බස් එක ජීවිතයම වෙච්ච කාලයක් තිබුණා - ජෙනට් ඇන්තනී




ජෙනට්.. අලුත් ජීවිතේ කොහොමද?


අලුත් ජීවිතේ හොඳයි. අපි විවාහ වුණේ මේ වසරේ මාර්තු මාසේ. අපි වසර දහයක ප්‍රේමයක් ජය අරගෙන තමයි විවාහ වුණේ. එයා මට පාසලේදි මුණගැහුණු කෙනෙක්. මේක පාසල් ප්‍රේමයක්. එයා දැන් නර්තන ගුරුවරියක් ලෙසින් පාසලක සේවය කරනවා. එයාගේ නම බුද්ධිකා කාවින්දි. තාම අපිට අලුත් ජීවිතේ එච්චර හුරු නැහැ. ඒ දේවලුත් හුරුවෙමින් සතුටින් ජීවත් වෙනවා.


මේ දිනවල ජෙනට් ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වය දැනෙන්නෙ කොහොමද?


ඒ ජනප්‍රියත්වය හරිම නිහතමානීව පිළිගන්නවා. ඒ දේ ලැබෙද්දි අපි හිටියටත් වඩා තවත් නිහතමානී වුණොත් තමයි අපිට තව ඉස්සරහට වැඩ කරගෙන යන්න පහසු වෙන්නෙ. ගොඩක් අය මම රඟපාන චරිත ගැන කතා කරනවා. මගේ අම්මා තාත්තට මම ආපු ගමනත් එක්ක අද ගොඩක් සතුටුයි. විදෙස් රටවල ඉන්න මාව දන්න වගේම දන්නෙ නැති පිරිසත් මාත් එක්ක කතා කරනවා. මට ආදරේ කරනවා. ඒ ආදරේ බොහොම නිහතමානීව බාරගන්නවා. ජනප්‍රියත්වය හරිම පරිස්සමෙන් විඳින්න ඕනෙ දෙයක්. ඒ ගැන ඕනවට වඩා හිතන්න ගියොත් අපිට වැඩ ටික කර ගන්න බැරි වෙනවා. ජනප්‍රියත්වය අපි පොඩි කාලේ ඉඳන් කැමති දෙයක්. කවුරු හරි කෙනෙක් අපිව හඳුනනවනම්, අපිට ආදරේ කරනවනම් හරි කැමතියි. ඉතින් මේ ලැබෙන ජනප්‍රියත්වයට මම ගෞරවයෙන් ආචාර කරනවා.


මේ දිනවල ඔබ නියැලිලා ඉන්න නිර්මාණ මොනවද?


මේ දිනවල ලක්මිණී අමරදේවගේ 'මේක තමයි ජීවිතේ' ටෙලිනාට්‍යයත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ නිර්මාණ දෙකකටත් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඒ 'ඇතුල්වීම තහනම්' සහ 'සර්කස්කාරයෝ' ටෙලිනාට්‍ය දෙකයි. ඒ වගේම ජගත් මනුවර්ණ මහතාගේ 'කොඩි ගහ යට' ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් කරලා තියෙනවා. ඒ ටෙලිනාට්‍ය තවමත් ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය සමඟින් රට වටා යනවා. ධර්මප්‍රිය ඩයස් මහතාගේ 'මම නෙවෙයි වෙන කෙනෙක්' වේදිකා නාට්‍යයට වගේම කෙටි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධවෙලා ඉන්නවා  



රංගනයට සම්බන්ධ වීම ජෙනට් පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක්ද? 


ඔව්. මම ඉගෙන ගත්තෙ දෙහිවල එස්.ද.එස්. ජයසිංහ මධ්‍ය මහා විදුහලේ. පාසලේදි මම සාමාන්‍ය පෙළ විභාගයට විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව තෝරගත්තා. කොහොමත් මගේ පවුල ඇතුළෙ කලාවට ආදරේ කිරීම වගේම රංගනයට ලොකු ඇල්මක් තිබුණා. ඒ ඔස්සේ තමයි පාසලේදී විෂයක් විදිහට නාට්‍ය හා රංග කලාව තෝරගත්තෙ. ඇත්තම කිව්වොත් මිනිස්සු ආදරය කරන, මිනිස්සු දන්න චරිතයක් වෙන්න ආසා කළා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ 2011 අවුරුද්දෙ ජාතික තරුණසේවා සභාවට සම්බන්ධ වුණා. ඒ ඔස්සේ මට නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


මේ දිනවල ඔබ රඟපෑ නාට්‍ය කිහිපයක්ම පුංචි තිරයේ විකාශය වෙනවා. මේ ආපු ගමන ලෙහෙසි වෙන්නෙ නැතිව ඇති?


ඔව්. මේ ගමන එන්න ගොඩක් මහන්සි වුණා. මේක විෂයක් විදිහට සොයාගෙන ඉදිරියට එන්න ගොඩක් මහන්සි වුණා. අද වෙද්දි රඟපාන්න අවස්ථා තියෙනවනෙ. අපිට අපේ ජංගම දුරකථනය අතට ගත්තත් රඟපාන්න අවස්ථා තියෙනවා. අපි දන්න දේ ප්‍රකාශනයක් විදිහට රඟපාමින් YouTube හෝ Tik Tok මගින් පෙන්නන්න අවස්ථාව තියෙනවා. නමුත් පුළුල්ව මේක විෂයක් විදිහට ඉගෙනගෙන නළුවෙක් විදිහට ආසාවෙන් ඒ ගැන හදාරමින් මේ සොයාගෙන යාම සමහරවිට කට්ටක් වෙන්න ඇති. ඒක ඇත්තටම ලොකු මහන්සියක්. නමුත් ඒ කට්ටට මම ආසයි.

මුලින් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙද්දි ඒ මහන්සිය වැඩිපුර දැනෙන්න ඇති?


ඔව්. මුලින්ම වේදිකා නාට්‍යවලට එද්දි චරිත හම්බවුණේ නැහැ. මුලින්ම ටෙලිනාට්‍යවල රඟපාන්න චරිත හම්බවුණේ නැහැ. වේදිකා නාට්‍යවලදි ඉහළ ප්‍රවීණ පරම්පරාව රඟපාද්දි අපිට තිරයෙන් පිටත ඉඳන් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මුලින්ම වේදිකා පරිපාලන සහායක ලෙසින් වැඩ කරන්න ලැබුණා. එහෙම ඇවිත් වේදිකාව උඩදි ඒ නළුවන් නැති වෙලාවට තනියම පුහුණුවෙලා තමයි ඒ ආසාව වැඩිකර ගත්තෙ. මුලින්ම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ නැහැ. සමහර දවස්වලට උදේ දෙහිවලින් නුවර, හම්බන්තොට ගිහින් හවස වෙනතුරුම චරිතයක් නැතිව හිස් අතින් ගෙදර ආපු දවස් තිබුණා. රංගනයට ආදරේ කරපු නිසාම සමහරදාට තැන් තැන්වලට ගිහින් හැරිලා ආපු දවස් තිබුණා. මගේ ගුරුතුමා අසංක එදිරිසිංහ මහතායි. ඔහු දවසක් මට 'ජෙනා පුංචි පුංචි චරිතවලට හරි කමක් නැහැ, උඹ පලයන්. ප්‍රශ්නයක් නැහැ. එක තැනකදි උඹේ දක්ෂතාවය දැකලා කවුරු හරි කෙනෙක් උඹට අවස්ථාව දෙයි. ඒ දවස එකනම් පලයන්* කිව්වා. ඒ නිසාම මාව මිනිස්සු දන්නෙ නැති කාලෙදිත් හම්බවෙන පොඩි චරිතවලට මම සම්බන්ධ වුණා. ඒ කාලේ ඒ ගමන් ගියේ බස්වල, කෝච්චිවල. ඒ කාලෙ බස් එක ජීවිතේ වෙලා තිබුණා. ඒ ආසාව නිසාම ඒ ගමන ගියා. හැබැයි ඒක සුන්දර කට්ටක්.


මේ ගමනට ගෙදරින් අකමැති වුණේ නැද්ද?


ගෙදරින් එහෙම අකමැත්තක් තිබුණෙ නැහැ. හැබැයි මගේ අම්මාට ''නාට්‍ය කරලා මෙයා ගොඩ යන්නෙ කොහොමද?'' කියලා බයක් තිබුණා. හැබැයි කවදාවත් මේ දේවල් නවත්තන්න කියලා මගේ අම්මා තාත්තා කිව්වෙ නැහැ. මගේ පවුලේ මල්ලියි නංගියි මමයි. පවුලේ වැඩිමලා මම. ඉතින් වගකීමක් තියෙන කෙනෙක්. ඒකම මට ප්‍රශ්නයක් වුණා. නංගිටයි මල්ලිටයි මම දෙන ආදර්ශය මොකක්ද කියලා මටත් බයක් තිබුණා. හැබැයි ගෙදරින් කවදාවත් මට රස්සාවක් කරන්න කියලා කිව්වෙ නැහැ. ඒ අය මට මගේ ආසාවට ඉඩ දුන්නා. මල්ලිත් මාත් සම වයසේ වගේ. එයාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තම කිව්වොත් කලාව හැර මම කිසිම රස්සාවක් කරලා නැහැ. තාත්තා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාරයට යම් සහායක් දුන්නට රස්සාවක් කරන්න ගියෙ නැහැ.


'කොඩි ගහ යට' චරිතය හරි ජනප්‍රියයි?


ඔව්. විශේෂයෙන් මේ සියලු දේවල් ජගත් මනුවර්ණ කියන අධ්‍යක්ෂකවරයාගේ මඟපෙන්වීම යටතේ බිහිවුණු චරිතයි. ඔහු ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. අපේ අම්මා බෞද්ධ. තාත්තා කතෝලික. අම්මා නිතර යන පන්සලේ ඉන්න රවීන්ද්‍ර ප්‍රදීප් කුමාර කපු මහත්තයා මගේ මේ චරිතය ගොඩනගන්න සහයෝගය දුන්නා. ජගත් අයියා 'කොඩි ගහ යට' කපුවාගේ චරිතය කිව්වාම මම රවීන්ද්‍ර ප්‍රදීප් කුමාර කපු මහත්තයා ළඟට ගියා. දවස් තුනක් විතර ඒ පන්සලේ ඒ කපු මහත්තයා එක්ක ඉඳගෙන ඒ කවි පුහුණුවීම් කළා. ඒවා ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඒවාට සමාන වචන යොදාගත්තා. ඒ ආභාෂය මට ඔහුගෙන් ලැබුණා. ඔහුගෙන් ලොකු ආභාෂයක් ලබාගෙන තමයි මම ඒ චරිතයට සම්බන්ධ වුණේ. නැටුම් නම් මගේ ඇඟේම තියෙන දෙයක්. මම මේ අධ්‍යයනයකින් යුතුව කරපු චරිතයක් කිව්වොත් නිවැරදියි.


මේ දිනවල ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඔබව චරිත දෙකකින් සමාජයට ගෙනියනවා?


ඔව්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා තමයි මාව කරේ තියාගෙන ගොඩක් දුර මාව ගෙනාපු අධ්‍යක්ෂකවරයා වෙන්නෙ. අපිට අවස්ථා ටිකයි ලැබෙන්නෙ. හැබැයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන්නෙ නවකයන්ට ආධුනිකයන්ට අත දෙන අධ්‍යක්ෂකවරයෙක්. සිවා අයියා මට මගේ මිත්‍රයෙක් වන රොහාන් විජේතුංග හරහා තමයි මුණගැහුණෙ. මුලින් සද්ධාමංගල සූරියබණ්ඩාර, චාමර සමරවික්‍රම මුණගැහුණා. ඒ ඔස්සේ සිවා අයියා මුණගැහුණා. ඔහු මාව ලොකු ගමනක් එක්ක ඇවිත් තියෙනවා. මිනිස්සු මාව පොඩ්ඩක් හරි දන්නවනම් මාත් එක්ක කතා කරනවා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා නිසා කියලයි මට හිතෙන්නෙ. අවස්ථාවන් ලැබුණෙ නැති මට අවස්ථාවන් ලබාදීලා මට මේ ගමන එන්න ඉඩකඩ ලබා දුන්නෙ ඔහුයි.




Previous Post Next Post