අමාව ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න බැහැ -ෆර්නි රෝෂිනී



අක්ෂි ටෙලි නාට්‍යයේ තරමක් වෙනස් චරිතයක් ලෙස ඔබ හමුවට එන අමා නොදන්නා කෙනෙක් නැති තරම්. ගුවන්විදුලි මහගෙදරින් කලා දිවිය ආරම්භ කරන ඇය මේ වන විට රිදී තිරයේ වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට එන දක්ෂ රංගන ශිල්පිනියක්. අක්ෂි, නීල පබළු, රැල්ල වෙරළට ආදරෙයි, හපන්නු අපි ගමේ රාජ්‍යයේ යන ටෙලි නාට්‍යයන්ට රංගනයෙන් දායක වන ෆර්නි රෝෂිනී  අදහස් බෙදා ගත්තේ මෙලෙසින්.


කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


මේ දිනවල ටිකක් කාර්යබහුලයි. වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ බාර අරගෙන තිබෙනවා. දැනට කරගෙන යන වේදිකා නාට්‍ය කිහිපයකුත් තිබෙනවා. රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායක වෙනවා. ඒත් එක්කම අලුත් සංගීත කණ්ඩායමක් පටන් අරගෙන ඒකෙත් වැඩකටයුතු කරගෙන යනවා. හඬකැවීම් කටයුතුවලට වගේම පාසල් වැඩමුළුවලටත් සහභාගි වෙනවා.


අක්ෂි ටෙලිනාට්‍යයේ අමාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


අමා නම් ප්‍රේක්ෂකයන්ට පෙන්නෙන්න බැරි චරිතයක් වෙලා. ඒ චරිතය පිළිබඳ හොඳ අවබෝධයකින් තමයි මම රඟපාන්නේ. ඒ චරිතයේ ස්වභාවය නිසා ගොඩක් මිනිස්සු අමාට කැමැති නැහැ. මම හිතනවා අමා කියන චරිතයට උපරිම සාධාරණයක් කළා කියලා.


රංගනයට අලුතින් ආරාධනා ලැබුණේ නැද්ද?


අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. හපන්නු අපි ගමේ රාජ්‍යයේ කියන ළමා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. ළමයින් වෙනුවෙනුත් දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ වගකීම වෙන්නේ. පොඩි දරුවන් එක්ක වැඩ කරන එක හරිම සුන්දර අත්දැකීමක්.


අලුත් සිනමා නිර්මාණයකටත් රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ, සඳ එක් දිනක් කියන චිත්‍රපටයේ මංගො නැන්දා නම් චරිතයට. මේ චිත්‍රපටයත් රසවිඳින්නට පුළුවන් ගීතාත්මක සිනමා චිත්‍රපටයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.


අක්ෂි ටෙලි නාට්‍යයේ අමාගේ චරිතය ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වීම ගැන ඔබ මොකද හිතන්නේ?


හොඳ චරිත කරලා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්නත් පුළුවන්. ඒ වගේම සැර නපුරු චරිත කරලත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න පුළුවන්. යහපත් දේට වඩා ඉතා ඉක්මනින් අයහපත් දේ ජනප්‍රිය වෙනවා. අමාගේ චරිතය ටිකක් වෙනස් චරිතයක්. ඒ චරිතය ඇතුළේ හොඳ නරක දෙකම තිබෙනවා.  ඕනෑම කාන්තාවක් තුළ අමා කෙනෙක් ඉන්න පුළුවන්. ගෙවල් ඇතුළේ හිර වෙලා, පීඩාවෙන් ජීවත්වෙන කාන්තාවන් ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. එවන් කාන්තාවකගේ චරිතයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරන චරිත තමන්ට සමීප නම් ඒ චරිතයට බොහෝ දෙනා ආකර්ෂණය වෙනවා. අමා කියන චරිතය සම්පූර්ණයෙන්ම නැතත් යම් ප්‍රමාණයකින් හෝ දැනෙන චරිත සමාජයේ ඕනෑ තරම් ඇති කියලා මම හිතනවා. ඒ නිසා වෙන්න ඇති අමා කියන චරිතය එතරම් ජනප්‍රිය වුණේ.


තරුණ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කිරීම මොන වගේ අත්දැකීමක්ද?


ඇත්තටම හොඳ අත්දැකීමක්. ක්ෂේත්‍රයේ දැවැන්ත නළු නිළියන් පවා මේ තරුණ අධ්‍යක්ෂවරයා යටතේ වැඩ කරනවා. කලන ගුණසේකර, ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ, වසන්ත කුමාරවිල වැනි දක්ෂ රංගන ශිල්පීන් ඒ අතර වෙනවා. වසන්ත කුමාරවිල ඇත්තටම සටන් නළුවෙක්. ඔහු මේ ටෙලි නාට්‍ය හරහා චරිතාංග නළුවෙක් බවට පත්වෙනවා. ධනුෂ්ක රත්නායක කියන්නේ ශාන් ජයරත්නගේ ගුරුවරයා. නමුත් මේ ටෙලි නාට්‍යයේදී ශාන් ජයරත්න තම ගුරුවරයාව අධ්‍යක්ෂණය කරනවා. මේ නාට්‍යයේ තියෙන ලස්සනම දේ තමයි ඒක. ගොඩක් තරුණ පරම්පරාව ශාන් ජයරත්න කියන තරුණ අධ්‍යක්ෂවරයා ඉදිරියට ගෙනාවා. මම හිතන්නේ ශාන්ගේ පළමුවැනි අධ්‍යක්ෂණයම ඉතාමත් සාර්ථක වුණා. එවන් තරුණ පරම්පරාවත් එක්ක වැඩ කරන්න ලැබීමත් සතුටක්.


ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?


මම ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවක් කරනවා. රංගනයත් මගේ වෘත්තීය ලෙස සලකන්න පුළුවන්.


වේදිකාවෙන් ආරම්භ කළ රංගන ජීවිතය ගැන කතා කළොත්?


ගුවන් විදුලියේ රැකියාව කරන කාලයේ රවීන්ද්‍ර කෝදාගොඩ මහත්මයා මාව වේදිකාවට සුදුසුයි කියලා රණය කරනවා. පසුව මම දයානන්ද මහත්මයාගේ වේදිකා නාට්‍යයකට සහභාගි වෙනවා. නමුත් ඒක වේදිකාගත වුණේ නැහැ. අනතුරුව ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්ෂණය කළ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. මේ වන විට මම බොහෝ අධ්‍යක්ෂවරුන් යටතේ අධ්‍යක්ෂණය වූ රංගන ශිල්පිනියක්.


රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ මොකද හිතන්නේ?


ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා රංගන ශිල්පිනියක් වීම ගැන. රංගන ශිල්පිනියක් වෙනවා කියන්නේ ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කලාව නිසා මට ගොඩක් අවස්ථා ලැබුණා වගේම ලෝකය විවෘත වුණා. මට හැමදේම ලැබුණේ කලාව නිසා කියලා කියන්නත් පුළුවන්. මම ආපු ගමන් මඟ පිළිබඳ ආපහු හැරිලා බැලූ විට නිළියක් වීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා.


ඔබ රංගනයේදී චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?


නැහැ. මම විවිධ චරිත රඟපාන්න කැමැති කෙනෙක්. වර්තමානයේ රඟපාන චරිත කිහිපයම එක වගේ වුණත් කතාබහ ඇ¾දුම්-පැලඳුම් ගමන්-බිමන් මේ හැම දෙයක්ම චරිතයකින් චරිතයකට වෙනස් වන ආකාරයෙන් මම යොදා ගන්නවා.


රංගන ක්ෂේත්‍රය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?


සියයට සියයක් තෘප්තිමත් කියලා කියන්න බැහැ. නමුත් මම තෘප්තිමත්. මේ ක්ෂේත්‍රයේ තවත් හැදෙන්න තැන් බොහොමයක් තිබෙනවා.


ඔබේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


පවුලේ අයගේ සහයෝගය මත තමයි මම මේ තරම් දුරක් එන්නේ. මම රංගනයට යොමු වුණේ දරුවන් දෙදෙනාත් ලැබුණාට පසුවයි. මගේ පවුලේ අය මාව හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. වසර විසිතුනක කාලයක් රංගන කටයුතු කරගෙන යන්නේ මේ අයගෙන් ලැබෙන සහයෝගය නිසා.


වර්තමාන කලා ක්ෂේත්‍රය ඔබ දකින්නේ කොහොමද?


ගොඩක් සතුටු වෙන්න බැහැ. මධ්‍යස්ථව සතුටු වෙන්න පුළුවන්. රටේ පවතින ආර්ථික ගැටලුත් එක්ක කලාව පත්වාගෙන යන අයට මුලින්ම ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. කලාව පවත්වාගෙන යෑම බොහොම අසීරු තත්ත්වයක තමයි තිබෙන්නේ. හොඳ නිර්මාණ කරලා නිෂ්පාදකවරුන් සොයා ගන්නට නොහැකිව සිටින බොහෝ පිරිසක් අද ඉන්නවා. ඒ නිසා වර්තමාන කලාව පිළිබඳව ගොඩක් සතුටු වෙන්න බැහැ.


ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?


කලා ක්ෂේත්‍රයේ හොඳ නිර්මාණ කරන්නයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මගේ වැඩමුළු සහ වර්ක්ෂොප් දිගටම කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්‍ෂ





Previous Post Next Post