කවදාවත් හිතුවෙ නෑ හොඳම නිළිය සම්මානය මට ලැබෙයි කියලා-යුරේනි නොෂිකා



ඇය සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් උඩුගං බලා පිහිනන්නියකි. දශක එකහමාරකට ආසන්න කාලයක්  පුරාවටම එක සේ ජනප්‍රියත්වය රඳවා ගන්නට සමත් වූ ඇය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් ලෙසින් හා නිරූපිකාවක් වැනි විවිධාකාර භූමිකා හරහා රසිකයා හමුවට පැමිණෙයි. ගෙවුණු මාසය තුළ ඇය සිය රංගන ජීවිතයේ ස්වර්ණමය මං සලකුණක් සටහන් කළේ ලක්ස් සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනිමිනුයි. ඒ අන් කවරකුවත් නොව අප කාගෙත් ආදරය දිනාගත් යුරේනි නොෂිකායි. 


මේ දවස්වල මොකද වෙන්නේ කියලම පටන් ගමු?


මේ දවස්වල බොහොම කාර්යබහුලයි. ඉවෙට්න්ස් සහ කැම්පේන්ග් කිහිපයක්ම ඇවිත් තිබෙනවා. ඒත් එක්කම මගේ අනිත් වැඩකටයුතුත් එක්ක බොහෝම කාර්යබහුල කාලයක් ගෙවන්නේ.


ගෙවුණු මාසයේ ඔබ මෙරට හොඳම සිනමා නිළිය බවට පත් වුණා?


ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ වෘත්තීය ජීවිතයේ අමතක නොවන දවසක්. කවදාවත් හිතුවේ නෑ හොඳම නිළිය සම්මානය ලැබෙයි කියලා මට. හීනයක් හැබෑ වුණා වගේ. රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙක්ට තමාගේ දස්කම්, කැපකිරීම් වෙනුවෙන් ලැබෙන මිල මුදල්වලටත් වඩා අගය කරන දෙයක් සම්මානයක් කියන්නේ. ඉතින් ඒ සම්මානය ලැබීම ලොකු භාග්‍යයක්.


ඔබ බොහෝම සීමිත නිර්මාණ සංඛ්‍යාවකට විතරයි දායක වෙලා තිබෙන්නේ?


මම කරලා තිබෙන්නේ සීමීත වැඩ ප්‍රමාණයක්. ප්‍රවීණයෝ පවා මට සඳහන් කළා ඔයාට මේ සම්මානය කවදා හෝ ලැබෙන බව අපි දැගෙන සිටියා කියලා. ඉතින් මම සම්බන්ධ වුණු සීමීත නිර්මාණ සංඛ්‍යාව හරහා වුණත් මගේ දක්ෂතා දැකපු අය ඉඳලා තිබෙනවා කියලා දැන් තමයි දැනෙන්නේ. බොහෝ අය සමාජ මාධ්‍ය හරහා පවා අගයලා තිබුණා. අපි කියනවානේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා කියලා. කාලයක් ගියා, නමුත් කොහොම හරි කාලයක් ගත වුණත් මට ඒ සම්මානය හිමි වුණා.


ඇයි නිතරම පේන්න ඉන්නේ නැත්තේ?


මම ලොකුකමට වැඩ භාරගන්නේ නැතුව ඉන්න කෙනෙක් නෙවෙයි. මගේ හිතට දැනෙන්න ඕනෑ මම වැඩක් භාරගන්නවා සහ මම කරන කැපකිරීමට මට නිසි වටිනාකමක් ලැබෙන්නත් අවශ්‍යයි. ඕනෑම නිර්මාණයකට මම එකතු කරන ආලෝකය මම දන්නවා, ඒකට නිසි ඇගැයීමක් ලැබෙනවා නම්, හොඳ පිටපතක් නම් ඒ හැමදේම එකතු වෙන්න  අවශ්‍යයි. මට මේ ක්ෂේත්‍රයේ කිසිවකු සමඟ තරගයක් නැහැ. මම හැමෝටම ගරු කරනවා. මට අවශ්‍ය මම කරන දේ කුමක් වුණත් එය මිනිස්සුන්ගේ හදවතට දැනෙන, මතක හිටින දෙයක් විය යුතුයි කියන එක. ඒ වගේම ඒ තුළින් මටත් ආත්ම තෘප්තියක් ලැබෙන්න ඕනෑ කියන තැන මම හැමදාමත් සිටිනවා.


සීමිත නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමේ රහස මොකක්ද?


මම දෙයක් කරනවිට ඒ දෙයට සියයට දාහක් කැපවෙනවා. මම හිතන්නේ ඒ මහන්සිය, කැපවීම විශ්වයෙන් දකිනවා ඇති. එහෙම වුණාම ගමන හෙමින් වුණත් කාලයක් ගිහින් හෝ නිසි තැන හිමිවෙනවා. ඒ නිසාම වෙන්න ඇති මිනිසුන් අතර හැමදාමත් මම ඉන්නේ සහ ඔවුන්ගේ ප්‍රතිචාර, ආදරය ලැබෙන්නේ. අපි ක්ෂේත්‍රයට ආවේ සමාජ මාධ්‍ය යුගයට කලින් යුගයේ. ඒ යුගයේ නිතරම දකින්න සිටියමත් ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා. මම හැමදාම ප්‍රේක්ෂකයන්ට පේන්න සිටියේ නැහැ. නමුත් මගේ පළමුවැනි ටෙලි නාට්‍යය චරිතය සංජු පවා තාමත් මිනිසුන්ට මතකයි. ගම්වලට ගියාම අදටත් සංජු කියලා කතා කරනවා. මම හිතන්නේ වාසනාව වගේම පෙර සංසාරේ කුමක් හෝ පිනකුත් කරලා ඇති මිනිසුන්ගේ හිතේ මෙහෙම රැඳෙන්න.


රංගනය, නර්තනය, නිවේදනය, ගායනය මේ අතරින් ඔබ වඩාත් ප්‍රිය මොකටද?


රංගනයට මේ දිනවල වැඩියෙන් සම්බන්ධ නොවුණත් රංගනය තමයි මම නිරතවෙන්න කැමැතිම දේ. ඊට පස්සේ නිවේදනය. ගායනයත් ආසයි. නමුත් මම වෘත්තීයමය ගායිකාවක් නෙවෙයි. මම ගායනය කරන්නේ මගේ හිතේ ආසාවට. නර්තනය කියන්නේ මගේ ඇඟේ තිබෙන දේ. මම කවදාවත් නර්තනය හදාරලා නැහැ.


ක්ෂේත්‍රයේ තිබෙන බරපතළ චෝදනාවක් තමයි රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට කරන ගෙවීම් ප්‍රමාණවත් නොවන බව. ඒ පිළිබඳව ඔබේ අදහස?


අවාසනාවකට ලංකාවේ ටැලන්ට් මැනේජ්මන්ට් ඒජන්සිස් නැහැ. රංගන ශිල්පීන්ට කළමනාකරුවෝ නැහැ. මොකද අපේ ඉන්ඩස්ටි්‍ර එක හරිම පොඩියි. එතැනදි අපිට වගකීමක් තිබෙනවා අපේ සියලුම දේ තනිව පාලනය කරගන්න. අපි ෆීල්ඩ් එකට එද්දි ඒක මතක තබාගන්න ඕනෑ. තමන්ව මාර්කට් කරගන්නේ කොහොමද, කළමනාකරණය කර ගන්නේ කොහොමද මේ සියල්ල රංගනයට අමතරව අපි දැන සිටිය යුතුයි. ඒ වගේම තමාට ලැබිය යුතු වටිනාකම පිළිබඳවත් දැනගන්න ඕනෑ. තමන් තමන්ව අවතක්සේරු කළොත් කොහොමද පිට කෙනෙක් තමන්ට ඒ වටිනාකම දෙන්නේ. කලාකරුවෝ කියන්නේ හිඟන්නෝ නෙවෙයි. ඔවුන් අතිදක්ෂ මිනිස්සු. ඉතින් ඔවුන් දැනගන්න අවශ්‍යයි තමන්ගේ දක්ෂතාවට නිසි වටිනාකමක් ලබාගන්න.


නවක ශිල්පීන්ට තිබෙන සුලබ චෝදනාවක් තමයි වැඩ භාරගෙන අතරමඟ දාලා යනවා කියන එක. මේ ගැන මොකක්ද කියන්න තිබෙන්නේ?


මේ ෆීල්ඩ් එකට අදටත් නීතිගත කරපු කලා සංගමයක් නැහැ. කලා සංගමයක් හරහා තමයි ඒ ක්ෂේත්‍රය තුළ සිටින අයට නීතිමය රාමුවක් ගොඩනැඟෙන්නේ. රංගන ශිල්පිනියක් වුණාම රංගනය පමණක් නෙවෙයි අපිට සම්බන්ධ වෙන අනෙක් සෑම වෘත්තිකයෙක්ගෙම කාර්යභාර්ය පිළිබඳව දැන සිටිය යුතුයි. නමුත් අලුතෙන් එන ළමයින්ට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඔවුන්ට බැනලා වැඩක් නෑ. ඔවුන් දන්නේ නෑ ඔවුන් නියමිත වෙලාවට, දිනයට ආවේ නැති වුණාම සිදුවෙන අලාභය ගැන. රංගන ශිල්පීන් ලෙසට ඔවුන්ගේ වගකීම අවබෝධ කරන්න කවුරුත් නැහැ. අද ටෙලි නාට්‍යයක් කරන විට කන්ට්‍රැක්ට් එකක් සයින් කරන්නේ කලාතුරකින්. අලුතෙන් එන ළමයින්ට බී්‍රෆීන් එකක්වත් කරනවා දකින්න නැහැ. එහෙම තත්ත්වයක් මත නවක ශිල්පීන් කොහොමද තමන්ගේ වගකීම අවබෝධ කරගන්නේ. ඔවුන්ට ඒ දේවල් පිළිබඳව අවබෝධයක් දුන්නොත් මම හිතන්නේ නැහැ කවුරුත් මේක සෙල්ලමක් විධියට දකියි කියලා.


විවේචන දාහක් මැද වුණත් ඔය විධියට හිනාවෙලා ඉන්නේ කොහොමද?


ඇත්තටම කියන්න ඕනෑ. මේක මවාපෑමක් නෙවෙයි. මම සතුටෙන් ඉන්නේ හදවතින්මයි. මම විශ්වයත් එක්ක හරි එකතුයි. මම උදේට දවස පටන් ගන්නේ විශ්වයත් එක්ක එකතු වෙලා. මම දැන් අවුරුදු ‍ෙදාළහකට වැඩි කාලයක් පුරාවට විශ්ව ශක්තිය ප්‍රැක්ටිස් කරනවා. ආධ්‍යාත්මිකව මනුස්සයෙක් දියුණු වනවිට භෞතික දේවල්වලට තිබෙන ඇලීම් අඩු වෙනවා. ඒ වගේම බාහිරෙන් එල්ල වෙන අදහස් පිළිබඳව අවබෝධයෙන් ජීවත් වීමට හැකි වෙනවා.


ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැන කියලම කතාව අවසන් කරමු?


එක ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා සිටිනවා. එය කොටස් පනහක නිර්මාණයක්. ඒකෙදි මම කරන්නේ තිස්සමහාරාමය පැත්තේ ගමක දුප්පත් තරුණියකගේ චරිතයක්. ඒ නාට්‍යයේ තව කොටස් කිහිපයක් රූගත කිරීම් කරන්න තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post