රැඳවියන්ට පිහිටට එන නීතිඥ මෝස්තරකරුවෝ

 


සාමාන්‍යයෙන් අපි නිතර දකින විලාසිතා දැක්මවලින් ඔබ්බට ගිය විලාසිතා දැක්මක් එළැඹෙන ඔක්තෝබර් 7 වැනිදා ගෝල්ෆේස් හෝටලයේ දී සංවිධානය වනවා. ඒ ‘fashion for freedom’. මෙය සංවිධානය කරන්නේ ප්‍රවීණ මෝස්තර නිරූපිකා චූලා පද්මේන්ද්‍ර සහ නීතිඥ නිරූපා සේරසිංහ. fashion for freedom ගැන හරියටම දැන ගන්න ප්‍රවීණ මෝස්තර නිරූපිකා චූලා පද්මේන්ද්‍ර සමඟින් කළ කතාබහයි මේ.


fashion for Freedom සංවිධානය වෙන්නේ කොහොමද?


ඉස්කෝල වැහිලා හිරගෙවල් ඇරෙන රටක අපි මොන තරම් අවාසනාවන්තද? මේ අවපැහැ ගැන්වුණ සමාජය ඇතුළෙ අපි තාමත් උත්සහ කරන්නෙ ඉන්ද්‍රචාපයක් වෙන්න. ඒ වෙනුවෙන්ම අපි වෛවර්ණ හැන්දෑවක් ලෑස්ති කරනවා. එය සංවිධාන කරන්නේ මම සහ නීතිඥ නිරූපා සේරසිංහ එකතුවෙලා ගොඩනඟාගත් අමෝර් (Amour) සංවිධානය හරහායි.


මෙම විලාසිතා දැක්මේ අරමුණ මොකක් ද?


දරුවෙකු සිටින මවක විසින් යම් අපරාධමය වරදකට දඬුවම් ලැබ බන්ධනාගාරගත වූ විට එම මවට වයස අවුරුදු පහට අඩු දරුවකු සිටින්නේ නම් දරුවාගේ සුබ සිද්ධිය පිණිස දරුවා මව සමඟ බන්ධනාගාරගත කිරීම සිදු වෙනවා. නමුත් මෙවන් අවස්ථාවක දරුවකු වෙත ඇති වන බලපෑම සුළුපටු දෙයක් නොවෙයි. මෙම බලපෑම කායික මෙන්ම මානසිකවද ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු කරුණක්. ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය සහ ක්‍රියාත්මක වන පරිපාලන රීතින් අනුව මව සමඟ දරුවන් බන්ධනාගාරයේ වයස අවුරුදු පහ දක්වා පමණක් රඳවා ගනු ලබන අතර වයස අවුරුදු පහ සම්පූර්ණ වූ දරුවන් මවගෙන් ඉවත් කොට බාහිර භාරකාරයකු වෙත ලබා දෙන අතර, එසේ දුන් පසු ඒ දරුවන් ගැන සොයා බලන කිසිදු නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් ගරු අධිකරණයෙන් දඩ නියමකොට එම දඩ මුදල් ගෙවා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැති වීම නිසා බන්ධනාගාරගතව සිටින කාන්තාවන් හට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් සැපයීමටත් එම නිදහස් කර ගැනීමෙන් පසු ඔවුනගේ සාමාන්‍ය ජන ජීවිතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමටත් සහාය ලබාදීමයි මූලික අරමුණ. බොහෝ වෙලාවට සමාජයේ මිනිසුන් නීතිඥවරුන් දකින්නෙ සංවේදී නැති මිනිස්සු විදිහට. නමුත් මගේ බොහෝ නීතිඥ යාළුවො ඉන්නවා. ඒ අය බහුතරයක් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හරිම සංවේදීයි. ඒ අය අපිට වඩා උසාවියේදී සමාජ ගැටලු දකිනවා. නමුත් නීතිඥවරුන් දැඩි සේ කාර්යබහුලයි. ඒ නිසා ඒ කාර්යබහුලතා මැද සහ වෘත්තීය ජීවිතේට බාධාවක් නොවන විදියට පුහුණු සැසි කිහිපයක් අපි සංවිධානය කළා.


මෙහි අරමුණ සමාජ සත්කාරයක් පමණයි ද?


ඇත්තටම මේක අපි තියන්නෙ සමාජ සත්කාරයක් පෙරදැරිවමයි. නීතිඥවරුන් එක්ක මෙය කරන්න පුළුවන් වීම අපිට ලොකු හයියක්. උසාවියෙන් නිදහස් කරලත්, දඩ මුදලක් ගෙවාගන්න බැරි හින්ද ආපහු බන්ධනාගාරගතව ඉන්නවා කියන්නේ අපරාධයක්. ඒ මිනිස්සුන්ව බන්ධනාගාරයේ තියාගන්නව කියන්නේ රජයටත් පාඩුවක්. මේ “fashion for Freedom” ෆැෂන් ෂෝ එකෙන් ලැබෙන ආදායම වෙන් වෙන්නේ ඒ අය වෙනුවෙන්මයි.


දැන් විලාසිතා දැක්මට කී දෙනෙක් ඉන්නවද?


නීතිඥවරුන් 40ක් විතර සහභාගි වෙනවා. මේ දවස්වල ඒ අයව පුහුණු කරනවා. ඒ හැමෝම හරි කැමැත්තෙන් තමයි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ.


අපේ රටේ පළවෙනි වතාවට නීතිඥ කණ්ඩායමක් විතරක් සහභාගි වෙන මේ විලාසිතා දැක්ම ගැන අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති…


මේ ප්‍රසංගය ඔබේ ඇසට අයස්කාන්ත දසුනක් වගේම මනසට මනස්කාන්ත හැඟීමක් මුසු කරනවා ඒකාන්තයි. ඒ නිසා මේ හැඩකාර හැන්දෑව ඇසින් දුටු සාක්ෂිකාරයන් වීමේ ගෞරවාන්විත පංගුකාරයන් වීමට ඔබේ අසුනත් වෙන් කරගන්න කියන ආරාධනය කරන්න කැමතියි. මේ සම්බන්ධව තොරතුරු දැන ගන්න කතා කරන්න අපට. හිරගෙවල් වහන්න අපිට බැරි බව ඇත්ත වුණත් හිරගෙවල්වල බිත්ති හතර මැද්දේ හෙළන මහා සුසුමක බර සැහැල්ලු කරන්න අපි එකතු වුණොත් පුළුවන් කියල අපි අපිටම සහතික වෙමු.


අනුෂා රණසිංහ






Previous Post Next Post