මේ චරිතයට මා තෝරාගත්තම කවද්ද ශ්‍රී ලංකාවට යන්නේ කියා සිහින මැව්වා-සොනක්ෂි සිං රාවත්




සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍ය රාජ සිනමා පටය හරහා ලාංකික සිනමාවට නව මුහුණක් එකතු විය.ලාංකීය සිනමාවේ සලකුණු තබන ඇය ඉන්දීය ජාතික තරුණියකි. මාසක පමණ ඉන්දීයාවේදී තිර පරීක්ෂණයකින් පසු ඇයට ලාං⁣කේය සිනමාවට පය තැබීමට අවස්ථාව උදාවිය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පිටපතට සහ අධ්‍යක්ෂණයට ඇය කඳ සුරිඳුන්ගේ ප්‍රතිමාව නෙළා, ආදරය කරයි. ඇය මනුෂ්‍ය ස්ත්‍රියකි, ඇය වල්ලි මාතාවයි, මනුෂ්‍ය ස්ත්‍රියක් විසින් දෙවිකෙනෙකුට ආදරය සෙනෙහස පිදීම අදහාගත නොහැකිය. ඒත් ඇය ආදරය කරයි. ඇය නමින් සොනක්ෂි සිං රාවත්ය. මේ පසුගිය දින කදිර දිව්‍ය රාජ සිනමාපටය දින 50 පිරි මේ විශේෂ පූජාවට ලංකාවට පැමිණි මොහොතේ සරසවිය සමඟ යෙදුණු කතාබහයි.


 


ඔබට වල්ලි මාතාව කියන්නද සොනක්ෂි කියන්නද ?


මම දැන් ගොඩක් කැමති වල්ලි මාතාව කියනවාටයි. ලංකාවට ඇවිල්ල මට ලැබුණු ලොකුම දායාදය ඒ තමයි. ඉන්දියාවේ ඉපදිලා මේ වගේ දෙවිකෙනකුගේ ආදරයක් සහ බිරිඳක් වෙනවා කියන එක හැමෝටම ලැබෙන්නේ නෑ. ඒ දේ මට සිනමා පටයකින් හරි ලැබුණ එක ගැන මම කොච්චර සතුටු වෙන්න ඕනද?. මම කරලා තිබ්බ පිනකට තමයි මට නපධටඥඵඵධප සුනිල් සර් හමුවෙන්නේ. එහෙම නොවුණා නම් මට අද වල්ලි වෙන්නේ නැහැ. මම ගොඩක් ගොඩක්ම ආදරේ සොනක්සිට වැඩිය දැන් වල්ලි මාතාවට.ඒත් ජීවිතේ සොනක්ෂි ට ගොඩක් ආදරෙයි.


ඔබ ගැන ඔබේ පවුල ගැන යමක් කියන්න කැමතිද?


මගේ තාත්තා ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් අම්මා අපි වෙනුවෙන් හැමදාම කැපවෙලා ආදරේ කරමින් අපිට ගෘහණියක් ලෙස කටයුතු කරනවා. මම ඉපදුණේ මුම්බායිවල මගේ අම්මයි තාත්තයි දෙන්නා මට දාපු නම තමයි සොනක්ෂි සිං රාවත් කියලා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ රාජස්ථාන්වල, ඉන් පසු උසස් අධ්‍යාපනය ලැබුවේ මුම්බායිවලයි. මම දැනට ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ උපාධිධාරිනියක් වෙනවා. සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනත් එක්ක මම හරි සතුටින් ජීවත් වෙනවා ඉන්දියාවේ. අපි හැම හැම විටම ජීවිතේ හරිම relax  ව ගත කරන්න ඕන. කිසිවිටෙකත් Tension  එකෙන් ජීවත් වෙන්න හොඳ නැහැ. සතුට ආදරය සමඟ ජීවිතයේ relax ගත කරනවා නම් ප්‍රශ්න අඩුයි. ලෝකයේ හොඳ හා නරක කියලා කොටස් දෙකක් තියෙනවා. හොඳ වැඩ කරොත් ජීවිතේ හොඳ මාර්ගයක යන්න පුළුවන්.මිනිස්සු ලෙස අපි හැම විටම යහපත් දේ පමණක් සිතිය යුතුයි.


 


එදා ඔඩ්ෂන් එකට සහභාගි වෙනකොට මොකද හිතුණේ?


මුම්බායිවල තියෙන ප්‍රධාන හෝටලයක තමා Audition එක පැවැත්වුණේ. මේ සඳහා ඉන්දියාවේ රංගන ශිල්පීන් නවක රංගන ශිල්පීන් ගොඩාක් සහභාගි වෙලා හිටියා. professor සුනිල් අරියරත්න සර් සහ Director photography එදා Audition  එකට සහභාගි වෙලා සිටියේ. Audition  එක කරලා ඉන්න කිවිවා.මම පැය දෙකක් ව්තර හිටියා. මේ පැය දෙක ගියාට පස්සෙ මාව තෝරා ගත්තා කියලා මට දැනුම් දුන්නා. මගේ ජීවිතේ මම ලබපු ලොකුම සතුටක් තමයි එදා මාව තෝරා ගත්තා කියලා කියපු වෙලාවේ ඇතිවුණේ. ඒ දේවල් මට වචනවලින් විස්තර කරන්න අමාරුයි. එදා ගෙදර ගිහින් හරිම සතුටින් මම ගත කළා. මගේ පවුලේ සියලු දෙනාත් එක්කම සහ යාළුවොත් එක්ක හරිම සතුටින් මම ඒ දවස් ටික ගෙවා දැමුවා. එදා ඉඳන් ලංකාවට එනකම් හැමවෙලේම කල්පනා කළේ කවදද ශ්‍රී ලංකාවට යන්නේ කියන එක විතරයි.


 


සොනක්ෂිගේ පළමු සිනමාපටය කදිර දිව්‍ය රාජද?


තෙළිඟු සිනමා පටයක් තමයි මගේ පළමු සිනමාපටය වන්නේ. ඒ සිනමාපටයත් ඉන්දියාවේ නෙමේ රූගත කළේ තායිලන්තයේ.එයත් මට විශේෂ සිනමාපටයක් බවට පත්වුණා. සිංහල භාෂාව වගේම ඒ සිනමාපටය රඟපාන්නට එන විට තෙළිඟු භාෂාවත් මම දැනගෙන හිටියේ නැහැ. මගෙත් එක්ක රංගනයට එකතු වුණු අනිත් රංගන ශිල්පීන්ට තෙළිඟු භාෂාව හොඳීන් කතා කරන්න හැකියාව තිබුණා. ඒත් මට වචනයක්වත් කතා කරන්න බැරිවයි හිටියේ. ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන් වගේම එයට එකතු වුණු රංගන ශිල්පීන් නිසා මට රංගනයෙන් සිනමාපටයට සාධාරණයක් ඉෂ්ට කරන්නට ලැබුණා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය නිසා. කදිර දිව්‍යරාජ සිනමාපටය මගේ දෙවන සිනමාපටයයි. සිනමාවට එන්න ඉස්සෙල්ලා මම නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිරූපිකාවක් ලෙස කටයුතු කළා. ඒ තුළින් ක්ෂේත්‍රයට එන්න අවස්ථාව සැලසුණා.


ඔබ බලාගෙන හිටපු දේ ඉෂ්ට වුණා නේද?


ඔව්. ඉන්පස්සෙ මම කදිර දිව්‍යරාජ සිනමාපටය රංගනයෙන් එකතු වෙන්න ලංකාවට ආවා. ශ්‍රී ලංකාවට ආපු දවසේ හිතුණා ශ්‍රී ලංකාව කියන නමත් එක්ක කොච්චර ලස්සන දේවල් ශ්‍රී ලංකාව තුළ ඇති ද කියලා. කදිර දිව්‍ය රාජ සිනමාපටය මාසයක් shooting  තිබ්බා. හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් shooting  වල හිටියේ. ෆිල්ම් එකේ කණ්ඩායමෙන් හොඳ සහයෝගයක් ලැබුණා. මගේ පවුලෙ අය වගේ මට මේ සියලු දෙනාම උදව් කළා. සමහර අය මට සිංහලත් කියා දුන්නා. ඒ වගේම මා සමග රංගනයෙන් එකතු වු ප්‍රධාන නළුවා ලෙස හිටිය සමර් මට හොඳ සහයෝගයක් ලබා දුන්නා.


 


පිටපත අතට දුන්නම මොකද හිතුණේ.?


මම අර ඉස්සෙල්ලා කිව්ව වගේම මට වචනවලින් එය විස්තර කරන්න අමාරුයි.කතරගම දෙවියන් ගැන මම කිසි දෙයක් දැනගෙන සිටියේ නෑ. විවිධ රටවල ආගම් තියෙනවා. දෙවියන් අදහනවා. ඉතින් ඒ වගේ දෙවියන් අතර මේ දෙවියන් ගැන මම දැනගෙන හිටියේ අල්පයයි. මේ දෙවියන් මට බොහොම ළඟින් සමීප වෙනවා වගේ මට දැනුණා. ඉන්දියාවේ වගේම ලංකාවෙත් බොහෝ දෙවිවරු අදහනවා ඒ අතර ලංකාවේ ගොඩක් දෙනෙක් කතරගම දෙවියන් අදහන බව මම රඟපාන්න ආවට පස්සෙ තමයි දැනගත්තෙ. වල්ලි මාතාව ගේ චරිතය රඟපාන්නට ගත්තට පස්සේ මම ඒ චරිතය ජීවත් වුණා.මම අදහන ආගම දහම අනුව මම හරිම ගරු කරනවා රංගනයට. මම හින්දු භක්තිකාවක්. අපි ආගම් ජාති වලින් වෙනස් වුණාට අපේ සිතුවිලි ඔක්කොම එක හා සමානයි කියලා මට මෙහි රංගනයේ යෙදෙන විට දැනුණා. සිනමාපටය වෙනුවෙන් මම මේ ආවේ තුන්වැනි වතාවටයි. මට හිතෙන්නෙ මම ඒ තරම්ම දෙවියන්ට ආදරේ කරපු නිසා වෙන්න ඕන මට මේ වගේ ළඟ ළඟ ලංකාවට එන්න ලැබුණේ. මට විතරක් නෙවෙයි සමර්ටත් එහෙමම තමයි. සමහර දවස්වල මට හිතුණා මම ලංකාවේ ඉපදිච්ච කෙනෙක් ද කියලා. ඒ තරම්ම මම ලංකාවට ආදරේ නිසයි.


 


කදිර දිව්‍යරාජ සිනමාපටය දින පනහ පසු කරන විට වල්ලි මාතාව ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


පසුගිය සැරේ ආපු වෙලාවේ මම දින දහයක් ලංකාවේ හිටියා. සිනමාපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා මේ වගේ දෙවි කෙනෙක් ගේ බිසවක් ලෙස රඟපාපු මට ලැබෙන ප්‍රතිචාර ගැන මට හරිම සතුටුයි. මංගල දර්ශනයේ මෙන් ම දින පනහ පසු කරලා කතරගම පුදබිමේ දී ආශිර්වාද පූජාව ඉවර වීමෙන් පසු සිනමාලෝලීන් ගෙන් ලැබුණු ප්‍රතිචාර මට දරාගන්න බැරි වුණා. ඇත්තටම මට හිතුණෙ වල්ලි මාතාවට මේ මිනිස්සු කොච්චර ආදරේද කියලා. ඒ සියලු දෙනාම කතා කරේ දේව භක්තිය හිත ඇතුළේ තද කරගෙන කියලා මට දැනුණා. සමහරක් අය පොරකකා මගෙත් එක්ක සෙල්ෆි ගැහුවා. සමහරක් අයට සෙල්ෆියක් වත් ගන්න බැරුව හරි දුකෙන් හිටියා කියලත් මට දැනුනා. ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ මම ඉන්දියාවේ කෙනෙක් කියලත්. සමහරක් අය මට සිංහලෙන් කතා කරා ඒවා ටික ටික සමහර දේවල් තේරුණා වගේ දැනුණා. ඇත්තටම ඒ අයට ගොඩක් මම ආදරෙයි කියලා කියනවා. මාව ලංකාවේ ජනප්‍රියත්වයට පත් කරපු එක. දින පනහ පසු කරන විටත් සිනමාහල් වල සිනමාලෝලීන් පිරි ඉතිරි යනවා කියලත් මට දැනගන්නට ලැබුණා. ඒක හොඳ දෙයක් කියල මට දැනුණා. මට දැනෙන විදිහට දින සීය පසු කරත් මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ විදිහටම ලැබෙයි කියලා හිතෙනවා. කතරගම දෙවියන්ගේ පිහිට නොකඩවා සිනමාපටයට ලැබෙයි කියලත් කියන්න පුළුවන්. මට හිතුණෙ සිනමාලෝලීන් දේව භක්තියෙන් මේ සිනමා පටය බලන නිසයි.


අධ්‍යක්ෂක තුමා සහ නිෂ්පාදකතුමා ගැන මොකද හිතුණේ?


professor  සුනිල් සර් හරිම හොඳ කෙනෙක්. ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් කියලත් කියන්න පුළුවන්. ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් යටතේ ලංකාවට ඇවිල්ල රඟපාන්න ලැබීම ගැන මම හරිම සතුටු වෙනවා. මම හිතන්නේ මම කරපු භාග්‍යයක් කියලා මේ චරිතය ලැබීම. මට නැවතත් සර්ගෙ සිනමාපටයකට රඟපාන්න එන්න කිව්වොත් අනිවාර්යයෙන්ම මම එනවා. ඒ වගේම මෙහි නිෂ්පාදකතුමා Dr  රවී ලියනගේ හොඳ script  තොරාගෙන නිෂ්පාදනයක් කළා කියලා මට හිතුණා. නිෂ්පාදකවරයෙක් ගේ භූමිකාව මැනවින් ඉෂ්ට සිද්ධ කර නිෂ්පාදකයෙක් කියලා මට දැනුණා. අපි රඟපාන්න ආපු දවසේ ඉඳලා යනතෙක් අපිට කරපු සියලුම දේවල් තුළින් ඔහු හොඳ නිෂ්පාදකයෙක් කියලා අවබෝධ කරගත්තා. ඔහුගේ පළමු නිෂ්පාදනය මෙය බවයි අපට අපිට දැනගන්න ලැබුණේ. කදිර දිව්‍ය රාජ සිනමාපටය ලංකාවේ සුවිශේෂී ස්ථානයක් දැනට හිමිකරගෙන තියෙනවා කියලත් අපිට දැනගන්නට ලැබුණා. ඒ සියලු දේ සිනමා ලෝලීන්ට ලැබුණේ ඔහු නිසායි. මම කොහේ හිටියත් ඔහුගේ ආරාධනාවක් ලැබුණොත් ඊළඟ නිෂ්පාදනයටත් එන්න පොරොන්දු වෙනවා. දක්ෂ අධ්‍යක්ෂවරයෙක් හා හොඳ නිෂ්පාදකවරයෙක් යටතේ සිනමාපටයක් නිර්මාණය වනවා කියන්නේ සිනමාවේ දියුණුව කියලයි මම දකින්නේ.


 


ඉන්දීය සිනමාව සහ ලාංකික සිනමාව ගැන මොකද හිතුණේ?


ඉන්දියාව කියන්නේ සිනමා කර්මාන්තයක් ඒ තුළ පවුල් දහස් ගණනක් ජීවත් වෙනවා. ඒත් ලංකාව කුඩා රටක් ඒ වගේම සිනමා කර්මාන්තයේ දක්ෂ ශිල්පීන් සහ අධ්‍යක්ෂකවරුන් මෙන්ම හොඳ නිෂ්පාදන බිහි කරන රටක්. හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන් රටක් කියලා මට දැනුණා. මම විවිධ රටවල් වල සිනමා කර්මාන්තය පිළිබඳ දත්ත තොරතුරු හොයන විට මට දැනගන්නට ලැබුණා  International Awardලබන රටක් කියලයි.  International Award ලබාගත් ගොඩක් දෙනෙක් තරුණ පිරිස් කියලයි දැක්කේ. ඒක ලංකාව වැනි රටකට හොඳ ලක්ෂණයක් කියලයි මට හිතෙන්නේ. මම හිතන්නේ අපිට උනන්දුවක් තියෙනවා නම් ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක විතරයි. ලංකාව සුන්දර රටක් ඒ තුළ හොඳ නිර්මාණ බිහි කරන්න පුළුවන්.


 


ලංකාවේ ගත කරපු කාලය තුළ මොකද හිතුණේ ? මොනවටද වැඩිපුරම කැමති?


මීට පෙර මම ලංකාවට කිහිප වතාවක්ම ඇවිත් තියෙනවා. ඒ ආවේ රඟපාන්න නෙමේ. ලංකාවේ සුන්දරත්වය විඳල යන්න ටිකක්. හරිම හොඳ මිනිස්සු ජීවත් වෙන රටක් කියල මට දැනුණා. ලංකාවේ  climate එක දවසක් ඇතුළත විවිධ විදිහට වෙනස් කරන්න පුළුවන් කියලත් මට දැනුණා. එක දවසක් ඇතුළත ගොඩක් තැන්වල ඇවිදින්න යන්න පුළුවන්. එහෙම රටවල් තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා මම හරිම කැමැතියි ලංකාවේ ජීවත් වෙන්නත්.ලංකාවේ ගොඩක් ෆුඩ්වලට මම කැමතියි. මෙහෙ හදන චිකන් කොත්තුවලට නම් මම හරිම ආසයි. අපේ රටේ කෑමයි ලංකාවේ කෑමයි අතර වෙනසක් දැනුණේ නැහැ ගොඩක් එක හා සමානයි. නුවරඑළිය, බණ්ඩාරවෙල, ඇල්ල හපුතලේ, උණවටුන, හික්කඩුව, අරුගම්බේ, නිලාවේලිවගේ ප්‍රදේශවල මම ඉන්න සහ ඇවිදින්නත් කැමතියි. ගොඩක්ම ආදරය කරන්නේ ස්වභාවික පරිසරයටයි. ඒවාගේ පරිසර පද්ධතියක් වෙනත් රටවල පිහිටන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. ලස්සන wildlife පද්ධතියක් ලංකාව ඇතුලේ තියෙනවා කියලත් මං දැක්කා. ආයේ සැරයක් එන්නේ ඒ සියලු තැන්වල ඇවිදලා යන්න තමයිි.


 


කදිර දිව්‍ය රාජ ගෙන් පසු ඉදිරියේ ඔබ රඟපාන වෙනත් නිර්මාණ මොනවාද?


මේ සිනමා පටයෙන් පසු මට දමිළ සිනමා පටයකට අවස්ථාව ලැබුණා. එයත් මේ වන විට නිෂ්පාදන කටයුතු ඉවර කරලායි තියෙන්නේ. ඊට අමතරව නිරූපිකාවක් ලෙස දිගටම කටයුතු කරනවා. තවත් සිනමා පට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.


 


තරුණ රංගන ශිල්පිනියක් ලෙස ඉන්න, ඔබ පෙම්වතියක්ද?ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?


ආදරේ කියන්නේ සියලු දෙනාටම දෙන්න පුළුවන් දෙයක්. ඒක ප්‍රේමය කියලා නම් කරන්න බැහැ. මගේ ජීවිතයේ තව ගොඩක් දුර ගමනක් යන්න තියෙනවා. ඒ දෙය ඉෂ්ට සිද්ධ කරගන්න ඕන. ඉන්පස්සෙ පෙම්වතියක් ලෙස හිතන්න පුළුවන්. ජීවිතයේ ඉලක්ක තියෙනවා ඉලක්ක සපුරා ගත්තාම ඕනම දෙයක් ලබා ගන්න පුළුවන්.


 


අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?


මේ ගමන එන්න මට උදව් කරපු සියලු සියලු දෙනාටම ස්තූති කරනවා. මාව සිනමාපටයට තෝරාගත්ත අධ්‍යක්ෂක තුමා ඇතුළු සියලුම නිෂ්පාදක කණ්ඩායමට සහ නිෂ්පාදක තුමාට විශේෂ ස්තුතිය පුද කරනවා. ලංකාවේ ගත කරපු දවස් වල දී මට සහ සමර්ට උදව් කරපු සියලු දෙනාටම ස්තූතිය පුද කරනවා.


 



Previous Post Next Post