මං දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනා ඒත් කසුන් මාව ගණන් ගත්තෙ නෑ-චමරී ප්‍රේමරත්න




හතු පිපෙන්නා සේ වර්තමානයේ බිහිවන යූටියුබ් නාළිකා අතර ගුණාත්මක බවින් ඉහළ ජනයාට ප්‍රිය නාළිකාවක් වීම පහසු කටයුත්තක් නොවේ. වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට නරඹා රසවිඳිය හැකි වීඩියෝ සංසරණය වන ‘ට්‍රැවල් විත් වයිෆ්’ යූටියුබ් නාළිකාව පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද ජනප්‍රියම ට්‍රැවල් යූටියුබ් නාළිකාව ලෙස සම්මාන ලැබීය. කසුන් සම්පත් සහ චමරී ප්‍රේමරත්න සුසංයෝගයෙන් නිර්මාණය වුණු ට්‍රැවල් විත් වයිෆ් අත්දැකීම් බෙදා හදා ගන්නට අද ඔවුන් අප හා කතාබහට එක්වීය.


ජනප්‍රියම ට්‍රැවල් යූටියුබ් නාළිකාවට හිමි සම්මානය මෙවරත් හිමිවුණේ ඔබ දෙපළට. පසුගිය වසරේ සම්මානයම මෙවරත් හිමිවීම ගැන කසුන්ට මොකද හිතෙන්නේ?


විවිධ තේමාවන් යටතේ යූටියුබ් නාළිකා රැසක් ක්‍රියාත්මක වන කාලෙක ගොඩක් දෙනා කැමති ට්‍රැවල් යූටියුබ් නාළිකාවට වීම ගැන දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ගිය වසරෙ ලැබුණු සම්මානයම මෙවරත් හිමිකර ගන්න ලැබීමම ලොකු සතුටක්.


‘ට්‍රැවල් විත් වයිෆ්’ ඒ වගේ නමක් දාන්න හිතුණේ ඇයි?    


අපි දෙන්නම කැමතියි ට්‍රැවල් කරන්න. මුලින්ම අපි දෙන්නා කතා වුණේ ෆේස්බුක් පිටුවක් හදලා අපි යන තැන්වල පොටෝ දාන්න. අපි දෙන්නගෙ පළමුවැනි විවාහ සංවත්සරයට කෝච්චියේ නුවර යද්දි ආයෙම අපි මේ ගැන කතාවුණා. මොකක්ද දාන නම කියලා දෙන්න කතා වුණා. අපිට ඕන වුණේ සරල නමක්. යන්නෙ වයිෆ් එක්ක නිසා ‘ට්‍රැවල් විත් වයිෆ්’ කියලා දාමු කියලා දෙන්නම තීරණය කළා.


ට්‍රැවල් විත් වයිෆ් යූටියුබ් නාළිකාවට දාපු පළමුවැනි වීඩියෝව මතක ද?


ඒ කාලෙ මං ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කළ නිසා මට එළියට යන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ වෙද්දි චමරිත් රැකියාවෙන් අයින් වෙලා හිටිය නිසා දෙන්නම එකතු වෙලා ඒ අවස්ථාවම ට්‍රිප් එකක් බවට පත්කරගෙන Vlog එකකුත් කළා. උඩ දියලුම බලන්න ගිහින් අපි ලබපු අත්දැකීම තමයි මුලින්ම වීඩියෝගත කරල අපේ යූටියුබ් නාළිකාවට මුදාහැරියේ. ඒ 2018 වසරේ ජුනි 5 වැනිදා.


මුල්ම වීඩියෝවට ලැබුණු ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. දියලුම කිව්වම ඒ දවස්වල පාරට පේන ටික විතරයි ගොඩක් අය දැකල තිබුණේ. අපි උඩ දියලුමට ගිහින් එහි සුන්දරත්වය ගැන කතා කරමින් වීඩියෝ එකක් දැම්මා. පින්තූරත් එක්ක ඩ්‍රෝන ෂොට් කිහිපයකුත් දැම්මා. ඒවට ගොඩක්ම ප්‍රතිචාර ලැබුණා. සමහරු ඇහුවා කොහොමද මේ වගේ Vlog එකක් හදන්නේ කියලා. ඒ ඉල්ලීමත් එක්ක Vlog එකක් හදන විදිහ, එඩිට් කරන විදිහ වගේම ට්‍රැවල් බෑග් එකක් පැක් කරන විදිහ, ට්‍රැවල් වීඩියෝ එකක් කරද්දි පාවිච්චි කරන කැමරා ගැන සඳහන් පොඩි පොඩි වීඩියෝත් දැම්මා. ඒවලින් රීච් එක තවත් වැඩි වුණා.


මේ තරම් ජනප්‍රිය වෙන්න ඔබ මොන වගේ ස්ථාන ද තෝර ගත්තේ?


මුලින්ම අපි කළේ හැමෝම යන තැන්වලට ගිහින් ඒ අත්දැකීම බෙදා ගැනීම. අපි යන දවසෙ වැස්ස නම් අපි ඒකත් කිව්වා. මේ කාලෙ වහිනවා මේ තැන් බලන්න යනව නම් මේ කාලෙ මගහැරල යන්න කියලා. පස්සෙ පස්සෙ ගොඩක් දෙනා නොදැකපු, සමාජයට විවෘත නොවුණු ග්‍රාමීය ප්‍රදේශවලට ගිහින් ඒ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවන රටාව අත්විඳල ඒ අත්දැකීම බෙදා ගත්තා. ඒ වගේ වීඩියෝවලට ගොඩක් අය කැමති වුණා. ඒවා ගොඩක් ජනප්‍රිය වුණා. මේ ළඟදි අපි අම්පාරෙ ගිහින් එක ගෙදරක නැවතිලා උයා පිහාගෙන කාලා ඒ ලබපු අත්දැකීම අපි ඒ විදිහටම දැම්මා. ඊට කලින් අපි යාපනේ ඉලවාලෙයි කියන ගමට ගියා. ඒ ගමේ ගෙදරක නැවතිලා එයාල හේන් කරන විදිහ බලලා එහේ විදිහට උයාගෙන කාලා ලබපු අත්දැකීමටත් ගොඩක් දෙනා කැමති වුණා. ඔය අතරේ හොටෙල්වලට ගිහින් ලබන අත්දැකීම් අපේ යූටියුබ් නාළිකාවට එකතු කරන්නත් අපි අමතක කළේ නෑ. ඒ වගේම විදෙස් රටවලට ගිහින් ඒ ඒ රටවල සංස්කෘතිය, භාෂාව ගැන වගේම ඒ රටවල ලස්සන තැන් නරඹලා ඒ අත්දැකීමත් අපි ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගත්තා. ඒ හැම වීඩියෝ එකක්ම ජනප්‍රිය වුණා.


කසුන් චමරී හමුවීම ඇතුළෙත් තියෙන්නේ සුන්දර කතාවක් නේද?


ඔව්. අපි දෙන්නම පානදුරේ. ඒත් අපි දෙන්න මුලින්ම දකින්නේ රැකියාවට යන කාලේ කෝච්චි ප්‍රමාදය නිසා ස්ටේෂන් එකේ කෝච්චි දෙකකට මාරු වෙද්දි. එදා චමරි රැකියාවට යන පළවෙනි දවස. කෝච්චිවල හැමදාම යන සෙට් ඉන්න තැන් තියෙනවනේ. මාත් යාළුවොත් එක්ක එක සෙට් එකක හිටියේ. එයත් අපේ එකට එකතු වුණා. ඒ හඳුනා ගැනීම තමයි ආදරයක් දක්වා දුරදිග ගියේ.


යාළුවෙක් නේද මුලින්ම චමරි එක්ක යාළුවෙන්න උත්සාහ කරල තිබුණේ?


මං ඉතින් ලොකුවට කතාවට යන කෙනෙක් නෙවෙයි. යාළුව තමයි කතා කරන්නේ, විස්තර අහන්නේ. මං මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. අන්තිමට කොහොමහරි චමරිගෙ කැමැත්ත ලැබුණෙ මට.


චමරී කසුන් ආදර කතාවේ දුෂ්ටයා වෙන්නෙ කේන්දරේ?


ඔව්. අපේ සම්බන්ධය ගෙවල්වලට ආරංචි වුණාට පස්සෙ ගෙවල්වලින් කේන්දර බැලෙව්වා. කේන්දර ගැළපෙන්නෙ නෑ. එතැන තමයි ලොකුම බාධකය වැටුණේ. කොහොමහරි මව්වුපියන්ට ඉඩ දීලා අපි බ්‍රේක්අප් එකකටත් ගියා. දෛවයේ ලියවිලා තියේ නම් වෙනස් කරන්න බෑනේ. කොහොමහරි අපි එකතු වුණා. කේන්දරේ හැටියට චමරි මාසෙන් ගෙදර යන්න තිබුණේ. ඒත් තාම ගියේ නෑ. කේන්දර ගැළපීමට වඩා අදහස් ගැළපීම තමයි අපි දෙන්නගෙ ගැළපීම වුණේ. තේරුම් ගැනීම, දෙන්නට දෙන්න උදව් කර ගැනීම අපි තුළ තිබුණා. චමරි හමුවෙද්දි මං ෆොටෝග්‍රැපි කරන්න පටන්ගෙනත් නෑ. එයා මාව ඒකට උනන්දු කළ විදිහ, ඒ ගැන දක්වපු උනන්දුව තමයි මං චමරිට කැමති වෙන්න ලොකුම හේතුව වුණේ.


කසුන් චමරිට කැමති වෙන්න හේතුව එහෙම කියද්දි චමරිත් අපේ කතාවට ඇගේ අදහසත් එකතු කළා.


කසුන්ගෙ යාළුව තමයි නිතරම මට කතා කළේ. කසුන් හරිම නිහඬ චරිතයක්. කෝච්චියෙදි වුණත් එයා ෆුට්බෝඩ් එකට වෙලා ඉන්නවා. කසුන්ගේ ඒ නිහඬ බවට තමයි මගේ හිත කැමති වුණේ. දවසක් යාළුවා කසුන් ඉන්න තැනදිම මගෙන් ඇහුවා ඔයා අපි දෙන්නගෙන් කාටද කැමති කියලා. මං කිව්ව කසුන්ට කියලා. කසුන් නැති දවසට මං එයා ගැන අහන නිසා එයාට තේරෙන්න ඇති මං කැමති කසුන්ට කියලා. කොහොමහරි අපි යාළුවෙලා වැඩිකල් යන්න කලින්ම ගෙවල්වලට ආරංචි වෙලා තිබුණා. මුලින්ම ගෙවල්වලින් කේන්දර බැලෙව්වා. ඒත් කේන්දර ගැළපුණේ නෑ. ගෙවල්වල බලපෑම් මත අන්තිමට අපි මාස හයක් විතර බ්‍රේක්අප් වෙලා හිටියේ කිසිම කතාබහක් නැතුව. ඒ කාලෙ ඇතුළත අපි දෙන්නටම වෙන මඟුල් යෝජනා බැලුවා. එතැනදි නම් හිතුනා මෙහෙම නන්නාඳුනන කෙනෙක් එක්ක ජීවිතේම ගෙවන්නෙ කොහොමද කියලත්.


කසුන් චමරී නැවත හමුවීම සිදු වෙන්නේ කොහොමද?

ඒකත් දෛවයේම වැඩක්. එකම ඉවෙන්ට් එකට අපි දෙන්නටම ආරාධනා ලැබෙනවා. කසුන් එයාගෙ යාළුවොත් එක්ක ඇවිත් තිබුණා. මාත් මගේ යාළුවෙක් එක්ක ගියා. සෙනඟ දාහක් අතරෙත් පැත්තට හැරිල හිටිය කසුන්ව මං දැක්කා. යාළුවත් දාලා මං දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනා. ඒත් ඒ වෙලාවෙ කසුන් මාව ගණන් ගත්තෙ නෑ. කොහොමහරි දැන් මට මගේ යාළුව හොයාගන්නත් බෑ. මං කසුන්ට කිව්වා මාව යාළුව ළඟට ගිහින් දාන්න කියලා. මුලින් අදිමදි කළත් පස්සෙ ආවා. ඉවෙන්ට් එක ඉවර වෙනකලුත් කසුන්ගෙ අතේ එල්ලිලා මං යාළුව හෙව්වා. ඒ වෙද්දි අපේ ආදරේ ආයෙත් අලුත් වෙලා තිබුණා.


ගෙවල්වලින් කැමති වුණාද ආයෙම එකතු වෙනවට?


අන්තිමට එයාලත් තේරුම් ගත්තා. ඊට පස්සෙ අපි ආයෙ කවදාවත් කේන්දර බැලුවෙ නෑ. කේන්දරවලටම ජීවිත විසඳන්න දීල බලන් ඉන්නෙ නැතුව දෙන්නට දෙන්න අදහස්වලින් ක්‍රියාවන්ගෙන් එකිනෙකාව ගළපගන්න උත්සාහ කරනව නම් ජීවිතේ දිනන්න බැරිවෙන්නෙ නෑ.


ට්‍රැවල් විත් වයිෆ් කියලා පටන් ගත්ත වැඩේට මේ වෙද්දි චූටි දෝනිත් එකතු වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ.


ඔව්. දැන් අපිත් එක්ක අපේ චූටි දෝනි එලීනාත් යනවා. එයාට මාස තුනක් වුණ ගමන්ම අපි එයත් අරන් ගියා. දැන් එයාට අවුරුදු 4ට ළඟයි. එයත් ගොඩක් ආසයි ඇවිදින්න. එයා හිතාගෙන ඉන්නෙ ට්‍රැවල් කරන එක අපේ ජීවිතේම කොටසක් කියලා. නිවාඩු දවසකටවත් දැන් ගෙදර ඉන්න නෑ. අපි කොහේවත් යන්නෙ නැද්ද කියලා අහනවා. සමහරු කිව්වා ළමයෙක් ලැබුණම ට්‍රැවල් කරන්න බැරි වෙයි කියලා. ඒත් එයාට ඕන කෑම ටිකයි නින්දයි වෙලාවට දුන්න නම් එයාගෙන් කිසිම කරදරයක් නෑ. මේ වෙද්දි අපි විදෙස් රටවල් 9කට ගිහින් තියෙනවා. එලීනා 8කට ගිහින් තියෙනවා. යන ඕන තැනකට හැඩ ගැහෙන්න එයා හොඳට දන්නවා. අපි මොන රටට ගියත් ඒ භාෂාවෙන් එක වචනයක් හරි එයා ඉගෙන ගෙන එනවා. ඒ වගේම විලේජ් එක්ස්පීරියන්ස්වලට එලීනා ගොඩක් ආසයි.


එක් විදෙස් සංචාරයක් අමතක නොවන අත්දැකීමක් එකතු කළා නේද?


ඔව්.ඔව්. අපි මැලේෂියා ගිය වෙලාවෙ එලීනා ලිස්සල වැටිලා ඔළුව තුවාල වෙලා මැහුම් හතරක් දැම්මා. ඒක වුණේ මැලේෂියාවලම වෙනත් දූපතකට ගිය වෙලාවෙ. ඒකට බෝට්ටු යන්නෙ එන්නෙත් එක වෙලාවකට විතරයි. නොදන්න රටක ඒ වගේ දේකට මුහුණ දුන්න පළවෙනි අවස්ථාව. එදා නම් හොඳ යුද්ධයක් නැටුවා හොස්පිට්ල් එකක් හොයාගන්න ගිහින්. ඒවත් ඉතින් අත්දැකීම් තමයි.


ට්‍රැවල් විත් වයිෆ් යූටියුබ් නාළිකාවට ලැබෙන සජීවී ප්‍රතිචාර ගැන කතා කළොත්?


ඇත්තටම මේ වෙද්දි පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. කමෙන්ට් එකක් දැම්මම අපි දන්නෑ එයා මොන වයසේ කෙනෙක්ද කියලා. ඒත් සජීවීව ඇවිත් කතා කළාම අපට පේනවා මේ මේ වයස්වල අය මේක බලනවා කියලා. සමහරු ඒ විදිහටම ඒ ඒ තැන්වලට ගිහින් තියෙනවා. ඒව අහද්දි අපිට ගොඩක් සතුටුයි. .



Previous Post Next Post