මම ආවේ වේදිකාවෙන් ඒක මට ආඩම්බරයක් - චන්දිමා කරුණාදාස




පාර දිගේ ටෙලිනාට්‍යය හැඩ කළ චන්දිමා කරුණාදාස එහෙමත් නැත්නම් අප කවුරුත් දන්න  ඩාලිං අක්කා බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක්. වේදිකා නාට්‍ය, වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය සහ සිනමාව තුළින් නිතරම ඔබ හමුවට එන චන්දිමා මේ දිනවල විකාශය වන සර්කස්කාරයෝ ටෙලිනාට්‍යය සඳහාද රංගනයෙන් දායක වනවා. මේ සො¾දුරු රංගන ශිල්පිනිය මෙවර අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


කොහොමද මේ දවස්වල?


ගොඩක් හොඳින් ඉන්නවා. මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ රංගන කටයුතුත් කරගෙන ඉන්නවා.


මොනවද අලුත් වැඩකටයුතු?


පාරදිගේ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු අවසන් වුණා. ඒත් එක්කම සද්ධාමංගලයන්ගේ සහ ශිවගුරුනාදන්ගේ අලුත්ම ටෙලි නිර්මාණය වන සර්කස්කාරයෝ නම් වෙනස්ම ආකාරයේ  ටෙලිනාට්‍යයත් සමඟ රංගන කටයුතු  ආරම්භ කළා.


බොහෝ දෙනා ඔබව හ¾දුනන්නේ ඩාලිං අක්කා කියලා නේද?


මම පාරදිගේ ටෙලිනාට්‍යයේ රඟපාන්න කලින් ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. නමුත් ඒවා මෙගා නාට්‍ය නෙවෙයි. මගේ පළමුවැනි මෙගා නාට්‍ය අග්නි පියාපත් කියන ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍යයේ සරෝජනී කියන චරිතයත් බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. මේ චරිතයටත් වෙනස්ම ආකාරයේ ප්‍රතිචාර ලැබුණා. එදා වගේම අදත් සරෝජනීගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නමුත් පාරදිගේ ටෙලි නාට්‍යයේ ඩාලිං අක්කාගේ චරිතයට ඊටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා කිව්වොත් මම නිවැරැදියි.


මේ දිනවල වේදිකාවේ පේන්න නැත්තේ ඇයි?


වේදිකාව තමයි මම හැදුණු තැන. නමුත් භාරගත් වැඩ කටයුතුත් එක්ක කාල වේලාව වෙන් කර ගැනීමට නොහැකි වූ නිසා වේදිකාවෙන් ටිකක් දුරස් වෙන්න සිදු වුණා. ඒ නිසාම ආරාධනා ලැබුණත් ඒ වැඩ භාරගන්න නොහැකි වුණා.


උපාධිධාරිනියක් වන ඔබ නිළියක් වීම ගැන මොකද හිතන්නේ?


මගේ පාසල් කාලයේදී තමයි මම රංගකලාව විෂය තෝරා ගත්තේ. ඒ කාලේ රංගනයට එන්න අදහසක් තිබුණේ නැහැ. පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවෙලා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පාඨමාලාව ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සමත් වුණා. පසුව මම ශාස්ත්‍රපති උපාධිය අවසන් කළා. මුල් කාලයේදී නම් රංගනයට එන්න මගේ අදහසක් තිබුණේ නැහැ. නමුත් වෙළෙඳ දැන්වීම් සහ වේදිකා නාට්‍යවල රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ ටෙලි නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබීමත් සමඟ නිළියක් වෙන්න හිතුණා. නමුත් මම ඉගෙනගත් දේවල් රංගන කටයුතුවලදී මගේ චරිත පෝෂණය කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.


ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?


ලංකාව වගේ රටක වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන එක පහසු කාර්යයක් නෙවෙයි.  රටේ පවතින තත්ත්වයත් එක්කම වෘත්තීයමය රංගන ශිල්පිනියක් වීම අපහසුයි. මම දැනට නම්  වෘත්තීයමය රංගන ශිල්පිනියක් නොවෙයි. නමුත් අනාගතයේදී නම් වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තු වෙනවා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. නමුත් මගේ  වැඩ කටයුතුත් එක්ක කාල වේලාව වෙනකර ගන්න අපහසුයි. ඒ වගේම මගේ අම්මා ටිකක් අසනීපෙන් ඉන්න නිසා ඒ ගැන වැඩි අවධානයක් ලබා දෙන්න වෙලා තිබෙනවා.


රංගනයට වේදිකාවෙන් ලැබුණු පන්නරය මොන වගේද?


වේදිකාවෙන් ලබා ගත්ත හැම දෙයක්ම පුංචි තිරයේ චරිත පෝෂණය කරන්න මම යොදා ගන්නවා. රංගන ශිල්පිනියක් ලෙස මම ආඩම්බර වෙනවා වේදිකාවෙන් මට රංගනයට එන්න ලැබුණු එක ගැන. රංගන කටයුතුවලින් වේදිකාවෙන් ලබාගත් පන්නරය ඇත්තටම මට ආභරණයක්.


රංගන ක්‍ෂේත්‍රය  ගැන ඔබ තෘප්තිමත්ද?


ඔව්. ඇත්තටම මම තෘප්තිමත්. ඒ ගැන කිසිම අවිවාදයක් නැහැ.


සිනමා නිර්මාණ ගැන කතා කළොත්?


මගේ මුල්ම සිනමා නිර්මාණය “ද නිවුස්පේපර්.” ඇත්තටම ඒ මගේ ප්‍රථම සිනමා අත්දැකීම. ඒත් එක්කම චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබුණා. නමුත් ඒ වනවිට ටෙලිනාට්‍ය භාරගෙන තිබුණ නිසා කාල වේලාව වෙන් කරගන්න අපහසු වුණා.


රංගනයට සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?


ඇත්තටම මට ඔහුගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මාව තේරුම් අරගෙන, මගේ වැඩකටයුතු පහසු කරලා ඔහු මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම ඔහුව මේ වෙලාවේ මතක් කළ යුතුමයි.


ඔබට කලා ක්‍ෂේත්‍රයේ ඇති බලාපොරොත්තු ගැන කතා කළොත්?


කලා ක්‍ෂේත්‍රයේ මට ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් මම කැමැතියි චරිත තෝරා ගැනීමේදී එක් රාමුවකට කොටු නොවී වැඩ කරන්න.


ඔබ චරිත තෝරා ගැනීමක් කරනවද?


මම කැමති විවිධ චරිත රඟපාන්න. ඒ නිසා මම චරිත තෝරා ගැනීමේදී එකම ආකාරයේ චරිත තෝරා ගන්නේ නැහැ. ඒ ගැන මම ගොඩක් සැලකිලිමත් වනවා. මම ඉගෙනගත්තු දේවල් එක්ක ඒ ඒ චරිතයට සාධාරණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.


වර්තමාන කලා පිළිබඳ ක්‍ෂේත්‍රය ඔබ දකින්නේ කොහොමද?


රංගන ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. නමුත් අපි නිවැරැදි මඟ තෝරාගෙන ක්‍ෂේත්‍රයේ යනවා නම් අපට හොඳ ගමනක් යන්න පුළුවන්.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


විවිධාකාර චරිත පෝෂණය කරමින්, ප්‍රේක්ෂකයන් අතරට එන්න, ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් වෙන්න තිබෙනවා නම් පෞද්ගලිකව මම ඒකට කැමතියි.  ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනකල් රංගන ක්‍ෂේත්‍රයේ  දිගටම වැඩ කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ





Previous Post Next Post