ජැක්සන් කියන්නේ අපිට විශ්වය ලබා දුන් දැවැන්ත තිළිණයක්-ශ්‍රියන්ත මෙන්ඩිස්

 


ඔහු ලාංකික කලා ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති රංගධරයෙකි. තම මිත්‍රවරයාගේ වියෝවත් සමඟ තම මිත්‍රවර බැම්මේ අතීතය වටිනාකම බෙදා ගැනීමට අප හා එක් වුණා. අද එක්වන්නේ ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්. 


ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ටයා ඔබට මුණගැසෙන්නේ කොහොමද?


හැත්තෑව දශකයේ මැද භාගය අපි නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වීමට මහත් ලෙස වෙර දරන යුගයක් වුණා. එම යුගය තුළ ජැක්සන් ඇත්තනී, නෙවිල් ඩයස් සුබසිංහ මහතා ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. මම, සේනක පෙරේරා මහතා ප්‍රමුඛ තවත් නාට්‍ය කණ්ඩායමක සාමාජිකයෙක් ලෙසත් කටයුතු කළා. අපි දෙගොල්ලොම එක්තරා අවස්ථාවක ගම්පහ දිස්ත්‍රික්ක කෙටි නාට්‍ය උළෙලකදී එකට මුණගැසෙනවා. ඒ වනවිටත් අපේ කණ්ඩායම් දෙක අතර සීතල යුද්ධයක් තිබුණා. එය කිසි ලෙසකින්වත් වෛරක්කාරී ස්වරූපයක් ගත්තෙ නැහැ. ඒක නිර්මාණ කාර්යයේ සීතල යුද්ධයක් විධියට හ¾දුන්වන්න පුළුවන්. ඉන්පසුව අපේ කණ්ඩායම් දෙක එකතු වෙලා මිත්‍රවරයන් බවට පත් වෙනවා.


ඉන් අනතුරුව මේ මිත්‍රත්වය සදාතනික බැම්මක් බවට පත්වෙනවා. ඒ යුගය චිත්‍රපට, ටෙලිනාට්‍ය බරපතළ ලෙස තිබුණු යුගයක් නෙවෙයි. අපි නාට්‍යවලින්ම තමයි මේ ගමන ආරම්භ කළේ. ඒක ඉතා දුෂ්කර ගමනක්. එය ඉතා රළු පරළු මාවතකින් පැමිණි ගමනක්. පසුකාලීනව අපි ලබා ගත්තේ ඒ දුෂ්කරත්වයේ ප්‍රතිඵල කියා කියන්න පුළුවන්. එලෙස ආරම්භ වුණු මිත්‍රත්වය යුගයක් කලඑළි කරන මිත්‍රත්වයක් බවට පත් වුණා. යුගයක එක් පුරුකක මහා දැවැන්ත අවසානය තමයි අපි මේ මොහොතේ දකින්නෙ.


ටෙලිවිෂන් ඉතිහාසයේ සුවිශිෂ්ට නිර්මාණයක් වන අකාල සන්ධ්‍යාහි ඔබ ගනේතැන්න ලෙසත් ජැක්සන් ඇන්තනී මහතා නාගසිංහ ලෙසත් එම චරිතවලට පණ පොවනවා. මේ සුසංයෝගය ගැන කතා කරමු?


අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යය නිර්මාණය වීමට පෙර ජයන්ත චන්ද්‍රසිරි මහතා නිර්මාණය කරනවා වෙදහාමිනේ කියලා ටෙලිනාට්‍යයක්. එහි ජැක්සන් ඇන්තනී අන්තෝනි කියන චරිතයට පණ පොවනවා. මම සහ කමල් වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ ජැක්සන් සමඟ එකට රඟපෑවා. ඇත්තටම අපි එක යුගයක් නියෝජනය කළ පිරිසක් කියලා හ¾දුන්වන්න පුළුවන්. අපි එක රැහේ උන්. අපි ටෙලි නාට්‍යවලට ප්‍රවිෂ්ට වන්නෙ එහෙම.  අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ මම ගනේතැන්න ලෙසත් ජැක්සන් නාගසිංහ ලෙසත් රඟ දැක්වූවා. අපි ඒ දවස්වල ඉඳන්ම දෙපැත්තෙ ඉඳපු දෙන්නෙක්. නමුත් ඒ, ඇක්ෂන් කට්වලදි විතරයි. ඒවා ඉවර වුණාට පසුව අපි  ගජමිතුරො. එතුමා රචනා කළ පනාපුත්‍රගේ මතක වස්තුව නම් පොතෙහි දහ අටවන පරිච්ඡේදය වෙන්වෙලා තිබෙන්නෙ මං වෙනුවෙන්. ඔහු එහි ගජමිතුරා කියලා මා ගැන ලියා තිබෙනවා. එහි මේ සියලු කාරණා පිළිබඳව ලියා තිබෙනවා. මා හිතන අයුරින් ඔහු දක්ෂ නළුවෙක් වගේම විවිධ ක්ෂේත්‍රයන් ස්පර්ශ කළ දාර්ශනිකයෙක් ලෙස මට පෙන්වා දෙන්න පුළුවන්.


ජැක්සන් ඇන්තනී නම් විශිෂ්ට අධ්‍යක්ෂවරයා ගැන කතා කරමු?


ඔහුගේ පළමු ටෙලිනාට්‍ය රචනාව වුණු ජාතික රූපවාහිනියේ විකාශය වූ මහමෙර පාමුල නම් ටෙලිනාට්‍යයේ ඔහු මට වන්නකු නම් චරිතයක් ලබා දුන්නා. එය ඉතා දඩබ්බර චරිතයක්. ඔහුගේ පළමු සිනමාපටය වුණු ජුලියට්ගේ භූමිකාව නම් සිනමාපටයේ ඔහු මට චරිතයක් වෙන් කරලා දුන්නා. ඒ වගේම අබා සිනමාපටයේත් පරමුක කියන චරිතය ඔහු මට ලබා දුන්නා. ඔහු අධ්‍යක්ෂවරයෙක් ලෙස බොහෝ දේ තේරුම් බේරුම් කර ගනිමින් කටයුතු කරන පුද්ගලයෙක් ලෙස දකින්න පුළුවන්. ඒ වගේම නළු නිළියන් පරිස්සමින් හසුරවාගෙන නළු නිළියන් සතු දෙය උකහා ගැනීමට විශාල හැකියාවක් ඇති අධ්‍යක්ෂවරයෙක් ලෙස මම ඔහුව දකිනවා. ඔහු නිර්මාණයට විශාල සාධාරණත්වයක් ඉටු කරන අධ්‍යක්ෂවරයෙක් ලෙසත් දකින්න පුළුවන්. ඔහුගේ මනසේ තිබෙනා රූපමය හැඩතල සහ නිර්මාණ පක්ෂය කෙසේ හෝ නළු නිළියන්ගෙන් ඔහු ඉතා සාර්ථක අයුරින් උකහා ගන්නවා. එයට ප්‍රධාන කාරණාවක් ලෙස ඔහු රංගධරයෙක් වීම පෙන්වා දෙන්න පුළුවන්. ඔහු තම අධ්‍යක්ෂ කාර්යය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන අධ්‍යක්ෂවරයෙක්.


ජැක්සන් ඇන්තනී නම් හසළ දැනුමකින් යුතු මහා ප්‍රාඥයා ගැන මොකද සිතෙන්නෙ?


මම ඔහු පිළිබඳව කල්පනා කරන බොහෝ දේ තිබෙනවා. අපි මේ යුගයේ අන්තර්ජාලයේ සැරිසරන විටදී ලෝකයේ සිටින විවිධ නළුවන් පිළිබඳව සොයා යනවා. නමුත් මෙවැනි සහජ දක්ෂතාවන් රැසකින් යුතු රංගධරයෙක් අපට මුණගැසෙන්නේ නැහැ. මේ විධියට විවිධ ක්ෂේත්‍රයන් තුළ පැතිරුණු පෘථුල දැනුමකින් යුතු මිනිසෙක් අපිට මුණගැසෙන්නේ නැති තරම්. ඔහු රඟපෑම පමණක් නෙවෙයි ගායනය, නිවේදනය, ඉතිහාස ගවේෂණය, සංචාරීය ගවේෂණය, නාට්‍ය සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, තිර පිටපත් රචනය, ගීත රචනා වැනි සියලු කාරණාවලින් පිරිපුන් මිනිසෙක්. ඒ නිසාම මට ඔහුව පෙනෙන්නෙ විශ්වය අපිට ලබාදුන් මහා දැවැන්ත තිළිණයක් ලෙස. නමුත් ඔහු අපිට බර වැඩියි‍ෙදා් කියා මට සිතෙනවා. ඔහු පිළිබඳව කතිකාවක් කරන විට හෝ ලියන විට පිටුවකින් දෙකකින් ඔහු පිළිබඳව ලියා අවසන් කරන්න බැහැ. ඔහු මහා පුරාවෘත්තයක්. මේ මිනිසා නැවත හමුවේ‍ෙදා් කියන බය අපේ සිත් තුළ තිබෙනවා. අපි ඔහුගෙන් නිසි ලෙස ප්‍රයෝජන ලබා ගත්තේ නැහැ කියා මම සිතනවා.


 ජැක්සන් නම් විශිෂ්ටයාගේ නික්ම යෑමෙන් ඇතිවන රික්තකය කලා ක්ෂේත්‍රයට කවර වර්ගයේ බලපෑමක් කරයිද?


එය මේ කලා ක්ෂේත්‍රයට දැවැන්ත ලෙස බලපානවා. ඒ අඩුව පිරවිය හැකි රංගධරයෙක් මේ සමාජය තුළ නැහැ. එවැනි විශිෂ්ටයකු නැති අඩුවත් සමඟ අපට ඉතිරි කාලය ගෙවා දමන්නට සිදුවෙයි. ඔහු තරම් නින්දා පරිභවවලට ලක්වුණු පුද්ගලයෙක්ද නැති තරම්. අපි ඔහුව නොමරා මැරුවාද? යන කුකුස අපි තුළ තිබෙනවා. අපි ඔහුව විනාශ කළාද කියන කුකුස අපට තිබෙනවා. ඔහු තවත් කල් සිටියා නම් කියන දෙය අපි කාගෙත් සිත් තුළ තිබෙන දෙයක්.


 ජැක්සන් නම් විශිෂ්ටයා පිළිබඳව ආදරණීය මිත්‍රවරයෙක් ලෙස අවසන් වරට කියන්න තිබෙන්නේ කුමක්ද?


ඔහු අපෙන් සමු අරගෙන අවසන්. අපි ඔහුව මිහිදන් කරන්නේ ඊළඟ පරම්පරාවට ලබා ගැනීමට තිබුණු දැනුමත් සමඟයි. ඔහුට මම මෙහි ඉපදේවා කියා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔහුට ආදරය කරන, ඔහුගේ ඥානයට ගෞරව කරන, ඔහුගේ ගුණය ලබා ගන්න පුළුවන් ලෝකයක ඉපදෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා. එවිට ඔවුන් ඔබට ආදරය කරාවි. ඔවුන්ට ඔබව දැනේවි. විශිෂ්ටයාණෙනි, ඔබට සුබ ගමන්.


ගිහාන් සචින්ත




Previous Post Next Post