ඇත්තටම ආදරය නැතුව ජීවත් වීම අසීරුයි-සනත් ගුණතිලක



1947 ජනවාරි 21 වැනිදා තිරගත වූ කඩවුණු පොරොන්දුවේ සිට මේ මොහොත දක්වා දිගහැරෙන සිංහල සිනමා වංශ කතාවේ සනත් ගුණතිලක කියන්නෙ ස්වර්ණවත් පරිච්ඡේදයක්. 


ඒ සනත් ගුණතිලක ඔබ දකින්නේත් ඔබ විවරණය කරන්නෙත් කොහොමද?


සිනමාවට පිවිසෙන්න කිසිම වුවමනාවක් හැඟීමක් තිබුණු කෙනෙක් නෙවෙයි මම. ඒක අහම්බයක්. වාණිජ වේවා, කලාත්මක වේවා, වර්ගීකරණයක් නැතුව ඕනෑම චිත්‍රපටයක් නරඹන්න ආසා කරපු කෙනෙක් විතරයි මම ඒ කාලෙ. මගේ අධ්‍යාපන කටයුතු නොහිතුව විදිහට කඩා වැටුණු නිසා රැකියාවක් කරන්න ඕනෑ කියන හිතුවිල්ලත් එක්ක මගේ ගැටවර හිත මුරණ්ඩු වුණා. ඒත් ඒකට ගෙදරින් අනුබලයක් තිබුණෙ නෑ. දාපු කිසිම රැකියාවකට මාව තෝරගත්තෙත් නෑ. මම හිතුවා කොළඹට ආවොත් මට රස්සාවක් හොයාගන්න පුළුවන් කියලා. ඒ කොළඹට ආව මම විජය ධර්මශ්‍රීගේ සිටුකුමරියේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණා.


Qඑකපාරටම නළුකමේ වගකීම දෙවුර දරද්දි ඔබ තිගැස්සුණාද?


ප්‍රධාන නළුවා වුණාට පස්සෙ ඇත්තටම මම බය වුණා. රඟපාන්න පුළුවන් වෙයිද කියන හිතුවිල්ල හිතට ආවා. ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච මට මහා ආශිර්වාදයක් වුණේ විජය ධර්මශ්‍රීමයි. විජය ධර්මශ්‍රී සහෝදරයෙක් වගේ මගේ ළඟ ඉඳන් මට කියා දුන්න දේවල්, කේ.ඩී. දයානන්ද කියන මගේ ඡායාරූප ශිල්පියා දුන්න අවවාද, බල කිරීම මාව යොමු කළා ඉදිරියට මම කළ යුත්තෙ මොකක්ද කියලා හිතන්න. එතැනින් එහාට මම සිනමාව ගැන යම් දැනීමක් ලබාගන්න උත්සාහ කළා. රංගනය ගැන හදාරන්න පාසලක්වත්, විශාල වශයෙන් පත පොතක්වත් අපට තිබුණෙ නෑ. බොහෝ විට මම කළේ සිනමාවට සම්බන්ධ නළු නිළියන් වේවා, කාර්මික ශිල්පීන් වේවා, එහෙම නැත්නම් වෙනත් පළපුරුදු අය වේවා, විචාරකයො වේවා, සිනමා මාධ්‍යවේදීන් වේවා, ඔවුන් තුළ තිබුණා වූ දැනුම උකහා ගනිමින් එය පරිශීලනය කිරීම. 


ඔබ නළු භූමිකාවෙන් එහා එක්තරා ගවේෂකයෙක්?


1970 සිට යුගයෙන් යුගයට සිනමාවේ ප්‍රගමනයක් තියෙනවද, අවගමනයක් තියෙනවද, කඩා වැටීමක් තියෙනවද කියන එක හොයන්න වුවමනාවක් සහ හැඟීමක් මට ආවා. මම කියූ බොහෝ කරුණු අදටත් වලංගුයි. ඒත් අද මාව අවලංගුයි. මම ඒ කරුණු කීවෙ මගේ අත්දැකීමෙන් විතරක් නෙවෙයි, බොහෝ දේ ගැඹුරට හදාරලා 2016 මම සිංහල සිනමාව සහ මම කියලා පොතක් නිකුත් කළා; ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායකගේ ග්‍රන්ථ ප්‍රකාශනයක් විදිහට. මම කිව්වා මේ පොතේ වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒ නිසා පොත අධ්‍යයනය කරන කෙනෙක් ඒවා නිවැරදි කරන්න කියලා. නැත්නම් මොකද ඒ වැරදි සත්‍ය කරුණු කියලා හිතුවොත් ඒක මම කරන අපරාධයක් කියලා. ඒත් මේ පොත කියවලා කිසියම් ආකාරයක කරුණු දැක්වීමක් කළේ ඩී.බී. නිහාල් සිංහ මහතා විතරයි. මගේ පොත කවුරුවත් කියෙව්වෙ නෑ කියලා මට දුකක් නෑ. මම ගැටලු විදිහට දැකපු බොහෝ දේවල් අදටත් ගැටලු. ඒවාට ස්ථිරසාර පිළියම් යොදන්න අසීරුයි. සිනමා කර්මාන්තය කියන්නෙ විවෘත ආර්ථිකයත් එක්ක රටකින් රටකට වෙනස් වෙන දෙයක්. අදටත් අපට සිනමාව ගැන ජාතික ප්‍රතිපත්තියක් නෑ. මගේ ජීවිත කාලය තුළම හැදෙන එකකුත් නෑ. මුල් කාලෙ සිනමාව ගත්තම ඒ පිටුපස සිටි සංගීතඥයන්, අධ්‍යක්ෂකවරු බොහෝ අය දමිළ අය. එය තවත් ව්‍යාපාරයක් වූ නිසා ඔවුන් සිංහල චිත්‍රපට හැදුවා. මොකද මේ රටේ වැඩි ජනගහනයක් සිංහල නිසා ඔවුන් කිසි අවස්ථාවක උත්සාහ කළේ නෑ දමිළ චිත්‍රපට හදන්න. අපට දමිළ සිනමාව අහිමි වෙන්න එය තමයි හේතුව. 


Qදමිළ සිනමාවක් තිබුණානම් ජනවාර්ගික ප්‍රශ්නයේදිත් ඒ සිනමාවට බොහෝ දේවල් කළ හැකිව තිබුණා නේද?


උතුරුකරයේ පෙන්වන දමිළ චිත්‍රපටවල විජය කුමාරණතුංග වගේ නළුවෙක් රඟපාන විදිහට චිත්‍රපට හැදුණා නම් දේශපාලනයට කළ නොහැකි වූ බොහෝ දේවල් ජනවාර්ගික ප්‍රශ්නයෙදි සිනමාවට කරන්න තිබුණා. දමිළ සිනමාව ගොඩනැගීමට ඇත්තටම උත්සාහ කළේ දමිළ සිනමාවේදීන් නෙවෙයි සිංහල සිනමාවේදීන්. මම දැන් ඉන්න ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා පුළුවන් නම් සිනමා කර්මාන්තය කර්මාන්තයක් විදිහට ගැසට් කරන්න කියලා. මම සිනමා නළුවෙක් වෙච්ච එක ගැන, අධ්‍යක්ෂකවරයෙක් වෙච්ච එක ගැන සතුටු වෙනවා. මම කරලා තියෙන දේ බොහොම පොඩ්ඩයි. අදටත් සිනමාවේ අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, ප්‍රදර්ශකවරු මාව දැක්කම සිනමාවේ බොහෝ ප්‍රශ්න ගැටලු මා වෙත ඉදිරිපත් කරනවා. සිනමාවේ උන්නතිය සඳහා කර්මාන්තයක් විදිහට නගා සිටුවීම සඳහා මම කළේ මොනවද කියලා දන්නෙ මම විතරයි. දන්න අය ඉන්නවා. මතක තියෙන අය ඉන්නවා. ඒත් මට වැඩිපුරම ලැබුණෙ අපහාස උපහාස. ඒත් අද දවසෙ මට ඒ සියල්ල පහසුවෙන් විඳදරා ගන්න පුළුවන්.


Qඔබට ප්‍රබලව චෝදනා එල්ල වුණා ජනාධිපතිවරු යටතේ, ප්‍රබල බලයක් යටතේ වැඩ කළත් සිනමාව වෙනුවෙන් කිසිවක් කළේ නෑ කියලා. ඒ චෝදනාවට දෙන උත්තරේ මොකක්ද?


එහෙම චෝදනා කරපු අය ජනාධිපතිවරු යටතේ ඉද්දි සිනමාවට මොනවද කළේ. එහෙම කළා නම් සිනමාවට මෙහෙම වෙයිද? දේශපාලනය හා සිනමාව ගැන අපි දවසක වෙනම කතා කරමු. දේශපාලන මැදිහත්වීමක් ඇයි සිනමාවට නොලැබුණේ, අපෙන් යම් ආකාරයක ප්‍රයෝජනයක් අරගෙන නැවත වතාවක් අපිව අමතක කර දැමීමයි සිද්ධ වුණේ කියන එක මම කරුණු සහිතව කියන්නම්.


වෙනස් නොවුණු ප්‍රේක්ෂක ආදරයක් එදා මෙදා තුර හිමිකරගත් නළුවෙක් ඔබ. ඒ ආදරය පපුව පතුලටම දැනෙනවද?


ඒ තමයි මට තියෙන ලොකුම වත්කම. ලොකුම හයිය. චිත්‍රපටවල තිරගත වීම දැන් අඩුයිනෙ. ඒ නිසා ටෙලිනාට්‍යයක හරි ඉන්න කියන අය ඉන්නවා. මගේ චිත්‍රපටවලට ලොල් බැඳපු, තරුණ වියේදී ඒවා නරඹපු අය අදටත් කතා කිරීම මට ලොකු සතුටක්. මාත් එක්ක අලුතින් වැඩ කරන අයට මම කියන්නෙ මේකෙ සනත් හොඳට රඟපාලා කියන එක වැඩක් නෑ. ඒක ඔයාලත් අහන්න ඕනෑ. ඒ නිසා ඔයාලත් හොඳට රඟපාන්න කියලා. විජය කුමාරණතුංග වගේ පෙම්වතෙක්, කඩවසම් පුද්ගලයෙක් සිනමාවට එකතු කරලා බය නැතුව ආයෝජනය කරන්න කැමති පුද්ගලයෙක් හොයාගන්න අමාරුවෙලා තියෙනවා. මාත් එක්ක වැඩ කරන බාල පරම්පරාව මගේ උපදෙස්වලට හොඳ ප්‍රතිචාර දැක්වීමම මට සතුටක්. අපි තමයි පොරවල් කියලා හිතන තැනට ආවොත් නම් ඉක්මනින්ම නැතිවෙලා යනවා. ඒක තමයි හරිම කනගාටුදායක දේ. මේ කෙල්ල කවුද, මේ කොල්ලා කවුද කියලා අහන්න හිතෙන තරමට රඟපාන, ගයන අය හමුවෙනවා නම් අපි වාසනාවන්තයි කියන තැන තමයි මම ඉන්නෙ. 


Qරඟපාන බව නොදැනෙන්න එතරම්ම ස්වභාවික විදිහට චරිතයක් එක්ක හුස්ම ගන්න රහස මොකක්ද?


කැමරාව ඉස්සරහට ඇවිල්ලා දෙබස් ටික කියලා ගියාම ඇති කියලා හිතන නළු නිළියො ඉන්නවා. අද ටෙලිනාට්‍යයක් ගත්තාම ටෙලිනාට්‍ය කරන්න වැය වන මුදල, ශ්‍රමය සහ කාලය මේ තුනත් එක්ක නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා පුදුමාකාර තරගයක ඉන්නෙ. පැය 24ම ෂූටින් කරලා සමහර විට පහුවදාත් කරනවා. එහෙම කරලා කොහොමද උපරිම සාරය ගන්නෙ. මනුස්සයෙකුට කායිකවත් මානසිකවත් විවේකය අවශ්‍යයි. කාලය, ශ්‍රමය, මුදල කියන සාධක මුල් කරගෙන නිර්මාණ කරපු ගමන් මෝල් ගස් ගිලපු පිඹුරො වගේ දෙබස් කියනවා, රඟපානවා ආයේ දකින්න වෙන්නෙ. කට්ට කෑම කියන එක උපරිමයෙන් කරපු නළුවෙක් තමයි ගාමිණී ෆොන්සේකා. අවසානයේ ඔහු නතර වුණු තැන මොකක්ද? ජෝ අබේවික්‍රම ගත්තත්, ටෝනි රණසිංහ ගත්තත්, රවීන්ද්‍ර රන්දෙණිය ගත්තත් අද අපිට ඉන්න ප්‍රවීණතම දක්ෂතම නළුවා වන සිරිල් වික්‍රමගේ ගත්තත් ඒ අය කෙටි මාර්ගවලින් තමන්ගෙ ගමන නොගිය අය. ගඟ අද්දර කරද්දි චිත්‍රපටයට දායක නොවුණත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඈතින් ඉඳගෙන ඉන්නවා. කවුරුත් එතැනට ගිහිල්ලා කතා කරන්නෙ නෑ. එතුමා ආඩම්බරකාරයෙක් නෙවෙයි. කවුරු හරි කතා කරනවට හරි ආසයි. ඒත් ගොඩනගාගෙන තිබුණු ගෞරවණීය ප්‍රතිරූපය තමයි ඒ. ඔවුන් දුන්න දායකත්වය තුළින් රංගනය ගැන සියල්ල අල්ලගන්න කෙනා අල්ලගන්නවා. මම ඒක අල්ලගත්තෙ බයට. මගේ පරමාදර්ශී නළුවා තමයි ටෝනි රණසිංහ. ගඟ අද්දර චිත්‍රපටයේ ඉඳන් මම ඔහුගෙන් යම් යම් දේවල් අහනවා. සමහර විට ඔහු දෙන උත්තර මට තේරෙන්නෙ නෑ. ඒවා මට තේරුණේ පහු කාලෙක ඔහුගේ චිත්‍රපට නරඹද්දි. අහසින් පොළොවට, පවුරු වළලු වගේ චිත්‍රපට බලද්දි. ඒ වාතාවරණය අද කාලය, ශ්‍රමය සහ මුදලට පෑගිලා විනාශ වෙලා ගිහින්. නළුවෙකුගේ කැපවීම, දායකත්වය, මහන්සිය, උනන්දුව ඒ සියල්ල සමඟින් මානසික නිස්කාංසු සුවය අවශ්‍යයි. 


Qවිරාගය චිත්‍රපටයේ ඔබේ චරිතය ඒ හදගැස්ම මගේ මතකයේ සදාතනිකව රුඳුණු තැනක්. විරාගයේ අරවින්ද වෙනුවෙන් දැනුණු ප්‍රතිචාර සිහිපත් කරමුද?


විරාගයේ අරවින්ද තුළින් තමන්ට දැනුණු කම්පනය ගැන හුඟක් ප්‍රේක්ෂකයන් මට තම සංවේදීතාවය දක්වලා තියෙනවා. විරාගය පෙන්වද්දි සමහර ළමයි ඇඬුවා. මම ඇහුවා ඇයි අඬන්නෙ කියලා. ඒත් උත්තරයක් නැහැ. අරවින්ද කවුද ඔයාලගේ කියලා ඇහුවා. ඒත් උත්තරයක් නෑ. ඒ කඳුළු ආවේ කොතැනින්ද කියලා ගැඹුරටම හිතද්දි උත්තරය මටම හම්බවුණා. ශ්‍රී ලාංකික මුතුන් මිත්තන් දක්වා දිව යන ඉතිහාසයේ අක්මුල් හරි ප්‍රෞඪයි. අනුන්ගේ දුක ළඟ සහකම්පනයට පත්වෙන ආදරය, සංවේදීත්වය, ගුණධර්ම මේ ශ්‍රී ලාංකික ජානවලට මුසු වී තියෙනවා. ඒ ජාන ගුණ තමයි ඇවිස්සුණේ. ඒ ඇවිස්සීම තමයි කඳුළු වගේ වැක්කෙරුණෙ. ඒ වගේ සංවේදී රටවල්වල මිනිස්සුන්ගෙ ඇස්වලින් විරාගය ජනිත කළ කම්පනය කඳුළු දවටද්දි අධිරාජ්‍යවාදීන් විදිහට රටවල් අත්පත් කරගෙන හිටපු අධිරාජ්‍යවාදී මානසිකත්ව තියෙන මිනිස්සුන්ට ඒ කම්පනය දැනුණෙ නෑ. ලෝකයේ ප්‍රශස්තම සිනමා විචාරකයන්ගෙන් පවා විරාගයේ අරවින්ද වෙනුවෙන් ඉතාමත් ධනාත්මක සංවේදී ප්‍රතිචාර ලැබුණා.


චරිතයක් රඟපෑම සහ චරිතයක් එක්ක ආත්මීය කොන්දේසි විරහිත බැඳීමකින් හුස්මක් ගැනීමයි කියන්නෙ කාරණා දෙකක්. දැන් අපි හුඟක් දකින්නෙ රඟපාන නළුවන්. ඒත් ඔබ කිසිදා රඟපෑ නළුවෙක් නෙවෙයි. මට දෙන්න උත්තරයක්?


මම කවදාවත් චරිතයක් රඟපාන්න උත්සාහ කළේ නෑ කියලා මටත් හිතෙනවා. මම උත්සාහ කළේ චරිතයක් ජීවත් කරවන්න. ඒ චරිතයේ හදගැස්මට මගේ හදගැස්ම මුහු කරන්න. එතෙන්දි මම සනත් නොවේ. මට සනත්ව අමතකයි. 


Qසිනමා ජීවිතයේ මඟහැරුණු, නොගත්තා නම් හොඳයි කියන තීරණවලට එළැඹුණු තැන් තියෙනවා නම් ඒ තැන් ගැන අද දැනෙන්නෙ කොහොම හැඟීමක්ද?


සිංහල සිනමාවේ විශිෂ්ටතම නළු නිළියන් එක්ක රඟපාන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒත් රුක්මණී දේවියත් එක්ක රඟපාන්න නොලැබීම ගැන දුකක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියාගේ චිත්‍රපටයක රඟපාන්න ලැබුණු අවස්ථාවක් මම නැතිකර ගත්තා. ඒ වගේ තැන් ගැන පුංචි දුකක් තිබුණට මගේ සිනමා ජීවිතය ගැන මට දැනෙන තෘප්තියක් තියෙනවා. 


Qඒ කාලෙ චිත්‍රපට ගීතවල තිබුණු වචන, සංගීතය, හඬ පෞරුෂය හරිම සෞන්දර්යාත්මකයි. සුගීතවත් බව දැනෙන තැන් වැඩියි. ඔබට දැනෙන්නෙ කොහොමද?


එක උදාහරණයක් කියන්නම්. ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචකයා ගීතයක් ලියන්න ගන්නෙ හරි පුංචි වෙලාවක්. ඒත් ඒ වචන අස්සෙ තියෙන්නෙ පුදුමාකාර රසයක්. මම විශ්වාස කරනවා කලාව කියන්නෙ සංසාර කුසලයක් කියලා. එදා ඒ ගීතවල දැනුම, සෞන්දර්යාත්මක බව, සිනමාරූපී බව, ගීතවත් බව අදත් විඳින්න තියෙනවා නම් මම ආසයි. 


Qඅද යන්න අකමැති, ගිහින් ගැවසෙන්න අකමැති තැන් තියෙනවද?


ඔව්. එහෙම තැන් තියෙනවා. ප්‍රිය සාදවලට ගියත් කෘත්‍රිම බව දැනෙන තැන්වල රැඳෙන්න මම ආසා නෑ. මම රුඳෙන්න කැමති මගේ මනසට සුව පහසු තැන්වල විතරයි. මඟුල් ගෙවල්වල යන්න නම් මම හරිම අකමැතියි. මඟුල් ගෙවල්වලට ගියාම කන්න මෙච්චර කෑම තියෙද්දි වාදක මණ්ඩලය පරණ ලස්සන සින්දු කන තැන් දකින්න තියෙනවා. ඒ කන හැටි දැක්කාම ආයේ තත්ත්පරයක් ඒ මඟුල් ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ.


ඔබ දායකත්වය ලබා දුන් අරුගම්බේ ජාත්‍යන්තර චිත්‍රපටය ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි?


ඊශ්‍රායල ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටය රූගත කළේ වැඩි හරියක් අරුගම්බේ වෙරළ තීරය පාදකවයි. එම අධ්‍යක්ෂකවරයා 21 වතාවක් අරුගම්බෙට ආව කෙනෙක්. මම බුද්ධික ජයරත්න සහ අශාන් ඩයස් එහි රඟපෑවා. ලංකාවේ ගමක නමින් විශ්ව සිනමාවට එකතු වෙන පළමු චිත්‍රපටයයි. එය ඉදිරියේදි ලංකාවේ සංචාරක කර්මාන්තයට කදිම සංධිස්ථානයක් වේවි.


Qආදරයේ වැරදුණු තැන් ගැන මතකය අදටත් වේදනාවක්ද?


ජීවිතයේ මගෙන් ඵල ප්‍රයෝජන, වාසි උදව් අරන් තමන්ගේ ක්ෂේත්‍රවල, ව්‍යාපාරවල ඉහළට ගිය පසු මාව අමතක කරපු අය ඉන්නවා. මට ඒවා ගැන පසුතැවීමක් නෑ. ඉදිරියටත් ඒවා එහෙම වෙයි. ඒක ලෝකෙ ස්වභාවය. මම අදහන ආගමක් තියෙනවා. හෙට දවස සුබ වෙයි. මේ ජීවිතයේ අත්දැකීම් හුඟක් වින්දා. මගෙන් දේවල් අරගෙන මටම පිටුපාලා කෙනෙක් මට දෝෂාරෝපණය කරද්දි එහෙම කරන්නෙ කොහොමද හිතෙනවා. අවසාන මොහොත ගැන මම දකින හීනය තමයි බුදු රුවක් දකින්න පුළුවන් වුණොත් කියන එක. හොඳ දෙයක් චුති සිතට මතකයට ආවොත් හොඳයි. ඒ තමයි මගේ ප්‍රාර්ථනාව. 


Qආදරය කියන්නෙ ජීවිතේ අවසන් හුස්ම තෙක් ඔබේ ප්‍රාර්ථනාවක් නෙවෙයිද? බැඳීමක් නැතත් ආදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද?


බැඳීමක් නැතත් ආදරයක් දැනෙනවා නම් එහෙම තැනක ජීවත් වෙන්න ආසයි. ආත්මාර්ථයෙන් තොරව දුක සැප බෙදාගන්න ජීවිතයට කෙනෙක් ළං වෙනවා නම් ඒ ළංවීම තුළ ආදරය කියන්නෙ සුවදායී දෙයක්. එහෙම ආදරයකට මගේ අකමැත්තක් නෑ. ඇත්තටම ආදරය නැතුව ජීවත් වීම අසීරුයි. ආදරය, ගෞරවය අවංකව ලැබෙන තැන්වලට අද මම ආසයි. මම ආදරයට හුඟක් මුල් තැනක් දුන්න කෙනෙක්. ඒ ගැන වෙන පාර්ශ්ව මොන විදිහේ අර්ථකථනයක් කළත් ඒක මට අදාළ නෑ. මම ගැන හරියටම දන්න කෙනා මම. මම වැරදියි කියලා හිතුණ හැම තැනකදිම මම ආපහු ගිහිල්ලා කතා කරලා තියෙනවා. මම නිවැරදි නම් මම නිශ්ශබ්දව ඉඳලා තියෙනවා. සමහර වැරදීම් මඟහැරීම් වෙස් වලාගත් ආශිර්වාදයක් කියලා හිතිලත් තියෙනවා. මට අද තියෙන්නෙ කලකිරීමක් නෙවෙයි. සොබාදහමට මුල්තැන දී ජීවත් විය යුතුයි කියලා මම හිතනවා. අපේ පාලනයෙන් තොරව සොබාදහම බොහෝ දේ කරනවා. හෙට දවස ගැන යම් ආකාරයක බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඇත්තක් වී ඉටුවෙයි කියලා එකක් නෑ. ජීවිතය කවදාවත් අපිට අවශ්‍යම දේ විතරක් අපිට දෙන්නෙත් නෑ.


I සංජීවිකා




Previous Post Next Post