පණ එපා කියලා දුවනවා අලියාත් මගේ පස්සෙන් දුවගෙන එනවා -සොනක්ෂි සිං රාවට්




ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද? ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද? දෙවියන් වුවත් ප්‍රේමය අස වන්දනීය බැතිමතෙක් මිස අන් කවරෙක්ද? ප්‍රේමයට සහ ආදරයට දෙවැනි වූ කිසිවක් මේ විශ්වයේ තිබුණේවත් තියෙන්නටවත් හැටියක් නැත. එහෙයින් කතරගම දෙවිඳුන්ගේ දෙපසින් ගැහැනුන් දෙදෙනෙකු ඒ දිව්‍යමය පපුතුරට වාරු විය. දේවයානි සහ වල්ලිමාතා ඒ කතරගම ප්‍රේම පුරාණයේ ප්‍රේමවන්ත දිව්‍යමය සහ මනුෂ්‍ය ගැහැනියයි. ඒ අසිරිමත් ආදරවේදය සිනමා වියමනක් ලෙසින් සිනමාමය අකුරට හැරෙද්දී වල්ලි මාතාවට ජීවිතය දෙන්නට ඉන්දියාවේ හිඳ පැමිණි සුරූපිණිය ඇයයි. ඇගේ නම සොනක්ෂි සිං රාවට්ය. ඉකුත් දිනෙක ලංකාවට පැමිණි සොනක්ෂි අප හමුවුණේ හදසර මැද පිටුව සරසන්නමයි. 


සොනක්ෂි ඔබට ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන චිත්‍රපටයක රඟපෑමට ඇරියුමක් ලැබුණේ කොහොමද? ඔබව ඒ සඳහා තෝරාගත් විට දැනුණු හැඟීම කෙබඳුද?


මහාචාර්ය සුනිල් ආරියරත්නගේ චිත්‍රපට සඳහා ඉන්දීය නළු නිළියන් තෝරන්නේ බොම්බායේ සිටින හිමේෂ් චෞද්රියි.  ඔහු මින් ඉහත යශෝධරා චිත්‍රපටය සඳහා පල්ලවී සුභාෂ්ව සම්බන්ධීකරණය කර තිබුණා. ඔහු නිසා තමයි මට එම අවස්ථාව හිමිවුණේ. මා ඔහු හඳුනනවා. දිනක් මැදියම් රැයේ ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා.  ශ්‍රී ලංකාවේ රූගත කරන චිත්‍රපටයක් සඳහා නිළියක අවශ්‍ය බවත් ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණයකට පසුදින  පැමිණෙන ලෙසත් ඔහු මට දැන්වූවා. එම සම්මුඛ පරීක්ෂණයට මහාචාර්යවරයා ඇතුළු කණ්ඩායම බොම්බායට පැමිණ සිටි අතර ඒ වනවිටත් ඔහු සම්මුඛ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණා. මහාචාර්යවරයා චිත්‍රපටයේ දර්ශනයක් විස්තර කර  එය රඟපාන ලෙස ඉල්ලා සිටියා. මා එම කොටස රඟපා පෙන්නුවා. ඉන් පැය බාගයකට පමණ පසු ඔහු මා කැඳවා ''අපි ඔබව චිත්‍රපටය සඳහා තෝරා ගන්න තීරණය කළා'' යි ප්‍රකාශ කළා. පැය බාගයක් වැනි කාලයක් තුළ මට ශ්‍රී ලංකාවේ වෙනත් භාෂාවකින් නිර්මාණය කරන චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා කියලා දැණුනම මට එය විශ්වාස කළ නොහැකි වුණා. මහාචාර්යවරයා කිව්වා ''රූගත කිරීම් සඳහා මාසයක කාලයක් ලංකාවේ නවතින්න බලාගෙන ලබන මාසේ ලංකාවට එන්න'' කියලා. එය මට ලැබුණේ කිසිදු ආයසයකින් තොරවයි. මට හිතුණා මගේ ජීවිතයට වෙනසක් සිදුවේවි කියලා. ඉන්පසු ගිවිසුම් අත්සන් කළා. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සමර්ද එදින පැමිණ සිටියා. මින් ඉහත මා ඔහු හඳුනන්නේ  නැහැ. අප දෙදෙනාම එදින ගිවිසුම් අත්සන් කළා. 


කදිර දිව්‍යරාජ චිත්‍රපටයට පාදක වන්නේ ලංකාවේ බෞද්ධ හා හින්දූන්ගේ දැඩි භක්තියට හා විශ්වාසයට පාත්‍ර වූ  කතරගම දෙවියන්ගේ ප්‍රේම වෘත්තාන්තය. ඔබ එතුමන් පිළිබඳව දැන සිටියාද?


ඔව්. මම එතුමන් ගැන දැන සිටියා. ලංකාවේ කතරගම දෙවියන් විදිහට හඳුන්වන  දෙවියන් දකුණු ඉන්දියාවේ හඳුන්වන්නේ මුරුගන් කියලා. මම උතුරු ඉන්දියානුවෙක් අප එතුමා හඳුන්වන්නේ කාර්තිකේය නමින්. හැබැයි ඉන්දියාවේ කාර්තිකේය දෙවියන්ට වඩා ප්‍රසිද්ධ ගණේෂ (ගණ) දෙවියන්.


ඔබේ පසුබිම සහ ඉන්දීය කලා ක්ෂේත්‍රය තුළ ඔබේ ගමන ගැන සඳහන් කළොත්.


මගේ පියා දියමන්ති ආභරණ නිෂ්පාදන කර්මාන්ත කිහිපයක හිමිකරුවෙක්. අපේ පවුලේ දියණියන් හතර දෙනයි. ඔවුන්ගෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි පළමුවැන්නිය මමයි. ඉන්දියාවේ බොලිවුඩ් කියන්නේ වෙනම ලෝකයක්. අපි ඉන්දියානු චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නරඹනවා. කුඩා කාලයේ පටන් මා සිතුවා අනාගතයේ මාත් සිනමාවට එක් විය යුතුයි කියලා. මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරිණියක්. ඒත් ඒ අංශයේ රුකියාවක නිරතවනවාට වඩා සිනමාවට එක්වීමට ලොකු ආසාවක් මට තිබුණා. ඒ අපේක්ෂාව තුළිනුයි මා සිනමා කර්මාන්තයට එක් වුණේ. පළමු වෙළෙඳ දැන්වීමට සහභාගි වනවිට මගේ වයස අවුරුදු 16යි. ඉන්පසු තෙළිඟු, දෙමළ සිනමා පට කිහිපයක චරිත නිරූපණය කළා. ඉන් එක් චිත්‍රපටයක් ළඟදී තිරගතවීමට නියමිතයි. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ රඟපෑමෙන් පසු දෙමළ චිත්‍රපටයකට හා ගීත තුනක රූප රචනාවලට සහ වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. මගේ අලුත්ම වෙළෙඳ දැන්වීම්වල කරීනා කපූර් හා ආලියා භාත් සමඟ රංගනයෙන් දායක වුණා.


ඔබට සිංහල වචන මතකද?


වචන කිහිපයක් මතකයි. එකක් ආයුබෝවන්. ඊටපස්සේ වැඩියෙන්ම මතක තියෙන්නේ බඩගිනියි කියන වචනය. (ඇය මහ හඬින් සිනාසෙයි) ඒක තමයි මට වැඩියෙන්ම ඉගෙන ගන්න ඕන වුණු වචනේ. අපට සිංහල වචන හින්දි භාෂාවෙන් වටහා දුන්නේ ශ්‍රී ලංකාවේ මහාචාර්යවරුන් දෙදෙනෙක්. ඔවුන් පූර්ණකාලීනව අප සමඟ රුඳී සිටියා. දෙබස් හොඳට මතක තබාගෙන අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි දෙබස් කිව්වා. දෙබස් මතක තබා ගැනීම මට ගැටලුවක් වුණේ නැහැ. මට විවිධ  භාෂා මතක තබාගැනීමේ හැකියාවක් තිබෙනවා. වසර තුනක් මා සංස්කෘත ඉගෙන ගත්තා. ඒ නිසා සිංහල දෙබස් උච්ඡාරණය මට අසීරු වුණේ නැහැ. මටත් සමර්ටත් හඬ කැව්වේ ශ්‍රී ලංකාවේ ශිල්පීන් දෙදෙනෙක්. 


රූගත කිරීම්වලදී ඔබට අමතක නොවෙන සිදුවීම් මොනවාද?


අමතක නොවන සිදුවීම් කිහිපයක්ම තිබෙනවා. ගණ දෙවියන් පැමිණෙන අවස්ථාවේ මම ටිකක් බයවුණා. මා ඔබට සිනහ උපදවන සිදුවීමක් කියන්නම්. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ මගේ චරිතය රණශූර කුමරියකගේ චරිතයක්. මට වැඩි වශයෙන්ම රූගත කරන්න වුණේ වනාන්තරයක. රූගත කිරීම්වලදී හස්තියකු  සමඟ රඟපෑමට සිදුවුණා. එක් දර්ශනයක, ඒ හස්තියාට කතා කරන දර්ශනයක් තියෙනවා. ඒ හස්තියාගෙ නම සීතා. එයාට සිංහලෙන් කියන දේවල් තේරෙනවා. මගේ දෙබස වූයේ ''එන්න එන්න සීතා එන්න'' කියලා. මම ඒ දෙබස ටිකක් හයියෙන් පුහුණු වෙමින් සිටියා. එකවරම සද්දයක් ඇහිලා මම පිටුපස බලනකොට අලියා මම කතා කරනවා කියලා හිතලා මගේ පිටිපස්සෙන් ඇවිත් ඉන්නවා. මම පණ එපා කියලා දුවන්න ගත්තා. එතකොට අලියත් මගේ පිටිපස්සෙන් දුවගෙන ආවා. පස්සේ නිෂ්පාදන කණ්ඩායමේ අය ඇවිත් අලියව නවත්තා ගත්තා.


මම නිවසේදී බොහෝවිට නිදාගන්නේ පාන්දර හතරට විතර දවල් වෙනකම් නිදා ගන්නවා මිසක් කිසි වැඩක් කරන්නේ නැහැ. රූගත කිරීම්වලදී දිනපතාම උදෑසන හතරට අවදිවිය යුතුයි. එහෙම ඇහැරුණාම මම මගේ මවට දුරකතන ඇමතුමක් දෙනවා. එවිට ඇය අහනවා මේ පාන්දර මොනවද කරන්නෙ කියලා. මම කියනවා රූගත කිරීම්වලට යන්න සූදානම් වෙනවා කියලා. එවිට ඇය කියනවා ඇති යාන්තම් උදෙන් නැගිටින්න පුරුදු වෙලා. බ්‍රහ්ම මුහුර්තියෙන් නැගිටින එක ගොඩක් හොඳයි එතකොට හැම දෙයක්ම මතක හිටිනවා, හරියට කරන්න පුළුවන් කියලා.


ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකික ශිල්පීන් පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?


මම ලොව රටවල් රැසක සංචාරය කර තිබෙනවා. ඒත් බටහිරට මා එතරම් කැමැත්තක් නැහැ. ඒ ආසියානු රටවල ඇති උණුසුම් මිත්‍රත්වය ඔවුන් ළඟ නොමැති නිසා. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හා ඇතැම් ආසියානු රටවල ඔබව ආදරයෙන් පිළිගන්නවා. මම උදාහරණයක් කියන්නම්. බටහිර රටකදී මගේ ගමන් මලු බර වැඩි වූ නිසා මට උපකාර අවශ්‍ය වුණා. එත් කිසිවකු මට උපකාර කිරීමට ඉදිරිපත් වූයේ නැහැ. එහෙත් අපේ රටවල ඔවුන් නොහඳුනන පුද්ගලයකුට වුවත් කිසිවක් අපේක්ෂා නොකර උණුසුම් විදියට උපකාර කරනවා. ඒ අපේ රටවල මිනිසුන්ගේ හැටි. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ  ආහාර වුණත් බොහෝදුරට සමානයි. ඒ නිසා ශ්‍රී ලංකාවෙදිත් මට දැනුණේ මගේ මව්බිමේ ඉන්නවා වගේ හැඟීමක්. 


ඉන්දියානු සිනමාව දැවැන්ත කර්මාන්තයක්. ඔබ ශ්‍රී ලංකාවේ සිනමාව දකින්නේ කුමන ආකාරයෙන්ද?


කුමන භාෂාවකින් නිර්මාණය වුවත් සිනමාව කියන්නේ ලෝකයටම පොදු දෙයක්. සිනමාපටය තුළින් මිනිසුන්ගේ හදවත් අමතනවා නම් ප්‍රේක්ෂකයන් එය වැළඳගන්නවා. එය එක් රටකට සීමා වී නැහැ. විශේෂයෙන් උපසිරුසි යෙදීම හා හඬ කැවීම නිසා. ඕනෑම කෙනෙකුට පහසුවෙන් චිත්‍රපටයේ අදහස වටහාගත හැකියි. ඔබ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කළොත් එය ලෝකයටම පොදු එකක් බවට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ චිත්‍රපටත් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වී තිබෙනවා. කර්මාන්තයක් ලෙස ඉන්දියාව ප්‍රබල වුවත් ශ්‍රී ලංකාවේ සිනමාවත් ඉහළ තැනක පවතිනවා.


කතරගම දෙවියන් සම්බන්ධයෙන් ඇති භක්තිය නිසාම කදිර දිව්‍යරාජ චිත්‍රපටය බොහෝ පිරිසක් නරඹනවා. එම චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඔබ දැනුම්වත්ද?


අපොයි ඔව්. මට දිනකට පණිවිඩ සිය ගණනක් ලැබෙනවා. ආදරණීය වල්ලි, වල්ලි මාතා, වගේ අදරණීය නම්වලිනුයි ඔවුන් මාව හඳුන්වන්නේ. වල්ලිමාතා ඇයි ඔබ අපිව දාලා ගියේ, ආයෙත් ශ්‍රී ලංකාවට එන්න කියලා ගොඩක් අය පණිවිඩ එවනවා. යළි ලංකාවට එන්නේ කවදාද කියලා අහනවා. ඔවුන්ගේ ආදරය මට දැනෙනවා. මාත් ඔවුන්ට ආදරෙයි.


ඉදිරියේදී ශ්‍රී ලාංකික චිත්‍රපටවල දිගටම රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් ඔබ එය පිළිගන්න සූදානම්ද?


අනිවාර්යයෙන්ම හොඳ තිරපිටපත් ලැබුණොත් මම ඒවාට සම්බන්ධ වෙන්න කැමතියි. දැනටමත් මට ආරාධනා කිහිපයක් ලැබී තිබෙනවා.


අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ ඔබේ රසිකයන්ට කියන්න තිබෙන්නේ කුමක්ද?


මට ඔවුන්ට කියන්න තියෙන්නේ ඔවුන්ගේ ආදරයට ගොඩක් ස්තුතියි කියලයි. ඔවුන් අප විදේශිකයන් කියා සිතන්නේ නැහැ. අපත් ඔවුන්ගේම කෙනෙක් විදිහටයි සලකන්නේ. ඔවුන් විවෘත හදවතින් අපව පිළිගන්නවා. ඒ ආදරය බොහෝ වටිනවා.



Previous Post Next Post