මා ගැන මටත් වඩා හීන දකින කෙනෙක් එයා -අප්සරා ගුණතිලක



ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන “කෝලම් කුට්ටම, නාඩගම්කාරයෝ“ ඔබ වෙත ගෙන ආ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර යුගලයේ තවත් ජනප්‍රිය ටෙලි නිර්මාණයකි. එහි යශෝධරාගේ චරිතයට පණ පොවන අප්සරා ගුණතිලක කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ තුෂාර තෙන්නකෝන්ගේ මල් පිපෙන කාලේ ටෙලි නිර්මාණයෙනි. අයේෂා දිසානායකගේ සංසාර චාරිකාවේ මියුසික් වීඩියෝව හරහා සමාජ මාධ්‍ය තුළ බොහෝ සේ ජනප්‍රිය වූ ඇය හිරු ටෙලි ෆිල්ම්වලට ද නැතුවම බැරි චරිතයකි. මේ ඇය හා කළ කතාබහයි.


කෝලම් කුට්ටමට ඔබේ දායකත්වය ලබාදෙන්නෙ මෑතකදි වුණත් දැනටමත් ඔබ ජනප්‍රිය චරිතයක්?


කෝලම් කුට්ටමේ යශෝධරා කියන්නෙ දුෂ්ටයගෙ ලොකු නංගි. ඒත් එයා හරි අහිංසකයි. අයියගෙ නරක වැඩවලට විරුද්ධව අනිත් පැත්තෙ හිටගන්න චරිතයක්. ජිනා යශෝධරාව ප්‍රේමයක පටලගන්න ගොඩක් වෙහෙසෙනවා. යශෝගේ චරිතය කතාවට සම්බන්ධ වෙන්නෙ මෑතකදි. ඒක දිගටම දිවෙන චරිතයක්. දැනටම යශෝට ලැබෙන ප්‍රතිචාර බැලුවම ප්‍රේක්ෂකයන් ඒ චරිතය ආදරෙන් භාරගෙන කියල හිතෙනවා. අයියගෙ දාමරික වැඩ අනුමත නොකරන යශෝ නිතරම අයියව ඒ නරක දේවල්වලින් ගලවගන්න උපදෙස් දෙන නංගි කෙනෙක්. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කෝලම් කුට්ටමේ ෂූටින් දිගටම කෙරෙනවා.


එතකොට අප්සරාට කෝලම් කුට්ටමට ආරාධනා ලැබෙන්නෙ කොහොමද?


2021 ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයේ අවසන් 8 දෙනා අතරට ආවා. එතැනදි තමයි සද්ධා සර්ව අඳුනගන්න ලැබෙන්නෙ. පස්සෙ දවසක සර් මට කතා කරලා කිවුවා අලුත් නාට්‍යක ගැමි පෙනුම තියෙන කෙනෙක් ඕන බලමු ද කියලා. මාත් කැමැති වුණා. පෙනුම විතරක් නෙවෙයි මගේ දක්ෂතාවත් බලල තමයි මාව තෝරගත්තෙ. මේ මං සම්බන්ධ වුණු දෙවැනි නිර්මාණය. ප්‍රධාන චරිතයකින් හමුවෙන පළමු අවස්ථාව. චරිතෙට සාධාරණයක් කරන්න පුළුවන් විදිහට කතාව වගේම චරිතයත් සර් මට පැහැදිලි කරල දුන්නා. අධ්‍යක්ෂ සිවා සර්ගේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබීමත් මට ලැබුණු හොඳ අවස්ථාවක්.


ඔබට කලාවට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


මුලින්ම මට රංගනයට අවස්ථාව ලැබෙන්නෙ දෙරණ නාළිකාවේ විකාශය වුණු තුෂාර තෙන්නකෝන්ගේ “මල් පිපෙන කාලේ“ ටෙලි නිර්මාණයෙන්. ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකකට ෆොටෝස් දාල තමයි ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මල් පිපෙන කාලේ ඒ.ඩී. උදය ප්‍රසන්න අයිය තමයි මට ස්ක්‍රීන් ටෙස්ට් එකට කතා කළේ. මල් පිපෙන කාලේ නාට්‍යයේ මාධවීගෙ චරිතයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ ඒ විදිහට. ඉන් පස්සෙ හිරු ටෙලි ෆිල්ම් රැසකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ටෙලි ෆිල්ම්වල නම් අහිංසක චරිත, නපුරු චරිත, දෙමළ චරිත ආදී විවිධ චරිත රඟපාන්න ලැබුණා. 


අප්සරා කියන්නෙ රංගනය ගැන හැදෑරීමක් කරල ආපු කෙනෙක් ද?


මං අවුරුදු 15දි කොළඹ සුදර්ශි ආයතනයේ සුගත් සමරකෝන් සර්ගෙ නාට්‍ය ඇකඩමියට සම්බන්ධ වුණේ. පාසල් කාලෙ ඉඳන්ම නර්තනය වගේම රංගනයත් මං ප්‍රධාන විෂයන් විදිහට හැදෑරුවා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා පාඨමාලාව හදාරමින් ඉන්නවා. මං උසස් පෙළ හැදෑරුව හොරණ රාජකීය විද්‍යාලයෙදි තමයි මගේ ඩ්‍රාමා පැත්ත ගොඩක් දියුණු වුණේ.


පහුගිය දවස්වල අප්සරා රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝ එකක් සමාජ මාධ්‍යවල ගොඩක් ජනප්‍රිය වුණා නේද?


මේ වෙද්දි මියුසික් වීඩියෝ 3කට රංගනයෙන් දායකවෙලා තියෙනවා. දෙකක්ම කළේ පාසල් යන කාලෙ. මේ ළඟදි කළ අයේෂා දිසානායක අක්කගේ සංසාර චාරිකාවේ එක ගොඩක් ජනප්‍රිය වුණා. ටික්ටොක්, ෆේස්බුක්වල ගොඩක් ෂෙයාර් වුණා. ඒකෙ ගීතය වගේම රූප රචනයත් හරිම ලස්සනයි.


අප්සරා ආදරය දකින්නෙ මොන විදිහට ද?


මුලින්ම සම්බන්ධයක් පටන් ගනිද්දි අපි ගොඩක් හීන දකිනවා. ආදරය බිඳවැටීම්වලදි තමයි අපිට ලොකු පාඩම් වගේම අත්දැකීම් ලැබෙන්නෙ. එතනදි අපිට පුළුවන් වෙනවා මිනිස්සු කවුද කියලා හඳුනගන්න. දැන් මට ලැබිල ඉන්නෙ හරිම කෙනා කියලා හිතෙනවා. මං මේ ෆීල්ඩ් එකේ අවසානයේ කොතැනට ද යන්න ඕන කියල දකින හීනයක් තියෙනවානේ. අන්න ඒ හීනෙ ගැන මටත් වඩා හීන දකින කෙනෙක් එයා. මගේ නිදහසට බාධාවක් නොවෙන විදිහට මාව ආරක්ෂා කරන කෙනෙක්. එයත් කලාවට සම්බන්ධයි. එයාගෙ විශ්වාසයත් රැකගෙන මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.


නාමලී ගමගේ




Previous Post Next Post