රට්ටු කියන කතා අදාළම නැහැ-තාරා කළුආරච්චි



රජරටින් නිරූපණයට පිවිසි ඇය මේ දිනවල විකාශය වන ‘ලලයි ලිලයි ලයි’ හි ජීවා ලෙසින් බොහෝදෙනා අතර කතාබහට ලක්වී සිටින්නීය. ඔය අතරේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ සිනමා නිර්මාණය හරහා ද ඇගේ රංගනය මේ දිනවල දැකබලා ගැනීමට පිළිවන. නිරූපණයෙන් සහ රංගනයෙන් දස්කම් දක්වන ඇය නමින් තාරා කළුආරච්චිය. ඉතින් මේ කතාබහ ඇයත් සමගය.


තාරා මේ දවස්වල දරුණු වෙලා කියන්නේ?


ඔය කියනවා ඇත්තේ මම රඟපෑ උදයකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටය ගැන වෙන්න ඇති. මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටය තිරගත වෙනවා. ඒකෙ මම පොඩි පාතාල චරිතයකට තමයි පෙනී ඉන්නේ.


ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කොහොමද?


මට මේ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ උදයකාන්ත සර්ගෙන්ම තමයි. උදයකාන්ත සර්ගේ චිත්‍රපටවල තිර පරීක්ෂණ තියනකොට මම සහභාගි වෙලා තියෙනවා. එතකොට තමයි සර් මාව දැකලා මට මේ චරිතයට ආරාධනා කරන්නේ.


රූගත කිරීම්වලදී මුහුණදුන් අභියෝග?


ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් සමග තමයි මට රඟපාන්න හම්බවුණේ. මට ගොඩක් රඟපාන්න තිබුණේ ඉසුරු අයියත් එක්ක. මුලදී නම් මට ටිකක් බය හිතුණා. මොකද මම මේ ක්ෂේත්‍රයට නවකයෙක්. මම මෝස්තර නිරූපණ ශිල්පිනියක්. අනික මම ක්ෂේත්‍රයට ඇවිත් මුලින්ම උදයකාන්ත සර්ගේ චිත්‍රපටයකට සහභාගි වෙන්නේ. අනික මට ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා උදයකාන්ත සර්ගේ චිත්‍රපටයකට සහභාගි වෙන්න ලොකු හීනයක් තිබුණා. අන්තිමේ ඒ සිහිනය සැබෑ වුණා. ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටය හින්දා ජීවිතයට අත්දැකීම් ගොඩක් ලැබුණා.


ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර මොනවගේද?


මේ චිත්‍රපටය ලංකාවෙ තිරගත වෙන්න කලින් ඔස්ටේ්‍රලියාවේ තිරගත වුණා. විදෙස් රටවලින් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම දන්නෙම නැතිව ඉතාලියේ සහ ඔස්ටේ්‍රලියාවේ හරි ජනප්‍රිය චරිතයක් වුණා. ඒකට හේතුව මේ චිත්‍රපටය ඒ රටවල තිරගතවීම.

මේ දවස්වල පුංචි තිරයෙත් හරි ජනප්‍රියයි නේද?


සුපුන් රත්නායක සර්ගේ ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ රඟපානවා. ඊට අමතරව කියාදෙන්න ආදරේ තරම්, හිච්චි ටෙලි නාට්‍යවලත් මට හොඳ චරිත ලැබුණා. ඔය අතරින් ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ ජීවා කියන චරිතයට මාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා.


ජීවාට කට්ටිය බණිනවා ද?


අනේ එහෙම නැහැ. ජීවාට හැමෝම වගේ ආදරෙයි. මේ වෙලාවේ මම සුපුන් සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මට ලලයි ලිලයි ලයි හින්දා ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.


රඟපෑමට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඇත්තටම සතුටුයි. මම දැන් මේ අවුරුද්දට නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. ඔය අතරෙ රංගන ජීවිතයට පිවිසිලා අවුරුදු හතරක් විතර වෙනවා. ඩිලාන් අයිය තමයි මාව මුලින්ම ටෙලි නාට්‍යයකට ගත්තේ. මම මුලින්ම රඟපෑවේ විශ්ව ලංකා අයියගේ එන්කවුන්ටර් කියන ටෙලි නාට්‍යයේ. ඊට පසුව ටෙලි නාට්‍ය රැසකට ආරාධනා ලැබුණා. මම මිනිස්සු අතරට ගියේ ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයෙන්. රංගනයට පැමිණීමත් සමග ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා. මම ඒ කාර්යය හරි ආසාවෙන් කරගෙන යනවා.


නිරූපණයට ආවේ රඟපාන්න බලාගෙනම ද?


නැහැ. ඉස්සර රඟපෑමට එන්න අදහසක් තිබුණේ නැහැ. මට නිරූපණ ක්ෂේත්‍රයෙ යමක් කරන්න අදහසක් තිබුණු කෙනෙක්. මම ෆොටෝ ෂූට් එකක් කරලා දැම්මත් කට්ටිය කියන්නේ ලෝකල් ඓෂ්වර්යා රායි කියලා. මට ඒ හා සමාන රුවක් තියෙනවා කියලා ඉන්දියානු පුවත්පතක පවා මගේ ලිපියක් පළවුණා. මේ ටික කාලෙට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.


නිරූපණයට ආවෙ කොහොමද?


මගේ ගම අනුරාධපුරය. මම ඉස්කෝලෙ ගියේ නිවන්තකචේතිය ජාතික පාසලට. නමුත් තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරපු හින්දා ඉස්කෝල හත අටකට මාරුවෙන්න සිද්ධ වුණා. මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ මනාලියක් විදිහට හැඩගැන්විලා. මේ වෙනකොට පන්සිය වතාවක් මනාලිය වෙලා තිබෙනවා. දැන් තාරා කළුආරච්චි කියන නම ක්ෂේත්‍රයට නැතිවම බැරි නමක් වෙලා තියෙනවා. මම උඩරට, පහතරට, දමිළ, බටහිර කියන හැම ආකාරයකින්ම මනාලියක් වෙලා තියෙනවා. මගේ ඉන්දියානු ලුක් එකක් තියෙනවා කියලා ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ ඉන්දියානු ඩේ‍රසින්වලට. මගේ රැකියාව නිරූපණය.


රජරට ඉඳලා කොළඹ ආපු ගමනේදී මුහුණ දුන් අභියෝග එහෙම?


ක්ෂේත්‍රයේදී නම් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීලා නැහැ. ගොඩක් බාධකවලට නම් මුහුණ දුන් චරිතයක්. ඇත්තම කියනවා නම් මම නිදහස් ගැහැනියක්. ගොඩක් වෙලාවට අම්මා, තාත්තත් නැතිව මම මගේ දේවල් තනියම කරගත්ත කෙනෙක්. මේ වෙනකොට මගේ පෙම්වතාගෙන් හැමදෙයකටම සහයෝගය ලැබෙනවා. විශේෂයෙන් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ අම්මයි, තාත්තයි දුර හිටියත් ඔවුන් මගේ දිහා බලාගෙන ඉන්නවා. කොළඹදී නම් මට මගේ ඥාති අක්කා කෙනෙක්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාගෙ සැමියාගෙන් දරුවන්ගෙන් පවා මට ලැබෙන්නේ ලොකු උදව්වක්.


දැන් කොළඹ ඇවිත් කොච්චර කල් ද?


අවුරුදු නවයක් විතර වෙනවා.


ආපස්සට හැරිල බැලුවොත් මොකද හිතෙන්නේ?


ඒ ගැන මාර සතුටුයි. ඒ ගැන කියන්න වචන නැහැ. මම මේ ගමන එන්න ලොකු දුකක් වින්දා. ජීවිතයේ අඬපු වාර අනන්තයි. මේ ක්ෂේත්‍රයේ ඉන්නවා කියන්නේ දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. නිරූපණ ක්ෂේත්‍රයේ නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා නැහැ. රංගන ක්ෂේත්‍රයේ නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නිරූපණයේදී සහ රංගනයේදී කතන්දර කියන අය බහුලයි. මිනිස්සු මාර දේවල් කියන්නේ. ලොකු පිළිගැනීමක් නැහැ නිරූපිකාවකට. නිළියකට විදෙස් රටකදී ලොකු පිළිගැනීමක් තියෙනවා. අපේ රටේ සමහරු බලන කෝණ වෙනස් කරන්න බැහැ. මට වුණු හැම දෙයක්ම ජීවිතයේ අත්දැකීමක් කියලා හිතලා, ඊළඟ පියවර වෙනස් විදිහට හිතන්න පටන් ගන්නවා.


ප්‍රශ්න ආපු වෙලාවේදී මේ දේවල් දාල යන්න හිතුණේ නැති ද?


කවදාවත් මගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවොත්, මගේ වටේ ඉන්න කවුරු හැලුණත් මම ඒක ඉවර කරල තමයි පස්ස බලන්නේ. ඇත්තටම මම ටිකක් හිතුවක්කාර, නපුරු චරිතයක්. ඉක්මනට තරහ යන චරිතයක්. මට ඕනෑ ගේමකට බැස්සොත් ඒක අනිවාර්යයෙන්ම දිනන්න. මට හරි කියල හිතෙන දේ මම අනිවාර්යයෙන්ම කරනවා. අනික මගේ ටාගට් එකක් තියෙනවා. කවුරු මාව අතහැරියත් මම වැටෙන්නේ නැහැ. පුංචි කාලෙ ඉඳලම මගේ දේවල් මම තනියම කරගත්තු කෙනෙක්. මම මගේ ගේම අතහරින්නේ නැහැ. කවදාහරි මම ගහන ගේම විතරයි මට ඉතුරු වෙන්නේ කියන තැන මම ඉන්නවා. හැමෝටම අපිව හැමදාම බලාගන්න බැහැ. හැමදාම හැමදෙයක්ම හැමෝගෙන්ම යැපෙන්න බැහැ. තනියෙන් ජීවිතයේ ඉස්සරහට යන්න අපි දෙයක් කරගන්න ඕනෑ. අර කිව්වත් වගේ මම හිතුවක්කාර හින්දා සමහර වෙලාවට මම පැරදිලත් තියෙනවා. නමුත් ඒ හිතුවක්කාර වැඩ හින්දම ජීවිතයේ දිනපු අවස්ථා වැඩියි.


ඇයි ජීවිතයේ හිතුවක්කාර වැඩ කරන්න හිතුවේ?


සමහර ප්‍රශ්නවලදී අපේ දෙමව්පියො සහ අවට ඉන්න පිරිස්, ඒ ප්‍රශ්න දිහා බලන විදිහ වෙනස්. එතකොට ඒ තැන්වලදී ඒගොල්ලො ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි ගන්න තීන්දු තීරණ වැරදි වෙන්නත් පුළුවන්. මම හැමෝම කියන දේ අහනවා. නමුත් මම ක්‍රියාත්මක කරන්නේ මට ඕනෑ දේ විතරයි.


රට්ටු කියන කතා තාරාට අදාළ නැති ද?


රට්ටු කියන කතා මට කොහොමත් අදාළ නැහැ. මම කොහොමත් අහන්නෙත් නැහැ. මම හොඳ සවන්දෙන්නෙක්. හැබැයි මම කරන්නේ මට ඕනෑ දේ විතරයි.


තාරා ගත්තු තීරණ වැරදිලා නැති ද?


මම ගත්තු තීරණ ඕනෑ තරම් වැරදිලා තියෙනවා. හැබැයි ඒ මගේ පෞද්ගලික ජීවිතයේ ගත්තු තීන්දු තීරණවලදී විතරයි. ප්‍රේම සම්බන්ධතාවලදී මම ගත්තු තීන්දු තීරණවලදී වැරදිලා තියෙනවා. හැබැයි මම ජීවිතයේ කිසිම අවස්ථාවකදී එහෙම වොරි වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි දුක හිතෙනවා. හරිම සංවේදියි. මට හරියට තරහ යනවා.


රඟපෑම හින්දා නිරූපණයෙන් ඈත්වෙලා ද?


නිරූපණයෙන් ඈත්වෙලා නැහැ. මගේ ජීවිතයේ පළමු තැන ලබාදෙන්නේ නිරූපණයට. තාරා කළුආරච්චි කියන නම හැදෙන්නේ සහ මිනිස්සු අතරට යන්නේ නිරූපණය හින්දමයි. නිරූපණයට මම මාර විදිහට ගරු කරනවා. ඒක හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක්.


මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?


මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. ඒ හැමදේම ලැබෙන්නේ මිනිස්සු අපිව බලාගෙන ඉන්න හින්දා සහ ජනතාව අපිට ලබාදෙන ආදරය හින්දයි. සමහරු ඉහළට යන්න යන්න මුල අමතක කරනවා. නමුත් මම මුල අමතක කරන්නේ නැහැ. මම කිසිම මනුස්සයෙක් ඉදිරියේ ආඩම්බර නැහැ. මම වෙනස්ම චරිතයක්.


තාරා කළුආරච්චි කියන්නේ කවුද?


එක වෙලාවට හොඳට නටන්න පුළුවන් නර්තන ශිල්පිනියක්. හොඳ ක්‍රීඩිකාවක්. ඒ වගේම හොඳ ශක්තියක්, ධෛර්යයක් තියෙන තනියම නැඟිට්ට ශක්තිමත් ගැහැනියක්.


දැන් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ද?


මේ දේවල් එක්ක මම දැන් ක්‍රීඩාවෙන් ඈත්වෙලා. මම උතුරුමැද පළාතේ දැල්පන්දු, බාස්කට්බෝල්, හොකී කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට ක්‍රීඩා කළා. ඒ වගේම පිහිනුම් තරගවලටත් සහභාගි වුණා. පාසල් කාලයේ ඉඳලම මම හොඳ ක්‍රීඩිකාවක්. ඒ වගේම මම පළාත්, රාජ්‍ය නර්තන කණ්ඩායම්වල සාමාජිකාවක් විදිහට කටයුතු කරල තියෙනවා. දැල්පන්දු ජාතික කණ්ඩායමට තේරුණත් මගේ අනෙක් වැඩ කටයුතු එක්ක ඒ දේවල් කරගන්න බැරි වුණා. නමුත් ඒ ගැන දුකක් නැහැ. මට ඒ දේ අතහැරුණාට ජීවිතයේ හැමදෙයක්ම ලැබිල තියෙනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post