වෛරක්කාර සමාජයකින් ජැක්සන් අයියාට ඉක්මනින් යන්න ලැබීම වාසනාවක් - සේනක විජේසිංහ




සේනක... මතකද මුලින්ම ජැක්සන්ව මුණගැහුණු ඒ අතීතය?


ජැක්සන් අයියව මට මුලින්ම මුණගැහුණෙ ජයන්ත අයියගේ (ජයන්ත චන්ද්‍රසිරි) වැඩවලට කොළඹ ආපු කාලෙදියි. ඒ කාලෙදි මම නුවර ඉඳන් තමයි වැඩවලට කොළඹ ආවේ. ජයන්ත අයියගේ වැඩවලට යද්දි මට මුලින්ම ජැක්සන් අයියව මුණගැහුණා. ඒ කාලෙදි කපිල කුමාර කාලිංගත් එක්ක මම වැඩ කළා. එල්ෆින්ස්ටන් රඟහලේදි චතුර ජයතිලකලා කරපු ධර්මසේන පතිරාජයන්ගේ 'වම් ඉවුර' නමින් සිනමා උළෙලක් පැවැත්වුණා. එදා මාව දැකපු ජැක්සන් අයියා ''මේක ඉවරවෙලා මාව හම්බවෙන්න'' කියලා අතින් සංඥා කළා. මමත් ඒක ඉවරවෙලා ජැක්සන් අයියව මුණගැහුණා. ''මල්ලි මම මේ දවස්වල ෆිල්ම් එකක් කරනවා. ඒකෙ චරිතයක් තියෙනවා. උඹව දැක්කාම මට ඒකට උඹව ගන්න ඕනෙ කියලා හිතුණා. උඹේ පෙනුමත් ඒකට ගැලපෙනවා. වරෙන් අපි වැඩ කරමු'' කියලා කිව්වා. ඒ කාලෙ මම කොණ්ඩෙ දිගට වවලයි හිටියේ. ඉතින් ඒ විදිහට තමයි මට ජැක්සන් අයියගේ 'ජුලියට්ගේ භූමිකාව' නිර්මාණයට සම්බන්ධවෙලා ඔහුත් සමඟ වැඩ කරන්න අවස්ථාව උදා වුණේ. එතැනදි තමයි මට කමල් අද්දරආරච්චි මුණගැහුණෙ. ඒ නිර්මාණය හරහා ජැක්සන් අයියා සහ මම ගොඩක් හිතවත් වුණා.


'ජුලියට්ගේ භූමිකාව' ඔස්සේ පටන් ගත්ත සේනකගෙත් ජැක්සන්ගෙත් ඒ මිත්‍රත්වය තවත් නිර්මාණ කිහිපයකින් වැඩි වුණා නේද?


ඔව්. 'ජුලියට්ගේ භූමිකාව' චිත්‍රපටයෙන් පස්සෙ මමයි ජැක්සන් අයියයි ජයන්ත චන්ද්‍රසිරි අයියගේ 'අකාල සන්ධ්‍යා' ටෙලිනාට්‍යයට සම්බන්ධවෙලා බොහොම ළඟින් ඇසුරු කළා. ඒකෙදි ජැක්සන් අයියා එක්ක මම එකදිගට සටන් පුහුණුවීම් හා සටන් ජවනිකාවල නිරත වුණා. අපි හොඳින් කතාබහ කරලා සෑහෙන්න කිට්ටු වුණා. ඒ වගේම ජැක්සන් අයියා අධ්‍යක්ෂණය කළ 'ඇසළ කළුවර' ටෙලිනාට්‍යයටත් ඔහු මාව සම්බන්ධ කර ගත්තා. ඒකෙදි ඔහුගේ ඔළුවේ හිටපු 'කුමරන්' කියන චරිතය මම කියලයි ඔහු කිව්වේ. ඒක තමයි ඇත්තටම ඔහුගේ කතාවේ තිබුණු දර්ශනය වුණේ. ඒක පෙන්නුම් කළේ මගේ චරිතයෙන්. ඒ මම මේ ක්ෂේත්‍රයට ආපු අලුත. ඉතින් ඒ කාලෙදි මාව 'ඇසළ කළුවර'ට ගන්න එපා කියලා ඔහුට බොහෝ දෙනා බලපෑම් කරලා තිබුණා. ඒ කාලෙ මම නුවර හිටියේ. හැබැයි ජැක්සන් අයියා මට ඇමතුමක් දීලා ''මේ යක්කුන්ගෙන් මහ පුදුම වදයක් සේනක තියෙන්නෙ. මම උන් කියන දේ අහන්නෙ නෑ. මම උඹව අනිවාර්යෙන්ම ගන්නවා'' කියලා කිව්වා. ඇත්තටම ඔහුගෙන් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මට බොහෝ දැනුම, බොහෝ උපදෙස් ලැබුණා. නමුත් පහු කාලෙදි දේශපාලන වැඩත් එක්ක අපේ කලා වැඩ කටයුතු ටිකක් වෙනස් වුණා.


ඔබට 'අකාල සන්ධ්‍යා' නිර්මාණයෙන් පසුව ජැක්සන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණෙ නැද්ද?


නැහැ. ඊටපස්සෙ ඔහුත් එක්ක කරන්න තිබුණු වැඩ දෙක තුනක්ම මට අතපසු වුණා. ඒකට මගේ රිය අනතුරත් බලපෑවා. හැබැයි අපි දෙන්නා වට්ස්ඇප් මාර්ගයෙන් පණිවිඩ හුවමාරු කර ගත්තා. ජැක්සන් අයියා මේ බරපතළ අනතුරට මුහුණ දෙන්න මාස දෙකකට උඩදිත් මට වට්ස්ඇප් පණිවිඩයක් එවලා තිබුණා. ''මල්ලි.. මට උඹත් එක්ක ආයෙත් වැඩ කරන්න ආසයි. මේ දැන් කරන ෆිල්ම් එකේ චරිත තුනයි තියෙන්නෙ. ඒකට උඹව ගන්න විදිහක් නෑ. ඊළඟ වැඩේට අනිවාර් යෙන්ම මම උඹව ගන්නවා'' කියලා ඔහු මට පණිවිඩයක් එවලා තිබුණා. ඒ තමයි ඔහුගේ අවසන් පණිවිඩය.


අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඔහු මොන වගේ චරිතයක්ද?


ඉතාම සැහැල්ලුවෙන් වැඩ කරන කෙනෙක්. වැඩේ ලොකුවට බැරූරුම් විදිහට ගන්නෙ නැහැ. හැබැයි එහෙම නැත්තෙත් නෑ. බොහොම විනෝදයෙන් ඒ නළු නිළියන්ට අවශ්‍ය කරන නිදහස ලබා දුන්නා. ඔහු ඉතාම සුන්දරව වැඩ කරපු මනුස්සයෙක්. ඔහු ඇත්තටම පුස්තකාලයක්. දැනුම් සම්භාරයක්. ඔහුගෙන් අපි ඉගෙන ගත්ත දේවල් බොහොමයි. රෑගත කිරීම් අවසානයේදි ඉතාම සුන්දර විදිහට අපි හවසට එකතුවෙලා සින්දු කිව්වා.


'අකාල සන්ධ්‍යා' රෑගත කිරීම් කරද්දි සේනකට අනතුරක් වුණා නේද?


ඔව්. ඒ අනතුර මට කිසිමදාක අමතක වෙන්නෙ නෑ. එදා 'අකාල සන්ධ්‍යා'වේ අවසන් සටන් ජවනිකා රෑගත කිරීම්වලට සූදානම් කරලයි තිබුණෙ. ඒ රෑගත කිරීම් කළේ ඇඹිලිපිටියේ මඩුවන්වෙල වලව්වේ. එදා මම වලව්වේ මිදුලේ පුහුණුවීම් කරමින් ඉද්දි මගේ කකුල කැපුණා. ඉක්මනටම මාව රෝහලට අරගෙන ගියා. කකුලට මැහුම් දොළහක් දැම්මා. ඉතින් අනතුර නිසා රෑගත කිරීම් කරන්න බැරිවෙයි කියලයි හැමෝම හිතුවෙ. හැබැයි එදා නිෂ්පාදක කණ්ඩායමට මේ සටන් ජවනිකාව කළ යුතුවම තිබුණා. ඒ නිසා ජැක්සන් අයියා තනියම මම ළඟට ඇවිත් ''මේක උඹ අතහරින්න එපා. මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙනවා. මෙතැන තමයි උඹේ දක්ෂතාවය තියෙන්නෙ. ඉවසගෙන කරපං. මම උඹට උපරිමයෙන්ම උදව් කරන්නම්. අපි දෙන්නා මේ ෆයිට් එක හරියටම කරමු'' කියලා කිව්වා. එදා ඔහු මාව පුදුම විදිහට ශක්තිමත් කළා. එදාම අපි ඒ සටන් ජවනිකාව කළා. ජයන්ත අයියත් අපි දෙන්නව අගය කළා. තුවාලේ වේදනාව, හැමදේම ඉවසගෙන මම ඒ සටන් ජවනිකාවට මුහුණ දුන්නා. ජැක්සන් අයියා මට පුදුම සහයෝගයක් ලබා දුන්නා. ඒ සටන් ජවනිකාව සාර්ථක වෙන්න ප්‍රබලම හේතුව වුණේ ජැක්සන් අයියයි.


ජැක්සන් ඇන්තනීගේ අනතුර ආරංචි වුණාට පස්සෙ ඔබ ඒ මිත්‍රයා ගැන සොයා බැලුවේ කොහොමද?


ඇත්තටම ඔහුගේ අනතුර මාව කම්පනයට පත් කළා. මම ශ්‍රියන්ත අයියට දුරකථනයෙන් කතා කරලා ජැක්සන් අයියා ගැන නිතරම තොරතුරු ඇහුවා. මුල ඉඳන්ම අපි කාටවත් වැඩිය ඔහුව බලන්න යන්න දුන්නෙ නැති නිසා ඔහුව බලන්න රෝහලට යනවා කියන දේ මම ඔළුවෙන් අතහැරලයි තිබුණෙ.


ඔහුගේ වියෝව අද සේනකට දැනෙන්නෙ කොහොමද?


කලාකරුවෙක් හැටියට වෙන රටවල පූජනීයත්වයෙන් සලකන කලාකරුවන් මේ රටේ ගොඩක් මිනිස්සු ඉතාම කුහක විදිහට, ඉතාම නරක විදිහට ඒ පුද්ගලයාගේ මරණය පවා විවේචනය කරන, ලෙඩක් පවා විවේචනය කරන තත්ත්වයට මේ රට පත්ව තිබීම ගැන ලොකු කම්පනයක් තියෙනවා. මේ වගේ ජරාජීර්ණ වුණු සමාජයකින්, මේ වගේ කුහක, වෛරක්කාර මිනිස්සු ඉන්න සමාජයකින් ජැක්සන් අයියාට ඉක්මනින් යන්න ලැබීම එක අතකින් වාසනාවක් කියලයි මට හිතෙන්නෙ.


 දිශානි





Previous Post Next Post