල‍ට ලොකු සහයෝගයක් ලබා දෙනවා.


මේ කාලය ද ජිවිතේ හොඳම කාලය?


ඇත්තටම ඔව්. පහුගිය කාලේ මාර කට්ටක් කෑවා. වැල්ලවායේ ඉඳන් ඇවිත් රඟපාලා බස් ස්ටෑන්ඩ්වල නිදාගෙන ඉඳලා ආයේ පහුවදා උදේට වැඩට ගිහින් තියෙනවා. මට රඟපාන්න ඕනේ කියන උණක් හැදුන නිසා මට මේක ඕනෙම වුණා. ඒ වෙනුවෙන් මාර කට්ටක් කෑවා. ලොකු කැපකිරීම් කළා.


ශෂිත කොහොමද ශෂිතව මේන්ටේන් කරන්නේ?


මම උදේ 6 ඉඳන් 2 වෙනකම් රැකියාව කරලා හවස 4ට ජිම් එකට යනවා. අනිවාර්යෙන් ජිම් යන එක කරනවා. නළුවෙක් වෙන්න මගේ හිතේ තියෙන හීන එක්ක මම මාවම හොඳින් ගන්නවා. රංගන වැඩමුළුවල කියලා දුන්න අභ්‍යාස වල නිරත වෙනවා. මම ආසයි මේ රංගන ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න.


අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති


මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන් මගේ මිත්‍ර ප්‍රසාද් එස් වැල්ලවාය ආදරෙන් මතක් කරන්න ඕනේ. එයා තමයි මගේ පිටිපස්සෙන් ඉන්න ශක්තිය. ඒ වගේම මට මෙතෙක් අවස්ථාවන් දුන් වසන්ත හඳපාන්ගල, ලක්ෂ්මන් පුෂ්පකුමාර, සමන් කුමාර ලියනගේ, චාමර ජනරාජ් පීරිස්, ධනංජය සිරිවර්ධන සහ ශිවගුරුනාදන් සර්ව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම මට ඉන්නවා මුදල් හදිසියක් ඇති වුණත් මගේ ළඟින්ම ඉන්න හොඳ මිත්‍රයෙක්. ඔහු ප්‍රදීප් රුවන් කුමාර. මේ හැමෝම මගේ මේ ගමනට ශක්තියක්. ඒ හැමෝම ආදරෙන් සිහිපත් කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.


අනුෂා රණසිංහ




Previous Post Next Post