චන්දනගේ කකුලෙන් ඇදපු කාලය ඉවරලු – කුවේණි සමග දුවත් කරළියට




නර්තනයෙන් මෙරට පමණක් නොව ජාත්‍යන්තරය ද ජයගත් නර්තනාචාර්යවරයකු වන චන්දන වික්‍රමසිංහ මේ දිනවල අලුත්ම වැඩ කිහිපයකට සූදානම් වෙනවා. ඉතිං චන්දන සමග පුංචි කතාබහකට එක්වෙන්න හිතුවේ, චන්දනගේ නැවුම් තතු මීවිත පාඨකයන් වෙත ගෙනහැර දක්වන්නයි.


චන්දන වික්‍රමසිංහ ලෝක ළමා දිනයට වෙනස්ම වැඩක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියි?


අපේ මාධ්‍ය කේෂ්ත්‍රයේ සිටින දැවැන්ත කලාකරුවන් කිහිපදෙනෙක් මාත් එක්ක එකතුවෙලා කතිකාවතක් හදාගත්තා, නර්තනය වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට පළමු වැඩසටහන ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් කියලා පසුගිය ජනවාරි මාසයේ නර්තන ෆෙස්ටිවල් එකක් කළා, අත්හදාබැලීමක් විදිහට නෙළුම් පොකුණ රඟහලේදී. මෙම ෆෙස්ටිවල් එකට තරුණ නර්තන ශිල්පීන් 1800 ක් සහභාගි වුණා. අංකුර කලාකරුවන්ට එන්න වේදිකාවක් තියෙන්න ඕනෑ. අන්න ඒ වේදිකාව හැදීමේ පරමාර්ථයෙන් තමයි මේ වැඩේ පටන්ගත්තේ. ලංකාව පුරා විසිරී සිටින තරුණ, දක්ෂ, උගත් නර්තන වින්‍යාස ශිල්පීන් 20 දෙනකු තෝරාගෙන ඔවුන් සමග නර්තන ශිල්පීන් 1800 කගේ සහභාගිත්වයෙන් තමයි අපි මුලින් සඳහන් කළ ඩාන්ස් ෆෙස්ටිවල් එක සිදු කළේ. එය අතිසාර්ථකයි. ඉතාලියේ ජීවත්වන බෙරය සමග ලෝකය පුරා යන මානෙල් ජයශාන්තත් මේ වැඩේට එකතු කරගෙන ඇයට අපි උපහාරයක් පවා පැවැත්වූවා. මේක සාර්ථක වුණ හින්දා අපි හිතුවා ළමයි වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියලා. අපි නෙක්ස්ට් ජෙන්ට් එක හොයාගෙන යන ගමනේදී අපි හිතුවා ආයෙත් දරුවන් වෙනුවෙන් යමක් කරන්න. ඒකට හොඳම දවස තමයි ලෝක ළමා දිනය. එදාට තමයි අපි මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ 08 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලෝක ළමා දිනය සමරනවා දරුවො 1600 ක් එක්ක.


මේ වැඩේට එකතු වන පිරිස ගැනත් කතා කළොත්?


මේ වැඩේට අපිත් එක්ක ගුරුවරු දහසයක් එකතු වෙලා ඉන්නවා. මම අලුත් සංස්කෘතියක් හදනවා. නර්තන කේෂ්ත්‍රයේ හරි හැලහැප්පීම්වලින් ආපු කෙනෙක් මම. මම මීට කලින් හැමවිටම මාධ්‍ය සමග කතාබහ කළේ නර්තනයේ තිබුණු අඳුරු පැතිකඩ. ඉතිං මට හිතුණා ඒ අඳුරු පැතිකඩ නැතිකරලා නර්තනයේ අලුත් පිටුවක් පෙරළන්න ඕනෑ කියලා. ඒ හින්දාම තමයි නවක නර්තන වින්‍යාස ශිල්පීන්ට අවස්ථාවක් ලබාදෙන්න හිතුවේ. මේ වැඩේට පාසල් නර්තන ගුරුවරු පවා සම්බන්ධයි. අපේ රටේ නර්තන ගුරුවරුන් ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕනෑ. මේ හරහා අපි හැමෝටම සමානාත්මතාවය කියන සංස්කෘතිය අපි නිර්මාණය කළා. ගියවර හිටපු කිහිපදෙනෙක්ම මෙවර ෆෙස්ටිවල් එකටත් සහභාගි වෙනවා. ගුරුවරුන් අතර තියෙන තරගයක් මේකෙ නැහැ. කට්ටියම එකතු වෙලා බොහොම සාම්ප්‍රදායික නැටුම් මේකෙදී අපි ඉදිරිපත් කරනවා.


මෙහෙම දෙයක් කරන්න හිතුවේ ඇයි?


මේ රටේ දරුවන් වෙනුවෙන් බොහොම අතළොස්සයි වැඩක් කරන්නේ. අද ජනප්‍රිය කලාව තුළ හෝ ස්වභාවික කලාව තුළ ළමයි වෙනුවෙන් මොනවාද අපිට තියෙන්නේ. අපිට තියෙනවා ලිටිල් ස්ටාර් වැඩසටහන. අනෙක් පැත්තෙන් හිරු සුපර් ඩාන්ස්ර් තියෙනවා. මම මොන නාලිකාවක වැඩ කළත් ඇත්ත කියන්න එපායැ. දරුවන් වෙනුවෙන් මාධ්‍ය කරන මෙහෙවරට අපි ගරු කරන්න ඕනෑ. ඉතිං මම හිතුවා දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි නර්තන කලාව ප්‍රචලිත කිරීම කියලා. අද රටේ ජනප්‍රියම කලාවන්වලින් ඉහළින්ම තියෙන විෂයය තමයි නර්තනය. නැටුමක් නැති දෙයක් තියෙනවාද?. මොන දේ කළත් අද නැටුමක් තියෙනවානේ. ඉතිං නැටුමට සුදුසු අලුත් මුහුණු, නිර්මාණ ඕනෑ. ඒ වගේම පසුගිය කාලයේ පොඩි ඒකාකාරී ගතියක් දැක්ක හින්දාම දරුවන් හරහා දරුවන්ගේ දක්ෂතා වේදිකාව උඩ දක්වන්න වැඩක් කළා. කොළඹ, කළුතර, හම්බන්තොට, බද්දේගම, කිතුල්ගල, අවිස්සාවේල්ල වගේ ප්‍රදේශවලින් දරුවන් රැසක් සහභාගි වෙනවා.


දරුවන්ට වැඩමුළුවකුත් පවත්වනවාද?


මේක ඇත්තටම දරුවන්ට හොඳ වැඩමුළුවක්. ගුරුවරුන් එක්ක දරුවො වේදිකාව තුළ හැඩතල මවනවා විතරක් නෙමෙයි, ඔවුන්ට සුභ අනාගතයක් නිර්මාණය කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අපි දැන් නෙක්ස්ට් ජෙන් එක හදලා ඉවරයි. මම ඒකෙ පළමුවැනි වැඩසටහන කළා. ඒක අතිසාර්ථකයි. අනික් කාරණාව තමයි මේ වැඩසටහනට කිසිම අනුග්‍රාහකයෙක් නැහැ. අපි අපිමයි වියදමට අවශ්‍ය මුදල් සොයාගන්නේ. ජීවිතයට ජාත්‍යන්තර වේදිකාවක් නොදැකපු දරුවන්ට එය දැකබලා ගැනීමේ අවස්ථාව ද උදාකර දෙනවා. මේ දරුවො අතර අනාගතයේ බිහිවන චන්දනලා, රවිබන්දුලා, බුදවත්තලා, චිත්‍රසේනලා ඇති. ඔවුන් එළියට ගන්න ක්‍රමවේදයක් තමයි මේ සොයාගෙන යන්නේ. නැටුම් නිර්මාණය කළ තරුණයන්ගේ හැකියාවන් එළියට ගන්නත් අපි සූදානමින් ඉන්නවා. මේක හො`ඳ වැඩක්. අපේ පළමු ඩාන්ස් ෆෙස්ටිවල් එකට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමිය සහභාගි වෙනවා. දුර පළාත්වල දරුවන්ට 2.30 ටත් අනෙක් දරුවන්ට 6.30ට එකකුත් පවත්වනවා. අපිට ඇත්තටම නර්තන වින්‍යාස ශිල්පීන් අවශ්‍යයි. එහෙනම් ඒකට වැඩපිළිවෙළක් අවශ්‍යයි.


මේ වගේ වැඩක් කරන එක ලේසි නැහැ නේද?


මම හිතන්නේ දැන් චන්දන වික්‍රමසිංහගේ කකුලෙන් ඇදපු කාලය ඉවරයි කියලා. කකුල් දෙකෙන් නෙමෙයි කොන්දෙන් ඇදලා බිමටම ඇදල දාලා පොල්ලෙනුත් ගහලා ඉවර කළානේ. මට දැන් හැමෝම අතහිත දෙන කාලය. මම ඒ ගැන පට්ට සතුටින් ඉන්නේ. කාලෙකට පස්සෙ තමයි මම පත්තරයකට කතා කරන්නෙත්. චන්දන සියලුම නර්තන ශිල්පීන් සමග උපරිම සතුටින් තමයි ජීවත් වෙන්නේ. වැඩිහිටි නර්තන ශිල්පීන් පවා මේ වැඩේට උදව් කරනවා.


චන්දන වික්‍රමසිංහ රංගායතනයේ වැඩකටයුතු එහෙම කොහොමද?


චන්දන වික්‍රමසිංහ රංගායතනයේ දැවැන්තම වැඩේ පටන්ගත්තා. මගේ ඊළඟ අලුත්ම මුද්‍රා නාට්‍යය කුවේණි පටන්ගත්තා. කුවේණි මුද්‍රා නාට්‍යය නිර්මාණය වෙන්නේ, කුවේණිය සහ මළය රජ තුන්කට්ටුව ලංකාවට එනකම්, කොහොඹා කංකාරිය සිද්ධවෙන්න කලින් රටේ ඒ වුණ කතා ප්‍රවෘත්තිය මම වේදිකාවට අරගෙන එනවා. එක රහසක් මම කියන්නම්. කුවේණිය කියන්නේ නෙරංජනී ෂන්මුගරාජා.


මේක දැවැන්ත නිෂ්පාදනයක්. වෘත්තීය නර්තන ශිල්පීන් සියයකට අධික පිරිසක් සහභාගි වෙනවා.


පේෂල මනෝජ් තමයි සංගීතය නිර්මාණය කරන්නේ. එළැඹෙන වසරේ ජනවාරි තුන්වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත වෙනවා.


ඉතිං මගේ දුව කවදාකවත් ප්‍රසිද්ධ වේදිකාවේ නටලා නැහැ. දේවාංගි වෙන විදිහකට මේ නිර්මාණයෙන් එළියට එනවා. කුවේණි සමග දේවාංගිගේ ආගමනයත් සිද්ධවෙනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post