මේ ජනප්‍රියත්වය මට ලැබුණේ ප්‍රේක්ෂකයන් නිසයි- තරින්දි ප්‍රනාන්දු




ඇය තාරකාවකි. සෞම්‍ය එළියක් විහිදුවමින් බබළන තාරකාවකි. දිනක මෙරට හොඳම නිළිය ලෙසින් කිරුළු පලඳින්නට තරම් විභවයක් සහිත ඇය කවදත් සෙමෙන් ගමනක යන්නියකි. සමාජයේ උසස් යැයි සම්මත බැංකු රැකියාවකට සමුදී රංගනය වැලඳගත් ඇය සැබෑවටම රංගනයේ පමණක් නොව නර්තනයේද උපන් හපනියකි. නමින් අෑ ඔබ කවුරුත් හ¾දුනන තරින්දි ප්‍රනාන්දුය.


ඉතිං මේ දිනවල මොකද වෙන්නේ?


මේ දවස්වල මගේ ටෙලි නාට්‍යය හතරක් පමණ විකාශනය වෙනවා. එකක් ජගත් මනුවර්ණ මහත්මයාගේ කොඩි ගහ යට. ඒකේ රූගත කිරීම් අවසන් කරලා තියෙන්නේ. ඊට අමතරව සිදාදියේ සමනලියෝ නාට්‍යය විකාශනය වෙනවා. ඒක මීට පෙර අධ්‍යක්ෂණය කළේ ධනංජය සිරිවර්ධන මහත්මයා. නමුත් දැන් අධ්‍යක්ෂණය චාමර ජනරාජ් පීරිස් මහත්මයා. ඒ වගේම  අසංක සායක්කාර මහත්මයාගේ සික්ස් පැක් නාට්‍යයත් විකාශනය වෙනවා. ඒ දෙකේම රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේම නිවන්ත ප්‍රසාර මහත්මයාගේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ රූගත කිරීම් මීගමුව ආශ්‍රිතව සිදු වෙනවා. ඔය දේවල් එක්ක තමයි මේ දිනවල කාලය ගෙවෙන්නේ.


ටෙලි නාට්‍යය සමඟ පමණද සිනමාව සමඟ කාර්යබහුල නැද්ද?


ඔව් ඇත්තටම පසුගිය දිනවල චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඉන් එක චිත්‍රපටයක් කෙරිලා අවසන් වුණා ඒක තුසිත ද සිල්වා මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. ඊට අමතරව තව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. එතැනින් එකක් එළැඹෙන වසරේ ජනවාරි මාසයේ පමණ ආරම්භ කරන්න නියමිතයි. අනෙකුත් චිත්‍රපටයේ තිර පිටපත මේ වෙද්දි ලැබිලා තිබෙන්නේ. ඒකත් අධ්‍යයනය කරන ගමන් ඉන්නේ.


ඔබ පසුගිය  දිනක සිනමා සම්මාන උළෙලක ජනප්‍රිය නිළිය ලෙස නාමයෝජනා ලැබුවා. ඒ ගැනත් කතා කරමු?


 පළමු වතාවට තමයි මම ලක්ස් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියන් අතරට ලැයිස්තු ගත වුණේ. ඒ ගැන ගොඩාක් සතුටුයි. ඇත්තටම අපිට ජනප්‍රියත්වය කියන දේ සම්මානයකින් තීරණය කරන්න අමාරුයි. නමුත් ඒ දේ සංකේතවත් කරලා සම්මානයක් පිරිනැමීම ගොඩක්ම හොඳයි. ඒකෙන් රංගන ශිල්පීන්, ශිල්පිනියන් තවත් අභිප්‍රේරණය වෙනවා. ඇත්තටම මාවත් ඒ නාම යෝජනා අතරට තේරී පත්වීම ගැන ගොඩක්ම සතුටුයි.


නමුත් ඔබට ඒ සම්මාන උළෙලට  ආරාධනා ලැබුණේ නෑ කියලා ඔබ සඳහන් කරලා තිබුණා?


ඇත්තටම ඒක මොකක්ද වුණේ කියන එක සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. ඇතැම්විට අත්වැරදීමක් හෝ අතපසුවීමක් වෙන්න පුළුවන්. ඉතිං ආරාධනාවක් නොලැබුණු නිසා මම ඒ සම්මාන උළෙලට සහභාගි වුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියන එක මම දන්නේ නැහැ. මිනිසුන්ට අතපසුවීම් වෙනවා. නමුත් මම ඒක එතරම් ලොකු ගැටලුවක් කර ගත්තේ නැහැ.


අද වෙද්දි ඔබ ලංකාවේ ජනප්‍රියම නිළියක්. මේ තැනට ආපු ගමනේ ඔබේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද?


මම මේ ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳලම මාත් සමඟින් හිටිය ප්‍රේක්ෂක පිරිස බොහෝම අවංක ප්‍රේක්ෂක පිරිසක්. සමාජ මාධ්‍ය තුළ පවා මම කිසිම දවසක මගේ ගිණුම් මුදල් යොදවලා ප්‍රචාරණය කරවලා නැහැ. මගේ ප්‍රේක්ෂකයන් සියයට සීයක් මගේ චරිත වටා එකතු වුණු ඒ චරිතවලට ආදරය කරන පිරිස. ඇත්තටම මට ලැබුණු ජනප්‍රියත්වය ලැබුණේ මගේ ප්‍රේක්ෂකයන් නිසා. ඔවුන් මගේ රංගනයන් නරඹලා හොඳ තැන් අගය කරා වගේම අඩුපාඩුත් පෙන්වා දුන්නා. ඇත්තටම එයාලා හුදෙක් ඕපාදූප විතරක් බලාගෙන ආපු අය නෙවෙයි. එහෙම හිටපු ප්‍රේක්ෂකයන්ට තවත් අය ගොඩක් එකතු වුණේ දෙදහස් විසිදෙක අවුරුද්දේදි. මොකද ජීවිතයේ මුහුණ දෙන්න සිදුවුණු ඇතැම් දේවල් නිසා මම දෙදහස් විස්ස වගේම විසිඑක වසරවල ලොකු විවේකයක් ගත්තා. නමුත් දෙදෙහස් විසි දෙකේදි වගේම මේ වසරෙදීත් මගේ ටෙලි නාට්‍යය හතරක් පහක් පමණ එක දිගටම විකාශනය වුණා. ඉතිං මේ වර්ෂ දෙක තමයි මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය විධියට මම දකින්නේ.


වාළුකා නවකතාව ඇසුරින් නිෂ්පාදනය වුණු මහපොළව ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට විශාල ලෙස පැසසුම් ලැබුණා.


සුමිත් රත්නායක මහත්මයා සහ එතුමගේ බිරිය තමයි මට ඒ ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ. ඇත්තටම ඒ නාට්‍යයට කලින් ඔහු මාව චරිතාංග නිළියක් ලෙසට අ¾දුරගෙන සිටියේ නැහැ. සුමිත් රත්නායක මහත්මයාට මාව හමුවෙන්නේ සුළඟ මහ මෙරක කියන ටෙලි නාට්‍යයෙන්. නමුත් අපිට එකට දර්ශන තලයේ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රංගන ශිල්පිනියන් හා ශිල්පීන් කිහිප දෙනෙක්ගේ රෙකමන්ඩේෂන් එක නිසා ඔහු මාව විශ්වාස කරලා ඒ චරිතය මට භාර දුන්නා.


ඒ චරිතයට අනුගත වීම පහසු නොවෙන්න ඇති?


ඇත්තටම ඔව්. මගේ  තිබෙන බාහිර පෙනුමත් එක්ක අනෝහාමි කියන චරිතය ගොඩාක්ම වෙනස්. ඒ කාලය ඇතුළත මම වෙන ගැහැනු ළමයි කරනවා වගේ සැලොන් ගිහින් අයිබ්‍රෝස් හදන නියපොතු හදන ඒවා කිසිම දෙයක් කළේ නැහැ. මේ නාට්‍යයේ රූගත කිරීම් කළේ ගල්ගමුව ප්‍රදේශයේ. මාසයක් පමණ කාලයක් එහි නවාතැන් අරගෙන තමයි ඒ චරිතයට අදාළ රූගත කිරීම්වලට යොමු වුණේ. ඉතිං මම හිතනවා මම කරපු ඒ කැප කිරීම්වලට සාධාරණයක් ඉටුවුණා කියලා. මොකද අනෝහාමි චරිතය හරහා විශාල වශයෙන් ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම් මට හිමිවුණා. සම්මානයක් නොලැබුණත් ඒ ඇගයීම් මට විශාල වශයෙන් වටිනවා. ඒ වගේම අධ්‍යක්ෂවරු වගේම රංගන ශිල්පීන්, ශිල්පිනියන් පවා අදටත් හමුවෙද්දි ඒ චරිතය ගැන කතා කරනවා. ඇත්තටම සම්මානයක් නොලැබුණත් මම ඒ වසරේ හොඳම සහාය නිළිය විධියට සම්මාන සඳහා නිර්දේශ වුණේ ගීතා කාන්ති ජයකොඩි මහත්මිය හා දමිතා අබේරත්න මහත්මිය සමඟ. ඔවුන් වගේ ප්‍රවීණයන් සමඟ නිර්දේශ වීමත් මට වටිනවා.


ඔබ නිර්මාණයන්වලට දායක වෙද්දි තෝරා ගැනීමක් සිදුකරනවාද?


ඇත්තටම මේ වගේ පීක් ටයිම් එකකදි විතරක් නෙවෙයි රංගනයට ආපු මුල් කාලෙදීම පවා මම එක වගේ චරිත භාර නොගෙන ඉන්න සැලකිලිමත් වුණා. ඇතැම්විට කෙනෙක් මේ ක්ෂේත්‍රයට ආපු ගමන් කුමන ආකාරයේ චරිතයකින් හෝ ජනප්‍රිය වෙන්න හිතනවා වෙන්න පුළුවන්. නමුත් මම ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලේ වුණත් මගේ චරිතය ප්‍රධාන වුණත්, නැති වුණත් භාර ගත්තේ මම කරන වෙනත් චරිතවලට වඩා වෙනස් නම්, ඒ හරහා මට යමක් කරන්න පුළුවන් නම් සහ ඒ හරහා ප්‍රේක්ෂකයාට යමක් දිය හැකි චරිත පමණයි තෝරාගත්තේ. ඇත්තටම මගේ අරමුණ සහ එකම අභියෝගය චරිතාංග නිළියක් වීම. ඉතිං ඒ වෙනුවෙන් තමයි මම උත්සාහ ගන්නේ.


මෙගා නාට්‍යය හරහා එකම චරිතයකට කොටු වීම අවාසියක් නෙවෙයිද?


ඇත්තටම දීර්ඝ ටෙලි නාට්‍යයක් කියන එක වෘත්තීමය රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට මූල්‍යමය පැත්තෙන් වාසියක්. මොකද ඔවුන්ට වසර දෙකක් පමණ වන තුරු ස්ථිර ආදායම් මාර්ගය සකස් වෙනවා දීර්ඝ ටෙලි නාට්‍යය හරහා. ඒ වගේම ප්‍රේක්ෂකයා ඉදිරියේ නිතරම පෙනී ඉන්න ලැබීමත් අමතර වාසියක්. නමුත් ඔබ ඔය සඳහන් කළ කාරණය ගැන සිතා බැලීමේදී මට හිතෙන ආකාරයට අපි සැලකිලිමත් වෙන්න ඕනි කලින් සඳහන් කළ විධියට අපි දායක වෙන නිර්මාණ එකිනෙකට එකක් වෙනස් ආකාරයෙන් තෝරා ගන්න. එහෙම තෝරා ගැනීමක් කළොත් ප්‍රේක්ෂකයාට එපා වීමක් හෝ අවස්ථාවන් අහිමි වීමක් වගේ අවාසිදායක තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ.


ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමු?


මම කලින් සඳහන් කළ පරිදි තුසිත ද සිල්වා මහත්මයාගේ චිත්‍රපටය ලංකාවට වඩා විදෙස් සිනමා උළෙලවල් ඉලක්ක කරගනිමින් කරපු එකක්. ඒ ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම සුපුන් රත්නායක මහත්මයාගේ තත්පරයක්  දෙන්න ටෙලි නාට්‍යයත් විකාශනය වෙන්න නියමිතයි. ඒකත් බොහොම ඉක්මනින් විකාශනය වෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post